අපි ජීවිතේ හදාගත්තේ තාත්තා දිහා බලාගෙන

 

ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සෝමසිරි මැදගෙදර මහතා සංගීත ක්ෂේත්‍රයේ වෙනමම ලකුණක් තැබූ දක්ෂ ගායන ශිල්පියෙකි. එමෙන්ම  ජාතික තරුණසේවා සභාව හරහා වසර ගණනාවක් තිස්සේ ඔහුගෙන් ගුරු හරුකම් ලැබූ සංගීත ශිල්පී ශිල්පිනියන්ගේ සංඛ්‍යාවද අති විශාලය. ඔහුගේ නිහතමානී ගති පැවතුම් ඔහුගේ වටිනාකම තවත් වැඩි කරයි. 


මේ සොඳුරු ගායන ශිල්පියා පසුගිය කාලයේ යම් අසනීප තත්ත්වයකින් පෙළුණු අතර අද වනවිට ඉතාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. මවුපිය සෙනෙහසේ මතක සුවඳ ආවර්ජනය කිරීමට අප මෙවර ඔහුගේ පුත් තෝරාගත්තේ සුවහසක් ඔහුගේ රසික රසිකාවියන් වෙනුවෙනි.


සෝමසිරි මැදගෙදර කලාකරුවන්ට දරුවන් තිදෙනෙකි. තිදෙනාම ගායන කුසලතාවයෙන් පිරිපුන්ය. වැඩිමහල් පුත් යසස් මැදගෙදර වෘත්තියෙන්ම සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධව ඇති නිසාම තම පියාගේ අතීත මතකයන් සිහිගන්වන්නට අපි ඔහු සම්බන්ධ කර ගත්තෙමු. 


යසස් දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙකි. යසස් විවාහකය. බිරිඳ හරින්දි ය. 


අප මුලින්ම යසස්ගෙන් විමසා සිටියේ පියාගේ අසනීප තත්ත්වය කෙසේදැයි කියාය.


තාත්තා දැන් සම්පූර්ණයෙන්ම සුවයි. අසනීප තත්ත්වයේ ඉන්න කාලයෙත් එයා හිටියේ හොඳ මානසික තත්ත්වයක. අම්මා මල්ලී නංගී අපි හැමෝම කලබල වුණා. මානසිකව වැටුණා. ඒත් තාත්තා හරිම සැහැල්ලුවෙන් ධනාත්මකව  හිටියේ. වැඩිය  හිතන්න එපා ඕක හරියයි කියලා කිව්වේ. අසනීපය දැනුන ගමන්ම අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුවුණා. වෛද්‍යවරු කාර්ය මණ්ඩලය ලොකු සහායක් ලබාදුන්නා. විශාල කැපවීමකින් කටයුතු කළා.

 


Q තාත්තගේ අසනීපය පිළිබඳ බොහෝ දෙනෙක් කම්පාවට පත්වුණා නේද?
ඒ පිළිබඳ විශේෂයෙන්ම කියන්න ඕනෑ තාත්තාට ආදරය කරපු රසික රසිකාවියෝ  සුවවෙන්න ආශිර්වාද කළා තම තමන්ගේ ආගම අනුව පුද පූජා තිබ්බා. සමහරු මුදල් අතින් පවා උදව් කළා. අපි කිසිම කෙනෙකුගෙන් මුදල් බලාපොරොත්තු වුණේ නෑ. තාත්තා එපා කියද්දී රසික රසිකාවියෝ ක්ෂේත්‍රයේ හා අනිකුත් විවිධ තරා තිරමේ පිරිස් උදව් උපකාර කළා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ආශිර්වාදයට තමයි තාත්තා මේ තරම් ඉක්මනින් යහපත් තත්ත්වයට පැමිණියෙ කියලා කියන්න පුළුවන්. ඒ හැමෝටම ස්තුතියි කරන්න ඕනෑ.


Q තාත්තාගේ සංගීත ජීවිතය ඔබට දැනුණු අවදිය මතකද?
ඇඳෙන් නැගිට්ටේ සංගීතයත් එක්ක. ගෙදර මුළු පරිසරයම තිබුණේ සංගීතය. අපේ ගෙදර සංගීත පංති තිබුණා. මට ඒ දේවල් නිතරම ඇහුණා. අපිත් ගිහින් පංතිවල  වාඩිවෙලා සිටියා. පාසලේදී සංගීතය විෂයක් හැටියට ඉගෙනගත්තා. ඊට පස්සේ තනියම මට ඕන දේ සොයාගෙන ගියා. ඒ හැමදේටම තාත්තා උපරීමයෙන් උදව් කළා.


