ජනප්‍රිය ලේඛිකා පියුමි ජයකලණි වික්‍රම ආරච්චිගේ නවතම කෙටි කතා සංග්‍රහය ’’නියුරලින්ක්’’

ගිය සැප්තැම්බර් මස එළි දැක් වූ සිරිකත පුවත්පතේ කොටස් වශයෙන් පළවෙන "ඔබ ආයෙමත් ඇවිදින්" යොවුන් නව කතාව පාඨකයින්ට ගෙනෙනා ජනප්‍රිය ලේඛිකා පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් මෙන්ම නාසා ආයතනයේ වෙබ් කතුවරියක වශයෙන් කටයුතු කරන්නීය. ඇයගේ නවතම කෙටි කතා සංග්‍රහය වන "නියුරලින්ක්" ඔස්සේ මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ නවීන විද්‍යාත්මක පර්යේෂණ ගැන කතා කරනු ලබන්නේ විවිධාකාර වූ නූතන කතා හතක් ඔස්සේය. 7 MODERN SHORT STORIES ලෙස හඳුන්වා දී තිබෙන "නියුරලින්ක්" කෙටිකතා සංග්‍රහය පිළිබඳව ප්‍රවීණයින් කිහිප දෙනෙකු ගේ අදහස් මෙසේ ය.

නිර්මාණකරුවෙකු සිය නිර්මාණ කාර්යය උදෙසා තෝරාගනු ලබන විෂය වස්තුව එම නිර්මාණයෙහි සාර්ථකත්වය කෙරෙහි සෘජුවම බලපානු ඇති බව නොරහසකි. එම සත්‍යය මැනවින් අවබෝධ කොටගෙන ලියැවුණු අපූර්ව කෘතියක් ලෙස පියුමි ජයකලණිගේ "Neuralink" කෙටිකතා සංග්‍රහය හඳුන්වා දිය හැකිය.

සියවස් දෙකකට ආසන්න කාලයක් බ්‍රිතාන්‍යයන් මෙරට යටත් කොට ගෙන සිටියා පමණක් නොව, ඔවුන්ගේ සංස්කෘතික ආර්ථික හා සමාජ සාධකයන් මේ පොළොව තුළ රෝපණය කළ බව අපට කියන්නේ ඉතිහාස පොත ම පමණක් නොවේ. විවෘත මනසින් සමාජය කියවන ඕනෑම අයෙකුට ඒ බව පසක් කර ගැනීමට අවශ්‍ය සාධක ඕනෑවටත් වඩා අපට දැක ගත හැකිය. සරලව කිවහොත් කිරීටය අපට කළ බලපෑම සුළුපටු නැත. මෙම කෘතිය තුළ විටෙක නිර්මාණ කාරිය සිය ආකර්ශනීය වූ ලේඛන හැකියාවෙන් කිරීටයේ සංස්කෘතීන් පවා අඩු වැඩි වශයෙන් ආක්‍රමණය කරන අතර තවත් විටෙක ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතික පසුබිම රෝපණය වී එංගලන්තයට ගොස් ඒ තුළ පැලපදියම් වී සිටින්නන්ට ශ්‍රී ලාංකේය සංස්කෘතිය යළි මතක් කර දෙයි.

මෙම කෘතියෙහි හෙළ බසෙහි ඇති ගරු නිගරු බස් වහර මනා කොට යොදාගෙන තිබෙනු දක්නට ලැබේ. එමෙන්ම ශ්‍රී ලාංකේය දේශීය සංස්කෘතිය හා හැදියාව මත පල් නොවී නූතන විද්‍යාව ස්පර්ශ කිරීමක් ද මේ තුළ විද්‍යමාන වන කරුණකි. අතීතය තුළ සැඟවුණු මිථ්‍යාව ද ජයකලණි විසින් ඉතා සංයමයෙන් යුතු ව ස්පර්ශ කරනු ලබන්නේ ඒ කෙරෙහි පාඨක මනස ඉතා සූක්ෂමව ආකර්ෂණය කර ගනිමිනි. විවිධ සංස්කෘතීන් හි පවත්නා විවිධ හැඩතල හා සමාජ හරයන් ලාංකේය සමාජය වෙත රැගෙන විත් මෙරට පාඨකයාගෙන් තෙවැනි ඇස විවර කරන අපූර්වතම කෙටිකතා සංග්‍රහයක් ලෙස ද මෙය හඳුන්වා දිය හැකිය. එම නිසා මෙරට කෙටිකතා කලාවට අපූර්වත්වයක් එක් වුණු සන්ධිස්ථානයක් ලෙස Neuralink කෙටිකතා සංග්‍රහය අගය කළ හැකිය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සද්ධාමංගල සූරියබණ්ඩාර

     ************

පියුමි ජයකලණිගේ බස්වහර කාව්‍යාත්මක මෙන්ම ගීතමය මාධූර්යයකින් යුක්තය.

