ජිගලෝ

සිංහල සිනමාවේ එදා මෙදා තුර නිර්මාණය වූ, අපේම මහපොළොවෙන් උපන් වෙනස්ම ආරක රැඩිකල් සිනමා නිර්මාණයක් ලෙස “ජිගලෝ” හැඳින්විය හැකිය.

වට්ටෝරුගත කතාන්දරවලින් මෙන්ම රැල්ලට යන චරිත කේන්ද්‍ර කරගත් කතා වලින්ද බැහැරව, සාම්ප්‍රදායික ප්‍රේම කතා සහ දේශපාලන කතාන්දරවලින් ඔබ්බට ගොස්, මෙරට සිනමාවේ මෙතෙක් එතරම් කතාබහට ලක් නොවූ පිරිමි ලිංගික ශ්‍රමිකයන්ගේ ජීවිතය තේමා කරගත් සිනමා නිර්මාණයක් ලෙස “ජිගලෝ” හඳුන්වා දිය හැකිය.

ආර්ථික අපහසුතා හමුවේ කොළඹ නගරයේ ධනවත් කාන්තාවන් සඳහා තම ශරීරය විකිණීමට සිදුවන තරුණ නළුවෙකුගේ ජීවිතය වටා ගෙතෙන “ජිගලෝ” වර්තමාන සමාජයේ සැඟවුණු යථාර්ථයකට ප්‍රේක්ෂකයා රැගෙන යයි.

2010 වසරේ “සුපර් සික්ස්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි, මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි අත්දැකීම් සහිත යු.ඒ. පල්ලියගුරු “ජිගලෝ” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. ඔහු මේ වන විට ඉංග්‍රීසි භාෂාවෙන් “Red Easter” චිත්‍රපටයද නිර්මාණය කරමින් සිටී.

ජාත්‍යන්තර සම්මාන හා ඇගයීම්

“ජිගලෝ” සිනමා නිර්මාණයට අමතරව යු.ඒ. පල්ලියගුරුගේ නිර්මාණ ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදීද ඇගයීමට ලක්ව තිබේ.  “ජිගලෝ” චිත්‍රපටයේ නිෂ්පාදනය සුනිල් ටී. ප්‍රනාන්දු සහ යු.ඒ. පල්ලියගුරු විසිනි.

ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නිළි නීටා ප්‍රනාන්දු මෙහි ප්‍රධාන චරිතයකට පණ පොවන අතර, සිනමාවට හඳුන්වා දෙන නවක රංගන ශිල්පී රැන්ඩි සෙනෙවිරත්න පිරිමි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. ප්‍රවීණ රංගන ශිල්පීන් වන මානෙල් වානගුරු, ජනක කුඹුකගේ සහ ගීතා කාන්ති ජයකොඩි මෙන්ම නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන අසංකි ද සිල්වා, දිල්රුෆා ශෙනාස් සහ පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පීන් වන විරාජ් පෙරේරා හා සචින් ලියනගේ ඇතුළු පිරිසක් සහාය චරිත සඳහා එක්වෙති.

“ජිගලෝ” යනු යු.ඒ. පල්ලියගුරුගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය වන අතර, එය ඔහුගේ අටවැනි සිනමා නිෂ්පාදනයද වේ. එමෙන්ම මෙය සුනිල් ටී. ප්‍රනාන්දුගේ 74 වැනි සිනමා නිෂ්පාදනය ලෙසද සඳහන් වේ. දැනට ප්‍රදර්ශනය කර ඇති “පැණි මකුළුවෝ”, “සාම කුමරු කතාව”, “සුස්ති”, “ආලේ කොරෝනා රුහිරේ”, “සැඟවෙන කිරිල්ලියෝ”, “පියාඹන්න ආයෙත්” සහ “සික්ස්ටි නයින්” ඇතුළු චිත්‍රපට සමඟින් “ජිගලෝ” ද ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට සූදානම්ය.

මීට අමතරව ඉදිරියේදී “Red Easter”, “අනියම්”, “සම රිසි පෙමක්”, “Truth or Dare”, “කෙළිලොල් කතාවක්” සහ “ප්‍රේම්” ඇතුළු තවත් සිනමා නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.