Q ඔයාලා සංගීතයට යොමු වෙනවට තාත්තා කැමති වුණාද? 
අපි තුන්දෙනාටම ගායන ක්ෂේත්‍රය තෝරාගන්න කියලා නෑ. අපිට කැමති දේ තෝරාගන්න ඉඩ දුන්නා. මල්ලී සූපවේදියෙක්. නංගී ෂඔ  ක්ෂේත්‍රයේ.  මම තමයි සංගීත අධ්‍යක්ෂණය හා සම්බන්ධ වෙලා ඉන්නෙ.  තුන්දෙනාටම ගීත ගායන හැකියාව තියෙනවා. අන්තර්ජාලයේ නංගීගෙ ගීත තියෙනවා. අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. අවුරුදු 10 ක් පුරා කරපු මගේ ගීතත් තිබෙනවා. මම සංගීත අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය ආදරණීය ප්‍රාර්ථනා ඉදිරියේදී ප්‍රේකෂකයින්ට දැකගන්න පුළුවන්.

 


Q ඔයාල පුංචි කාලෙත් තාත්තා ජනප්‍රිය, කාර්ය බහුල ගායන ශිල්පියෙක්. ඒ මතකය කොහොමද?
තාත්තාට හැමදාම වගේ සංගීත ප්‍රසංග තිබුණා. උදේ අපි පාසල් යද්දී තාත්තා නිදි එහෙම නැතිනම් ප්‍රසංගයකට ගිහිං ඇවිත් නිදියන්න ලැස්තියි. එහෙමත් නැත්නම් තාත්තා වැඩට යන්න සූදානම් වෙනවා. තාත්තා ගෙදර ඉන්නවා නම් අපිව පාසල් ගිහිං ඇරලවනවා. එහෙම නැති දවස්වලට අම්මා තමයි හැමදේම කළේ. තාත්තා හොයල බලලා අවශ්‍ය හැමදේම අපිට අඩුවක් නැතිව දුන්නා.

 


Qතාත්තාගේ ප්‍රසිද්ධිය ඔයාලාට කොහොමද බලපෑවේ?
අපි උපදිනකොටත් තාත්තා ජනප්‍රිය චරිතයක්. ඒ හින්දා හැමෝම අපිවත් දන්නවා. සෝමසිරි මැදගෙදරගේ පුතාල කියලා පාසලේ, අමතර පංතිවල යාළුවෝ, ගුරුවරු හැමෝමලා ආදරෙයි. ඒ නිසා අපිට විශේෂයක් තිබුණා. අපි කැපී  පෙනෙන චරිත වුණා. තාත්තා නිසා අපිටත් මිනිස්සු ගෞරව කළා. ආදරය කළා. ඒකට විශේෂ හේතුවක් වෙන්නත් ඇත්තේ තාත්තාගේ නිහතමානීකම වෙන්න ඇති.

 


Q මේ තරම් ජනප්‍රිය තාත්තා ගෙදරදී කොහොමද?
තාත්තා කොච්චර ජනප්‍රිය ගායන ශිල්පියෙක් වුණත් ගෙදරදී කැත්ත උදැල්ල අරගෙන කොටනවා. වගා කරනවා. හරිම සරලයි. තාත්තා අදටත් වගා කරනවා. එළවළු, අල, බතල හැමදේම වගා කරනවා. ඵලදාව ගෙවල් වටේම මිනිස්සුන්ට බෙදල දෙනවා. ඒක පුරුද්දක් වගේම තාත්තගේ විනෝදාංශයක්. නිකං ඉන්න බෑ. වගාවට පුදුම ආසාවක් තියෙන්නේ.

 


Q තාත්තා ඇසුරු කරපු විශේෂ පුද්ගල චරිත ඉන්නවාද?
විශේෂ කියලා කෙනෙක් නෑ. හැම ක්ෂේත්‍රයකම අය තාත්තා ඇසුරු කළා. එක්කෙනෙක් කියලා විශේෂ කරලා නෑ. තාත්තාට හැමෝම එකයි. ගමේ ඇසුරු කරන අයත් රටේ ඉහළ ප්‍රභූවරයාත් තාත්තාට එක සමානයි.