"සුදු නංගි"

හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන පපු කුහර වලට එකවර අකුණක් ගැසුවාක් මෙන් තිගැස්සී ගියේ ඇය ඇස් උස්සා වෛද්‍යවරයා දෙස බැලුවාය.

"සුදු නංගි... ඔයා..?"

ඔහු බිමට ඇණ තබාගනිමින් සසින්දි ගේ දණ හිසට අත තබා බර වූයේ ය.

බස වඩාත් රමණීයාර්ථ ජනනයට තුඩු දෙන අයුරින් භාවිතයේ අපූර්ව කුශලතාවයක් පියුමි ජයකලණි ප්‍රකට කරයි. 

ඉතාමත් ආකර්ෂණශීලී ලෙසත්, විචිත්‍ර ලෙසත්, භාවාත්මක ලෙසත්, රසිකයන් අමන්දානන්දයට පත්වන ලෙසත් කෙටිකතාව හැසිරවීමේ අපූර්ව කුශලතාවයක් ජයකලණි ප්‍රකට කර ඇත්තේ ප්‍රේමය තේමා කරගත් අනුභූතීන් පරිකල්පනය කොට ප්‍රතිනිර්මාණය කිරීමේ දී ය. 

කෙටි කතාවක මූලික ගුණාංග හතක් අන්තර්ගත ව පැවතිය යුතු අතර මෙකී මූලික ලක්ෂණ ජයකලණිගේ කෙටිකතා වල අඩුවක් නොමැතිව දක්නට පුළුවන. ඒ අනුව කෙටිකතා මාධ්‍ය හඳුනාගෙන එකිනෙකට කෙටිකතා රචනා කිරීමට ඇය කුශලතා ප්‍රකට කරයි.

සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ


       **********
ජීවිතයේ ඇතුළාන්තය දෙස හෙළන ආදරණීය බැල්මකි සෞර අධිරාජ්‍යයක - ආකාශ සැණකෙළිය. 

ජීවිතයේ ගූඪ ඇතුළාන්තය සංකීර්ණත්වය පිළිබඳ පියුමි මෙම කෘතිය හරහා හෙලන නව්‍ය වූ දෘෂ්ටිය බොහොම පොහොසත් ය.

එය දූපත් මානසිකත්වය උගුල්ලා ජීවිතය දෙස හැරී බැලීමකි.

පාඨකයින් ලෙස අප කළ යුත්තේ රොමෑන්තික, ගූඪ සහ සංකීර්ණ ජීවිතය පිළිබඳ ඇගේ මේ දෘෂ්ටිමය ප්‍රකාශනය නිවැරදි කෝණයකින් දැකීම යි.

     ************

පියුමි ජයකලණි නම් පරිපූර්ණ කිවිඳියගේ කෙටිකතා පොතක් කියවන්නට ලැබීම ඇගේ කවි වැලක් රසවිඳීම හා සම ය. කෙටිකතා හතක් පුරා එකිනෙකට වෙනස් තේමාවන් ග්‍රහණය කරගනිමින්, චරිත, සිද්ධි නැවුම් ආකෘතියකට හසුකර ගනිමින් ඇය අපූරු ප්‍රතිභාවකින් "නියුරලින්ක්" බිහි කරයි.

"ඇත්තටම ගැහැණු ආදරයට වඩා පෙරේත රැකවරණයට"... පියුමි එහි තැනක ලියයි.

කෙටිකතාව යනු අසීරු මාධ්‍යයකි. එහි එන චරිතයන්හි මනෝභාවයන් විග්‍රහ කිරීම යනු සිර කූඩුව ක සිට නිදහස ගැන සිහින මැවීම වැනිය. පියුමි ජයකලණි එවැනි ගැඹුරු සංකීර්ණ චරිත සමඟින් සොඳුරු සිහින මවන්නියකි. පැහැදිලි කෙටි වැකි වලින් පාඨක සිත් බැඳ තබා ගැනීමේ හැකියාව ඇති ලේඛිකාව ඇය. කෙටිකතා පොතක් කවියෙන් ලියූ කිවිඳියට සුබ පතමි. 

