කීර්ති පැස්කුවල්ගේ ‘මනමාල හැන්දෑව’ ගී ප්‍රසංගය 29 වැනිදා නෙළුම් පොකුණේදී

දශක ගණනාවකට පෙර තම ප්‍රථම ගීතයෙන්ම ලැබූ ජනප්‍රියත්වය දිගින් දිගටම රඳවා ගනිමින් රසික ප්‍රසාදය හා ආදරය මෙන්ම ගෞරවයද ලබමින් සංගීත ක්ෂේත්‍රයේ නිරතවන කලා ශිල්පීන් අතළොස්ස අතර මේ කීර්ති පැස්කුවල් නම් ගායන ශිල්පියාට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

ගායකයෙක්, සංගීතඥයෙක්, වාදකයෙක්, ගුරුවරයෙක්, රියැලිටි වැඩසටහන් විනිසුරුවරයෙක් මෙන්ම සමාජ සේවය වෙනුවෙන් කැපවෙමින් කලාකරුවන්ට පමණක් නොව ඉන් පරිභාහිරවද ඕනෑම අසරණ කෙනෙකු වෙත උපකාර කරන්නට නොපැකිළෙන මෙම ලයාන්විතයා පිළිකා රෝගීන්ගේ සුවය අරමුණු කර ගනිමින් ආරම්භ කළ දැවැන්ත ව්‍යාපෘති ඊට කදිම නිදසුන්ය.

මෙම ලයාන්විතයාගේ උපන්දින සත්කාරයේ ආදරය සෑම වසරකම බෙදා හැරුණේ ද අසරණ දූ දරුවන්ගේ අධ්‍යාපනයට පිහිටක් හෝ අසරණ රෝගීන්ට පිහිටක් වෙමිනි. මෙවර ඔහුගේ 67 වැනි ජන්ම දිනය වෙනුවෙන් එළඹෙන ජනවාරි 29 වැනි ඉරුදින කීර්ති පැස්කුවල් ‘මනමාල හැන්දෑව’ සමග ආදාරය අරන් ප්‍රසංග වේදිකාවට ගොඩවන්නට සූදානමින් සිටියි. ඒ ගී සැඳෑව රැගෙන එන්නේ මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ පොරෙත්තු ලේඛනයේ සිටින රෝගීන්ගේ ශල්‍යකර්ම කටයුතු සඳහා මුදල් සෙවීම වෙනුවෙනි.
 

‘මනමාල හැන්දෑව’ වෙනුවෙන් ඔහු හඬ අවදි කළේ මේ විදිහට.

‘මනමාල හැන්දෑව’ ප්‍රසංගය වේදිකාවට එන්නේ කීවෙනි වතාවටද?

මනමාල හැන්දෑව ප්‍රසංගය වේදිකාවට එන දෙවැනි අවස්ථාව මේක. මෙම 29 වැනි දින සවස 6.45 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මම මේ ප්‍රසංගය පැවැත්වීමේ පරමාර්ථ 2 ක් තියෙනවා. එකක් ප්‍රේක්ෂකයින්ට මගේ ගීත රසවිඳින්න සැලැස්වීම. ඒවාගේම අනෙක් ප්‍රධානම අරමුණ මම පසුගිය කාලේ ඉඳලා කරගෙන ආපු සමාජසේවා වැඩපිළිවෙළක් තියෙනවා. ඒ හරහා පිළිකා රෝගයෙන් දුක් විඳින රෝගීන් වෙනුවෙන් මම හැකි අයුරින් බොහෝ කටයුතු කරගෙන ආවා. මේ ප්‍රසංගයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන්ගේ ශල්‍යකර්ම කටයුතු සඳහා මුදල් ලබා දීම වෙනුවෙන් ‘ප්‍රාර්ථනාා භාරකාර අරමුදල’ ආරම්භ කිරීමයි.
 

ඔබ වසර ගණනාවක් පුරාම මහරගම අපේක්ෂා රෝහලට හිතසුව පිණිස තරමක වෙනස් සිතුවිලි රැගෙන ගිය කෙනෙක්.....

