අකල්හි ජිවිත දර්ශන තලයෙන් නික්මුණු සිංහල සිනමාවේ සොඳුරු දුෂ්ඨයා

 කලා ලෝකයේ සුපිරි  තරු බවට  පත්ව සිටින  බොහෝ නළුවන් එම ජනප්‍රියත්වය, කීර්තිය අත්පත් කර ගන්නේ  රෝස මල් ඇතිරූ යහනක් මතින් නොවේ.  වර්තමානයේ ජනප්‍රියම සිනමා නළුවා බවට  පත්ව සිටින රන්ජන් රාමනායක පවා චිත්‍රපටි රඟපෑමට ආශාවෙන් අධ්‍යක්ෂවරුන්ගේ නිවාසවලට බඩගෑ කතා පුවත්  මාධ්‍යයට හෙළි කර තිබිණි. ඒවායින් කියැවෙන්නේ අගනුවරට පැමිණි කලා ලෝකයේ  තමන්ගේම ස්ථාවර තැනක්  දිනා ගැනීම කෙතරම් අපහසුද?  යන්නයි.  


ලිංගනාදන් දර්ශන් ධර්මරාජ්ට ද අන් අයටත් වඩා කොළඹ පැමිණ නළුවෙක් වීමේ ආශාව අභියෝගයක් බවට පත් වූයේ ඔහු උපතින්ම දෙමළ ජාතිකයකු වීමත්  සිංහල බාෂාව හරිහැටි කතා කිරීමට  නොහැකිව කලා නිර්මාණවලට සම්බන්ධවීමට තිබූ අපහසුවත් නිසාය. එහෙත් දර්ශන් ඉදිරියට  ගත් පය කිසිවිටෙක  පසුපසට ගැනීමට සූදානම් වූයේ නැත. ඔහුට උත්සාහයෙන්  ලංකාවේ අංක එකේ සිනමා ටෙලි නාට්‍ය නළුවකුබවට පරිවර්තනයවීමට හැකි විය. කෙසේ නමුත් සිංහල සිනමාවේ තමන්ගේම රූපන කොෟශල්‍යයක් ගොඩ නගා ගත්  දර්ශන්ට වයස 41 ක් වැනි කෙටි කලකින්  ජීවිතය හැර යාමට  සිදුවීම ලංකීය කලා කෙතට  සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවකි. 


දර්ශන් 1981 මාර්තු රත්නපුර රක්වානේ දී උපත ලැබුවේය. ඔහු අධ්‍යාපනය ලැබුවේ රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙනි.  පාසල් යන කාලයේදී වේදිකා නාට්‍ය රංගනයට ඇලුම් කළ ඔහු කවදා හෝ කොලොම්පුරයට ගොස් දක්‍ෂ ජනප්‍රිය රංගන ශිල්පියකුවීමට  සිහින දුටුවේය.  පාසල් අධ්‍යාපනය හමාර කළ විගසම ඔහු කොළඹට පැමිණ කලාවට සම්පන්ධවීමට දැරූ මුල් උත්සාහය ඵල දැරුවේ නැත.  නැවතත් මඳ විරාමයක් ගෙන කොළඹට සංක්‍රමණය වන ඔහු ටෙලි නාට්‍ය, චිත්‍රපටවල සම්මුඛ පරීක්ෂණ සොයා කකුල් ගෙවන කල් ඇවිද්දේ පුංචියට හෝ රංගන අවස්ථාවක් සොයා ගැනීමටය. අවසානයේ ඔහුට සිඩ්නි වන්ද්‍රසේකර මහතාගේ ‘ඒ නයින්’ ටෙලි නාට්‍යයට දායක වීමට අවස්ථාව උදාවිය. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයට  භාජනය වූ අවස්ථාවේ සිඩ්නි මහතා ඔහුගෙන් පැනයක්  ඇසුවේය. එනම් විශාල උඩකින් පහළට පැනිය හැකි ද යන්නයි. දර්ශන් දෙවරක් නොසිතාම එයට එකඟ වූයේ රංගන ක්‍ෂේත්‍රයට  ප්‍රවේශවීමට  තිබූ නොනිම් ආශාව නිසාය.  මුල්ම ටෙලි රංගනයට  අවස්ථාව ලැබෙන තෙක්  දර්ශන් කොළඹ රැකියා කීපයක් කළේය. ජීවත්වීමට ඕනෑ නිසා පිටකොටුවේ මුට්ට කර ගැසුවේය.  අනේක විධ එවැනි වද හිංසා  උහුලමින්  කට්ටක්  ඔහු කෑවේ  කවදා හෝ දක්ෂ  නළුවකුබවට  පත්ව නැවත  ගමට යනවා යන අධිෂ්ඨානය  ඇතිවය.