ප්‍රවීණ ලේඛක
මංජුල සේනාරත්න.

           ***********

ආදරය තරම් අපේ හිත සුවපත් කරන වෙනත් හැඟීමක් නැත. එය අපේ හිත තලා පෙලන්නේ එය අපට නොලැබෙන විට ය. එවිට ඒ ආදරය වෙනුවෙන් ඕනෑම අවදානමක් ගන්නට හෝ ඕනෑම මිලක් ගෙවන්නට අප සූදානම්ය.

අපට අපේ මවු රට ගැනත් මවු භාෂාව ගැනත් දැනෙන හැඟීම ඒ ආදරයට සමාන ය. මවු රටෙන් හා මවු භාෂාවෙන් ඈත් වන තරමට අපට ඒ වෙනුවෙන් දැනෙන ආදරය වැඩිය. විප්‍රයෝගය වැඩිය. එවිට ඒ සංකාව වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවන්නට අප සූදානම්ය.

පියුමිගේ මේ කෙටිකතා සංග්‍රහය මට දැනෙන්නේ ඒ සාංකාව වෙනුවෙන් ඇය ගෙවන්නට සැරසෙන මිලක් ලෙසය. නමුත් ඇය මෙතැනදී ඇගේ සාම්ප්‍රදායික මවු රටට හෝ මවු භාෂාවට ණයගැත්තියක් වී නොසිටියි. එසේම ඇය ජීවත් වන එක්සත් රාජධානියට ද වහල් නොවෙයි. ඒ වෙනුවට ඒ දෙතැනම ඇති මිනිසත් කමේ මානුෂීය සාරය ඇය ගවේෂණය කරයි.

මිනිසත්කම යැයි කියූ විට අප හඳුනාගත යුත්තේ මිනිසා තුළ ඇති හොඳම දේ පමණක් නොවේ. එයට ආදරය, පරිත්‍යාගය වැනි අපි හොදයි කියන දේ පමණක් මෙන්ම, ඊර්ෂ්‍යාව, වෛරය වැනි අපි නරකයි කියන දේ ද ඇතුළත් ය. මිනිසාගේ මිනිසත්කම හැඩ ගැසෙන්නේ මේ හොඳ නරක දෙකේම සංකලන තුළය.

පියුමි ගවේෂණය කරන්නේ මෙය යි. එයට භූමිය අදාල නොවන බව ඇය අපට කියයි. එපමණකුදු පමණක් නොව, එයට පෘථිවිය හෝ Proxima Centauri B වුව ද අදාල නොවන බව ඇය " නියුරලින්ක්" තුළින් අවධාරණය කරයි.

ප්‍රවීණ ලේඛක
මොහාන් රාජ් මඩවල

    *************

"නියුරලින්ක්" කෘතිය තුළින් ජයකලණි පෙළගස්වන මාතෘකා ඉදිරි පරම්පරා වෙත කෙරෙන අභියෝගන් ය. නවීන තාක්ෂණික විද්‍යාත්මක පර්යේෂණ සඳහා මංපෙත් විවර කරමින් ඇය ඒ සඳහා කදිම මාතෘකාවක් සාකච්ඡා කර තිබේ. මෙහි මට දැනුණු තවත් සුවිශේෂී වූත්, සංවේදී වූ කරුණක් ද සඳහන් කරන්නට කැමැත්තෙමි. ඒ කතුවරිය සිය වචන හරඹ තුළින් පාඨක සිත් ආකර්ශණය කර ගැනීමට සමත් රූපරචනා පෙළයි. ශ්‍රව්‍ය, දෘෂ්‍ය මාධ්‍ය ගැටුමක් නිර්මාණය වෙමින් පවතින මෙවන් වකවානුවක ඇය මෙම ක්ෂේත්‍ර දෙකම එකට මිට මොලවා ගොනුකොට "නියුරලින්ක්"  පාඨක ඔබ වෙත තිළිණ කිරීම ප්‍රශංසනීය වේ. එය ජේ.කේ. රොව්ලින්ගේ "හැරීපෝටර්" මෙන් ම "නානියා" වැනි චිත්‍රපටවල ස්පර්ශ කරවන්නකි.

හිටපු නියෝජ්‍ය කර්තෘ (ඉරුදින පුවත්පත)
චතුර විද්‍යාරත්න

ලංකාව පුරා ඇති සරසවි පොත් ශාඛා වලින් දැන් පාඨක ලෝලීන් ට "නියුරලින්ක්" ලබාගත හැක.

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Previous

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Next

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

Realted Post

Leave a comment