“ජිගලෝ” කතාව

කොරෝනා වසංගතයෙන් පසු රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින කාලයක මහේන් සිනමාවට පිවිසීමට උත්සාහ කරන නවක නළුවෙකි. ඔහුගේ පෙම්වතිය ගුවන් සේවිකාවකි. ඇය සමඟ ඇගේ නිවසේ ජීවත් වන මහේන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැත. මහේන්ගේ මිතුරෙකු සැලෝන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර, ඔහු විසින් මහේන්ව ධනවත් කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා සඳහා මුදලට යොදාගැනීම ආරම්භ කරයි. එමඟින් මහේන් යහමින් මුදල් උපයන්නට පටන් ගනී. එහෙත් ඔහුගේ සැබෑ ආදායම් මාර්ගය පෙම්වතියගෙන් වසන් කිරීම සඳහා කායවර්ධන මධ්‍යස්ථානයක රැකියාවක්ද කරයි.

මේ අතර විශාල ධනයකට හිමිකම් කියන ස්වනා නම් වයස්ගත කාන්තාවක් මහේන් සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගනී. ඇය නිරන්තරයෙන් මහේන්ව තම නිවසට කැඳවයි. ස්වනාගේ දික්කසාද වූ සැමියාද ඇය සතු ධනය හේතුවෙන් ඇය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවෙයි. මේ සියල්ල අතර මහේන් තම පෙම්වතියත්, ධනවත් කාන්තාවත් අතර ගොඩනැඟෙන සංකීර්ණ සම්බන්ධතාවයකට මැදි වෙයි. ස්වනා හමුවීමට නිරන්තරයෙන් යාම හේතුවෙන් තම පෙම්වතියට බොරු කියමින් ජීවත් වීමට ඔහුට සිදුවන අතර, එම තත්ත්වය ඔහුව ක්‍රමයෙන් දැඩි අසරණභාවයකට පත් කරයි.

එවැනි පසුබිමක හදිසියේම ස්වනා තම නිදන ඇඳ මත මියගොස් සිටියදී සොයා ගැනීම සමඟ කතාව නව හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණෙයි. මෙම මරණය රට පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදෙන අතර, එහි සත්‍යය සොයා ගැනීම සඳහා නිෂාදි නම් පොලිස් පරීක්ෂකවරිය මැදිහත් වෙයි. ඇයගේ අරමුණ වන්නේ ස්වනාගේ මරණය සිදුවූ ආකාරයත්, එය සිදු කළේ කවුරුන්ද යන්නත් අනාවරණය කර ගැනීමයි. ඒ අනුව ආදරය, ආර්ථික අර්බුදය, සමාජයේ සැඟවුණු යථාර්ථයන් සහ අභිරහස් මරණයක් වටා ගොඩනැඟෙන “ජිගලෝ” කතාව ප්‍රේක්ෂකයාට වෙනස්ම සිනමා අත්දැකීමක් ලබාදීමට සූදානම් වෙයි.

රංගන දායකත්වය

“ජිගලෝ” චිත්‍රපටය සඳහා නීටා ප්‍රනාන්දු, රැන්ඩි සෙනෙවිරත්න, දිල්රුෆා ශෙනාස්, ජනක කුඹුකගේ, අසංකි ද සිල්වා, සචින් ලියනගේ, විරාජ් පෙරේරා, රුක්ෂානා දිසානායක, මානෙල් වානගුරු, ගීතා කාන්ති ජයකොඩි, දයාසිරි හෙට්ටිආරච්චි, නිශාදි හේමමාලි, ඉලංකා ප්‍රනාන්දු සහ සෆීකා අලී ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්ව සිටිති.

තාක්ෂණික දායකත්වය

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය: යු.ඒ. පල්ලියගුරු, නිෂ්පාදනය: සුනිල් ටී. ප්‍රනාන්දු / යු.ඒ. පල්ලියගුරු, කැමරාකරණය: එච්.ඩී. ආරියවංශ, සහාය අධ්‍යක්ෂණය හා කලා අධ්‍යක්ෂණය: චාමර මධුසංක, නිෂ්පාදන කළමනාකරණය: දිනේෂ් සංජීව, නළු-නිළි තේරීම්: යු.ඒ. පල්ලියගුරු / දිනේෂ් සංජීව, සංස්කරණය / වර්ණ සංයෝජනය / ශබ්ද පරිපාලනය: ඉසුරු උමංග, අංග රචනය: සඳමාලි ආරියරත්න, නිශ්චල ඡායාරූප: කල්ප මේනක / චාරුක පෙරේරා / අමල් රෝස්

රසට පදමට කරවල හොද්ද Read Previous

රසට පදමට කරවල හොද්ද

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Next

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

Realted Post

Leave a comment