මුල්ම ටෙලි රංගනයෙන් පසු මේ අපූරු රංගන ශිල්පියා කවුරුන්දැයි මුළු රටම සොයා බලන්නට  පටන් ගත්තේය. ඉන්පසු 2008 දී ම ප්‍රභාකරන්  සිනමා පටයේ  ත්‍රස්ත නායකයාගේ චරිතය  නිරූපණය කිරීමට  දර්ශන්ට අවස්ථාව ලැබීම ඔහුගේ රංගන ජීවිතය  ලැබූ කදිම ආලෝකයකි.  ඉන්පසු දර්ශන්ට සිනමාවේ  අවස්ථා එකින් එක ගලා ආවේ දක්‍ෂතාවට  අමතරව ඔහුට තිබුණු  නිහතමානිත්වය නිසාය.  දර්ශන් රඟපෑ සිනමා නාමාවලිය බලන විට ඒවා සිංහල සිනමාවේ සංධිස්ථාන ලෙස සැලකිය හැකිය. මචං, ඉරහඳ යට, ඉනි අවන්, මාතා, ඇඩ්‍රස් නෑ, ස්පන්දන, ආලෝකෝ උදපාදි, උලත් එකයි පිලත් එකයි, දැවෙන විහඟුන්, සුපර්ණා, පෝරිසාදයා, කබඩි, සුනාමි, මරියා, ප්‍රාණ, කෝමලි, කිංගස්. හඳපාන දර්ශන් රඟපෑ සිනමා පටවලින් කිහිපයක් පමණි. දෙරණ, හිරු සිනමා  සම්මාන  උලෙළවලදී  දෙවතාවක්ම  හොඳම නළුවා  සම්මානය  දිනා ගැනීමෙන්ද  දර්ශන්ගේ  රංගන දක්‍ෂතාව  මැන ගත හැකිය. ලාංකීය දෙමළ නළුවකු  සිනමා සම්මාන උලෙළක හොඳම නළුවා ලෙස සම්මාන ලැබීමට සමත් වූ එකම නළුවාද  ඔහුමය. 


දර්ශන් ගේ රංගන චාරිකාව කෙටි වුවත් ඉතා සීමිත කාලයක් තුළ විශාල වැඩ කෙටසක් සිදු කළ නළුවකු ලෙස  ඔහු අපට හඳුනාගත හැකිය. ඔහු රඟපෑ ටෙලි චිත්‍රපටි නාමාවලිය  ඊට කදිම  සාක්‍ෂියකි. කෙසේ නමුත් දර්ශන් ගේ  රංගන දිවිය දෙස  බලන විට අපට පෙනී යන්නේ  ලාංකීය අධ්‍යක්‍ෂවරු ඔහුගේ  සැබෑ රංගන කුසලතාව හරියටම එළියට ගත්තාද යන්නයි. එයට හේතුව ලංකාවේ  නිර්මාණය වුණු  බොහෝ සිනමා පටවල ඔහු රඟපෑවේ ත්‍රස්ත නායකයා ලෙසය.  නැතිනම්  ත්‍රස්තවාදී කණ්ඩායමක  නායකයෙකු ලෙසය.  එකම වර්ගයකට  ඔහු කොටු කර තැබීම දර්ශන් නමැති රංගන ශිල්පියාට  සිදුවූ අසාධාරණයකි. කෙසේ නමුදු සෝමරත්න දිසානායක ගේ  සුනාමි චිත්‍රපටියේ සුනාමි නිසා  දරුවා අහිමි වූ වේදනාකාරී පියකුගේ  චරිතයක් නිරූපනය කළේය.  එම චරිතයට ඇගයීමක් ලැබෙතැයි දර්ශන් විශ්වාස කළේය. කෙසේ නමුත් හොඳම දවස හෙට මෙන් දර්ශන්ගේ  ඉහළම දක්‍ෂතා පෙන්වීමට  තිබූ කාලය උදා වීමට  මත්තෙන් ඔහුට ජීවිතයෙන්  සමුගන්නට සිදුවිය. 


කලාවට මෙන්ම  සාමාන්‍ය ජීවිතයට ද  ජාති භේද අවශ්‍ය නොවන බව ඔප්පු  කළ නළුවා  දර්ශන් ධර්මරාජය.  ඔහු උපතින්  දෙමළ ජාතිකයකු වුවත්  ඔහුට වැඩිපුරම සිටියේ  සිංහල මිතුරන්ය. දර්ශන් ධර්මරාජ් වැනි රංගන ශිල්පීන්ගේ අගය අදට වඩා දැනෙන්නේ  හෙට දවසේය. 


දර්ශන් ඔබට සුබ ගමන්.......... 


එසේ පතනවා මිස ඔහු වෙනුවෙන් අපට කරන්නට දෙයකක් ඉතිරිව නැත. 

 


අමිල චින්තක ගමගේ



      

 

අපි නිදහස්ද Read Previous

අපි නිදහස්ද

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්....... Read Next

“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්.......

Realted Post

Leave a comment