Low Volume – High Quality නකල්ස් ගැන ගත්ත අලුත්ම තීරණය
ලෝක උරුම නකල්ස් කඳුවැටියේ පිහිටි මාතලේ දිස්ත්‍රික්කයට අයත් රිවර්ස්ටන් ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස ගැසට් කර ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරංජිත් වෑවිට මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පිටවල පතන දුම්බර තොරතුරු මධ්‍යස්ථානයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි.
සභාපති ධුරය භාර ගැනීමෙන් අනතුරුව පළමු වරට මහජන හමුවකට එක් වූ සුරංජිත් වෑවිට මහතා සඳහන් කළේ රිවර්ස්ටන් සංචාරක කලාපය මනා නියාමනයක් යටතේ ඉහළ ආදායම් ලබාගත හැකි සංචාරක කණ්ඩායම් ඉලක්ක කරගනිමින් සංවර්ධනය කළ යුතු බවයි.
ඒ සඳහා “අඩු සංචාරක ප්‍රමාණයක් – වැඩි ගුණාත්මක බවක්” (Low Volume – High Quality) යන සංකල්පය මත රිවර්ස්ටන් ප්‍රදේශය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ වෙනස්වන අවශ්‍යතාවන්ට අනුව මෙරට සංචාරක නිෂ්පාදන කාලානුරූපීව සකස් කරගත යුතු බවත්, අඩු කාබන් පා සටහනක් සහිත පරිසර හිතකාමී හා තිරසර සංචරණය රිවර්ස්ටන් කලාපයේ ප්‍රධාන ඉලක්කයක් විය යුතු බවත් සභාපතිවරයා සඳහන් කළේය.
රිවර්ස්ටන් ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස ගැසට් කර ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, එම කලාපයට අනන්‍ය වූ නියාමන රීති පද්ධතියක් යටතේ වඩාත් විධිමත්ව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.
නකල්ස් සංචාරක කවය සහ ලග්ගල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිශාන්ත බෝපගේ, ලග්ගල ප්‍රාදේශීය ලේකම් ලක්මාල් තෙන්නකෝන්, මාතලේ දිසාවන නිලධාරි සම්පත් වනිගසේකර, මාතලේ දිස්ත්‍රික් සංචාරක ප්‍රවර්ධන නිලධාරි චාමර රුචිරංග යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ සංචාරක සේවා සැපයුම්කරුවන් රැසක් සහභාගී වූහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment