SOS ළමා ගම්මාන සංවිධානය දරුවන්ගේ දක්ෂතා කරළියට
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය (SOS Children’s Villages Sri Lanka) දරුවන් වෙනුවෙන් ‘Rhythm of Unity’ නමින් විශේෂ ප්‍රාසංගික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මානවල ජීවත්වෙන දරුවන්ට මෙන්ම, එහි පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් නියෝජනය කරන දරුවන්ට එම වැඩසටහන තුළදී සිය දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වනු ඇත. නැටුම්, ගැයුම් හා වැයුම්වලින් මෙන්ම විවිධ සංස්කෘතික අංගයන්ගෙන් වර්ණවත් වන මෙම සුවිශේෂී වැඩසටහන 2026 සැප්තැම්බර් 19 දින පස්වරු 7.00 සිට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. නිර්මාණශීලීත්වය සහ ආත්ම විශ්වාසය කුළුගන්වමින් දරුවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදාකර දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.
ස්වයං-අවබෝධය, කණ්ඩායම් හැඟීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනාදිය දරුවන්ගේ වර්ධනයට අතිශයින් වැදගත්ය. ‘Rhythm of Unity’ යනු SOS ළමා ගම්මානවල ජීවත් වන දරුවන්ට තම හැකියාවන් නිවැරදිව අවබෝධ කරගනිමින් එම හැකියාවන් ප්‍රදර්ශනය කරන අතරම, තම පවුල් සහ හිතමිතුරන් සමඟ පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි. ස්වයං-අවබෝධය තුළින් තම අනන්‍යතාව හඳුනා ගැනීමට දරුවන් දිරිගැන්වීම සඳහා මෙම වැඩසටහන තුළදී විශේෂ අවධානයක් යොමු කෙරේ.
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සහ පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් පවත්වාගෙන යනු ලබන පිළියන්දල, නුවරඑළිය, ගාල්ල, අනුරාධපුරය, මොණරාගල, යාපනය, ගන්දර සහ පැරෑලිය යන ප්‍රදේශවල ‘Rhythm of Unity’ වැඩසටහනේ පුහුණුවීම් සිදුකෙරේ. මෙය දරුවන්ට ගුණයහපත් පුරවැසියන් බවට පත්වීමට උපකාරී වන අත්දැකීම් හා කුසලතා ඔවුන් තුළ වර්ධනය කරවීමේ අඛණ්ඩ මෙහෙවරක තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැක.
‘Rhythm of Unity’ වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා මෙසේ පැවසීය:
“මෙම වැඩසටහන ස්තුතිය සහ කෘතඥතාව පළකිරීම අරමුණු කරගත් වැඩසටහනක්. අපගේ රැකවරණය යටතේ ජීවත් වන දරුවන්ගේ දක්ෂතා අගය කරන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කිරීමටත්, ඔවුන්ගේ ජීවන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් මෙමඟින් අපට හැකියාව ලැබෙනවා. සෑම දරුවෙකුටම නිසි අගයක් සහ ඔවුන්ගේ දක්ෂතා සඳහා නිසි පිළිගැනීමක් හිමි විය යුතුයි. දරුවන් වගකීම්සහගත පුරවැසියන් බවට පත් කළ හැකි වන්නේ එවිටයි. එම අරමුණ ඉටුකරගැනීමේ ප්‍රයත්නය තුළ මෙම වැඩසටහනට අපට මහඟු පූර්වාදර්ශයක් බවට පත්වේවි. ”

Leave a comment