 


Q තාත්තා ජීවිතයේ සංවේදී වූ සැලුණු අවස්ථා දැකලා තියෙනවාද?
තාත්තා හරිම ඉවසිලිවන්තයි දරාගන්න පුළුවන්. නමුත් හරිම සංවේදියි. මිනිසුන්ගේ ප්‍රශ්නවලදි හරියට කණගාටුවෙනවා. ඔඪ එකේ මොකක්හරි අනුවේදනීය ප්‍රවෘත්තියක් ගියොත් අනේ අපොයි කියලා කම්පා වෙනවා. තාත්තා ගොඩාක් අයට උදව් කරලා තියෙනවා. අසරණ අය පිහිට පතලා තාත්තා හොයාගෙන ඇවිත් උදව් ඉල්ලුව හැම කෙනෙකුටම පිහිට වෙලා තියෙනවා.

 


Q තාත්තා විනෝදයට මොනවද කරන්නේ?
තාත්තාගේ ජීවිතය සංගීතය. දෙක වගාව ඊට අමතරව තාත්තා නිතරම සතුටින් ඉන්න හේතුව සරලකම. අපි තුන්දෙනායි අම්මයි එක්ක රටපුරා ගිහින් තියෙනවා. ඈත සංගීත ප්‍රසංගවලට යද්දී අපිවත් එක්කගෙන් යන්නේ. ඒවා හරියට විනෝද චාරිකා වගෙයි. 

 


Q අපි සෝමසිරි මැදගෙදර කලාකරුවා සමගත් කෙටි කතාබහක නියැළුණා.  ඔහු තම බිරිඳ සහ දරුවන් පිළිබඳ සිහිපත් කළේ මෙලෙසයි.
මම ගායකයෙක් කියලා දරුවෝ ගායකයෝ වෙන්න ඕනේ නෑ. එයාලාට සම්පූර්ණ නිදහස දුන්නා කැමැති පැත්තකට යන්න. හැබැයි තුන්දෙනාටම හොඳට ගයන්න පුළුවනි. පොඩි පුතාට මගේ කටහඬමයි තියෙන්නේ. මගේ බිරිඳ ගැන කියන්නම ඕනෑ. මගේත් දරුවන්ගේත් සෙවණැල්ල එයා. හැමදේම හොයලා බලලා ඉෂ්ට කරන්නේ බිරිඳ. සංගීත ප්‍රසංගයකට යන ඇදුම පවා තෝරලා දෙන්නේ එයා. අනික මගේ බිරිඳට සංගීතය ගායනය පිළිබඳ හොඳ දැනීමක් තියෙනවා. මගේ ගායනයේ මොකක් හරි අඩුවක් වුණොත් පෙන්නලා දෙන්නේ ඇයයි. 

 


Q ඔබ වගාවට මේතරම් ඇලුම් කරන්නේ ඇයි? 
මයික් එක වගේම කැත්ත උදැල්ලත් මට හුරුයි. ඒක මගේ ලේවල තියෙන දෙයක් මගේ ගම වලපනේ තෙරිපැහැගම. මවුපියෝ හොඳ ගොවියෝ. ඒ පුරුද්ද මටත් තියෙනවා. ගෙදරට අවශ්‍ය දේවල් වගා කරලා කන එක මගේ ආසාව. හැබැයි දරුවන්ට කැත්ත උදැල්ල අල්ලන්න දීලා නෑ. මම විඳපු දුක් එයාලාට නොදී පුළුවන් තරම් සැපදීලා හැදුවේ. අපි විඳපු දුක් දරුවෝ විඳින්න ඕනෙ නෑ.
සෝමසිරි මැදගෙදර මහතා විසින් ගායන කරන ගීත කිහිපයක්ම ඉද්ිරියේදී එළිදැක්වීමට නියමිතය. සමන්සිරි මහතා විසින් රචිත මධුසංඛ රත්නායක විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද ගීත 04 ක් සහ හාල්පොතයායේ පඤ්ඤාසිරි ස්වාමින්වහන්සේ විසින් රචිත උදිත නුවන් සමරසිංහ විසින් සංගීතවත් කරන ලද බොදු ගීත 02 ක්ද ඒ අතර වේ. 

 


ශාන් බන්දු වීරසිංහ 


 

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Previous

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

චමරි ක්‍රිකට් වාර් තා අලුත් කරයි Read Next

චමරි ක්‍රිකට් වාර් තා අලුත් කරයි

Realted Post

Leave a comment