ජනනි කොළමුන්න

ජනනි ඔයා ගැන විස්තර ටිකක් කිව්වොත්?

මගේ උපන් ගම දෙහිවල. දැන් මට වසය අවුරුදු 24යි. මම අධ්‍යාපනය ලැබුවේ දෙහිවල ප්‍රෙස්බිටීරියන්  බාලිකා විද්‍යාලයෙන්. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මායි, තාත්තයි, මල්ලියි.

ජාතික යෞවන සම්මාන උළලේ සිංහල මාධ් හොදම නිවේදිකාව ලෙස ඔබ ඇගයීමට ලක් වුණා. ගැන මොකද හිතන්නේ?

ක්ෂේත්‍රයට ආව මුල් කාලේ ඉඳලම මට හීනයක් තිබුණා මේ වගේ සම්මානයක් දිනා ගන්න. ක්ෂේත්‍රයට ඇවිත් මාස හයක් වගේ ඉතාම කෙටි කාලයකින් 2022 රයිගම් ටෙලීස් සම්මාන උලළේ හොදම නිවේදිකා සම්මානයට මම නිර්දේශ වුණා. නමුත් ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස මට ලැබුණු පළවෙනි සම්මානය මේක. ජාතික යෞවන සම්මාන තරගයට ලංකාව වටෙන්ම දක්ෂයෝ ගොඩක් ඇවිත් හිටියා. ඒ නිසා මට පොඩි චකිතයක් තිබුණා මේ සම්මානය මට ලැබෙයිදෝ කියලා. නමුත් මම වාසනාවන්ත වුණා මේ සම්මානය මගේ කර ගන්න.

සම්මානය ලැබුණට පසු ක්ෂේත්රයේ අයගෙන් ලැබුණ පුතිචාර කොහොම ?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ දක්ෂතා ඔපමට්ටම් කරගෙන බොහොම අවදානයෙන් ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න කියල තමයි හැමෝම කිව්වේ.

ඔබ කොහොම නිවේදනයට අවතීර්ණ වෙන්නේ?

නිවේදිකාවක් වෙන්න මට පොඩි කාලේ ඉඳලම ලොකු ආසාවක්, උනන්දුවක් තිබුණා. පාසලේදීත්, දහම් පාසලේදීත් මට පුළුවන් වුනා මගේ දක්ෂතාවන් ඔපමට්ටම් කරගන්න. නිවේදනය පැත්තෙන් මට ලැබෙන හැම අවස්ථාවකටම සම්බන්ධ වෙලා මගේ නිවේදන දක්ෂතාවන් ටික ටික වර්ධනය කරගන්න මට අවස්තාව ලැබුණා.

ඔබ කොහොම හිරු ටීවී එකත් එක්ක සම්බන්ධ වෙන්නේ?

රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න ආසාවක් තිබුණත් ඒ සදහා යා යුතු මාවත ගැන මට අවබෝධයක් තිබුණෙ නැහැ. ඒ අතරතුරේ දී තමයි මට මහේෂ් කොස්ගම්පල සර් මුණගැහෙන්නේ. ඔහුගේ සහයෝගයෙන් මට පුළුවන් වුණා හිරු ටීවී එක්ක සම්බන්ධ වෙන්න. මම හිරු පවුලට එකතු වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා. අද ජනනි කොළමුන්න කියලා ප්‍රවෘත්ති නිවේදිකාවක් ඉන්නේ හිරු ටීවී නිසා. හිරු මාධ්‍ය ආයතනය මගේ ජීවිතයේ ලොකු පරිවර්තනයක් කළා. මම හැමදාම හිරු පවුලට ගෞරව කරනවා.

දක්ෂතාව තිබුණත් රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස ක්ෂේත්රයට එන්න ඇතැම් තරුණියන් බියක් දක්වනවා. මේ ගැන ඔබ මොකද හිතන්නේ?

රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ක්ෂේත්‍රයට එන්න බය වෙන්න ඕන නැහැ. ඒක තරුණියකගේ ජීවිතයට ලැබෙන ඉතා වටිනා අවස්ථාවක්. තමන්ගේ වෘත්තිය හරි විදියට කරගෙන යනව නම් ප්‍රශ්නයක් නැතුව ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න පුළුවන් කියලයි මම හිතන්නේ.

ඔබට මේ දක්වා එන්න උදව් උපකාර කළ පිරිස මතක් කළොත්?

මගේ පවුලේ අය මට මේ තැනට එන්න ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මගේ පාසල සහ දහම් පාසල මට විශාල සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන්ම අතුල රන්සිරිලාල් සර් මතක් කරන්න ඕන. මාධ්‍ය ජීවිතයට එන්න ඔහුත් මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඊට අමතරව හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමන් ඇතුළු ප්‍රවෘත්ති අංශයේ සමස්ත කාර්යය මණ්ඩලය මේ දක්වා එන්න මට ගොඩාක් උපකාර කළා.

කෙටි කාලයක් ඇතුළත ක්ෂේත්රය තුළ ඔබ ආපු ගමන් මග ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඇත්තටම මට මම ගැන ගොඩක් සතුටුයි. මේ වෙද්දි ජනනි කොළමුන්න කියන චරිතය හිරු හරහා රටේ බොහෝ දෙනා හදුනනවා. මම මේ දක්වා එන්න ගොඩක් උනන්දු වුණා. කැපකිරීම් කළා. විශේෂයෙන්ම යෞවන සම්මාන උළලේ හොදම නිවේදිකා සම්මානය ලැබීමත් එක්ක මට මම ගැන ලොකු ආත්මාභිමානයක් ඇති වුණා.

දිගටම ප්රවෘත්ති නිවේදිකාවක් විදියට ක්ෂේත්රයේ රැදෙන්නද බලාපොරොත්තුව?

ඔව්. ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න කෙනෙක්ට ලේසියෙන් බැහැ. ඒක වගකීම් සහගත වෘත්තියක්. කොහොම වුණත් මම මේ වෘත්තිය කරන්නේ ගොඩාක් ආසාවෙන්. ඒ නිසා මම දිගටම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට කටයුතු කරනවා

ජනනිගේ අනාගත බලාපොරොත්තු මොනවා ?

ක්ෂේත්‍රයේ හොඳ නමක් තියාගෙන දිගු ගමනක් යෑම තමයි මගේ බලාපොරොත්තුව. තවදුරත් ඇගයීමට පාත්‍ර විය හැකි දක්ෂයෙකු බවට පත්වෙන්න මම කැමතියි. වෘත්තීය කටයුතු එක්ක මගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යෑම තමයි මගේ අරමුණයි.

සටහන - තක්ෂිලා පතිරණ

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Previous

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

හදිසියක් නැහැ..... හෙමින් යනවා ....  සුප්පා දෙවිය ..  අභිලාෂි Read Next

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

Realted Post

Leave a comment