ඇත්තටම මේ රෝගීන්ට දානයක් දෙනවාට වඩා සිංදුවක් කියලා සිත් සතුටු කරනවාට වඩා දෙයක් කරන්න බැරිද කියලා එක තැනකදි මම හිතුවා. මං හැකි අයුරින් යම් යම් කටයුතු කරගෙන ආ අතරේ ලියුකේමියාා රෝගීන් වෙනුවෙන් ‘ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක අවශ්‍යතාවක් තියෙනවා කියලා වෛද්‍යවරු හරහා මට දැනගන්න ලැබුණා. 2019 අවුරුද්දේ මගේ උපන්දිනය දවසේ මගේ හිතේ ප්‍රාර්ථනාවක් ඇති වුණා. ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් ස්ථාපිත කරන්න ඕනෑ කියලා. ඒ වෙනකොට ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ ඒකක තිබුණේ 02 යි. ලොකු පොරොත්තු ලේඛනයක් තිබුණා. ලේ පිළිකාව කියන භයානක රෝගයෙන් පීඩා විඳින කුඩා දරුවාගේ සිට වැඩිමහල් දරුවා දක්වා ගොඩක් අසරණ තත්ත්වයට පත් වෙලා තිබුණේ. මේ කාරණයේදි යම්කිසි විදියකට අපිට ඔවුන්ගේ ජීවිතේ තව දවසක් හරි ජීවත් කරවන්න අවස්ථාව දෙන්න හැකියාව ලැබෙනවා නම් කියලා මගේ හිතේ විශාල සිතුවිල්ලක් ඇති වුණා. ඒ අනුව කොතලාවල ආරක්ෂක රෝහලට ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් හදන්න අපි සාකච්ඡා කළා. අපි ‘හෙල්ප් සර්කල්’ ආයතනය පිහිටුවාගෙන ලියුකේමියා රෝගීන් වෙනුවෙන් ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් ගොඩනැගීමට ලක්ෂ 3000 ක් සෙවීම පටන් ගත්තා. මගේ සමාජසේවා ආයතනය සහ තව කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයට ශල්‍ය කාමර 08 ක් නිර්මාණය කිරීමට අපිට හැකියාව ලැබුණා. අද වෙනකොට රෝගීන් 200කට වැඩි පිරිසක් එහි ප්‍රතිකාර ලබනවා. කලාකරුවෙක් ලෙස මගේ මූලිකත්වයෙන් මෙවැනි දෙයක් සමාජයට කරන්න ලැබීම සතුට්ක්.

මෙවරත් ඔබේ ජන්ම දිනය ගෙවෙන්නේ තවත් සුවිශේෂ කටයුත්තක් සමග නේද? මේ වෙනකොට බෙහෙත් හිඟය සහ පරීක්ෂණ කිරීමේ අපහසුතා නිසා රුධිර පිළිකාවෙන් පීඩා විඳින ශල්‍යකර්මය කරගන්න හැකියාවක් නැතිව බොහෝ අයි ඉන්නවා. එක් රෝගියෙකුට දල වශයෙන් රුපියල් ලක්ෂ හයකවත් මුදලක් ප්‍රතිකාර, බෙහෙත් සදහා වැයවෙනවා. ඒ මුදල සොයා ගැනීමේ අරමුණින් තමයි මම මේ ප්‍රසංගය පවත්වන්නේ. අපේක්ෂා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයේ ප්‍රධාන වෛද්‍යවරයා මෙවැනි ගැටලු තියෙනවා කියලා කිව්වාම ඒ වෙනුවෙන් මට කළ හැකි දේ කරන්න ඉතාමත් ඉහළින් කැමැති වුණා. වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ ඇතුළු පාර්ශව කිහිපයකගේ භාරකාරත්වයෙන් ඇරඹෙන අරමුදලට ඕනෑම කෙනෙකුට උදව් කරන්න අවස්ථාව තියෙනවා.

එහෙනම් ජනවාරි 29 සවස 6.45 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලට එන්න කියලා මගේ ආදරණීය රසිකයින්ට මම ආරාධනා කරනවා. සමිතා මුදුන්කොටුව, චන්ද්‍රලේකා පෙරේරා, නිරෝෂා විරාජිනී, ධම්මිකා බණ්ඩාර, මරියසෙල් ගුණතිලක, චේතනා රණසිංහ, වරුණි පැස්කුවල් මට එදාට යුග ගායනයෙන් එකතු වෙනවා.

නදීශා අතුකෝරාල


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තන්තිරිමලයට යන පාරේ  මල් විකුණන ළියන්ගේ  ආයාචනය ... Read Previous

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත  ඉන්දිකා ජයසේන Read Next

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත ඉන්දිකා ජයසේන

Realted Post

Leave a comment