තුරුණු ශක්ති වේදිකාව මගේ ජීවිතේ වෙනස්කළා

 

“මේ ගමනේ මගේ ජීවිතේ යෝධ සෙවනැල්ල වුණේ මගේ අම්මයි තාත්තයි.  මගේ තාත්තා තැපැල් අංශයේ සේවය කරපු ආණ්ඩුවෙ වැටුපක් ගත්ත සේවකයෙක්. පවුලේ ගැහැනු දරුවොම තුන්දෙනයි. මගේ අම්මා ගෘහිණියක් විදියට තාත්තාගේ මාසික වැටුපෙන් අපට කිසිම අඩුවක් නොදැනෙන්න පුළුවන් හැමදේම දුන්නා. ඒ කාලේ මට මතකයි දකුණු පළාතේ කොහෙද සංගීත තරගයක් තියෙන්නේ තාත්තා කොහොම හරි මාව එක්කගෙන යනවා. එදා තුරුණු ශක්ති වේදිකාවේ මට හිමි වුණේ 6 වැනි ස්ථානය. 6 වැනි ස්ථානයත් අරගෙන මම වේදිකාවෙන් බහිද්දි පහුවෙනිදා වෙනකොට මගේ ලාභ සිනා ගීතය මුළු ලංකාවෙම අතිශය ජනප්‍රිය වුණා.

එදා ආරම්භ වුණ ගමන තමයි අද වෙනකම් මම ඇවිත් තියෙන්නේ.”


මීට වසර 17කට පෙර තුරුණු ශක්ති වේදිකාවෙන් ගායිකාවක් ලෙස කිරුළු පැලඳූ ඇය එදා සිට අද දක්වාම රසික හදවත් දිනාගත් ගායන ශිල්පිනියකි. සුභානි හර්ෂණී මුතුකුමාරණ නම් ඇය අද ජනප්‍රිය ගායිකාවක, ආදරණීය මවක, බිරිඳක ලෙස ගත කරන ජීවිතයේ අත්දැකීම් සමග සොඳුරු කතා බහකට අප ඇයට ආරාධනා කළා. 


‘එකම එක වරක්වත් ආදරෙයි කියන්න
රුහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න...’
‘සපත්තු මල ළා රතු පාටයි’
‘සඳ හරිම ලස්සනයි’


මේ ඇයගේ සොඳුරු ගීත නාමාවලියේ ගීත කිහිපයකි. 


“සංගීතයට පුංචි කාලේ ඉඳලා දක්ෂතා දක්වපු නිසා තාත්තා කොහොම හරි වියදම් කරලා සංගීත විශාරද දක්වාම මට ඉගැන්නුවා. අක්කලා දෙන්නත් සංගීතයට දක්ෂයි. ඒත් සංගීතය පැත්තෙන් මාව ඉදිරියට යවන්න තාත්තා ගොඩක් මහන්සි වුණා.


පාසල් කාලේ කොහේ තරගයක් තිබුණත් මම ඉදිරිපත් වුණා. ඒවායින් ජයග්‍රහණත් කළා. 1991 දී පාසල් නාට්‍ය අංශයෙන් අන්තර් පාසල් ටවර් හෝල් නාට්‍ය තරගයේ වෙස්සන්තර නාට්‍යයේ මම කුසලතා සම්මානයක් පවා ගත්තා. තංගල්ල බාලිකා විද්‍යාලයේ ඒ කාලේ මම ජනප්‍රිය චරිතයක්.


පුංචි කාලෙදිවත් මම ගෙදරට බරක් වුණේ නැහැ. අක්කලා ඇඳලා දීපු ඇඳුමක් තමයි මමත් ඇන්දේ. ආර්ථිකයත් එක්ක අපි අරපිරිමැස්මට පුරුදු වුණා. මට මතකයි එකම එක දවසක් මම තාත්තගෙන් ඕගන් එකක් ඉල්ලලා ඇඬුවා. අනේ තාත්තා මට ඊට පහුවදාම ඕගන් එකක් ගෙනත් දුන්නා.

 


■ ගායිකාවක් වෙන්න හිතුණේ ඇයි?
මටත් වඩා මාව ගායිකාවක් කරන්න ලොකු උවමනාවක් හීනයක් තිබුණේ මගේ අම්මටයි, තාත්තටයි. තුරුණු ශක්ති ඉදිරිපත් වෙනකොට මම විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබලා තිබුණේ. ඒත් තුරුණු ශක්ති වේදිකාව මගේ ජීවිතේ වෙනස් කරපු නිසා විශ්ව විද්‍යාල ගමන පැත්තකින් තියලා ගායිකාවක් වීම වෙනුවෙන් කැපවුණා. 

 


■ රියැලිටි වේදිකාවලින් එළියට එන නවකයින් අතරේ ඔබ අනන්‍යතාවක් හදා ගත්තේ කොහොමද?
දැන් තියෙන රියැලිටි තරග වගේ නෙවෙයි එදා තිබුණු තුරුණු ශක්ති. හරිම ගුණාත්මක, පිරිසුදු බවින් යුක්ත තරගයක්. මමත් තුරුණු ශක්ති වේදිකාවෙන් ආවේ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරලා. එදා වේදිකාවෙන් බැස්සට පස්සේ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරන්න ප්‍රසංග වේදිකාවට ගොඩ වුණේ නැහැ. මගේ ජීවිතේ වෙනස් කළේ එතැනින්. එදා අපේ අනන්‍යතාව හදලා දුන්නේ තරුණ සේවා සභාවයි.


මුල් අවස්ථාවලදී වේදිකාවේ හුඟක් හිනිදි ගීත ගායනා කළා. ‘ලාභ සිනා’ ගීතය තමයි මාව එක රැයකින් ජනප්‍රිය කළේ. තුරුණු ශක්ති වේදිකාවෙන් බැහැලා මාස තුනක් යන්න කලින්ම මම කැසට් එකක් කළා. 99 දි මේ කඳුළු තොටුපල කැසට් පටය ඉතාම ජනප්‍රිය වුණා. මම ආධුනික ගායිකාවක් විදියට ගී ගයපු කාලේ වැඩිපුරම ගායනා කළේ සුජාතා අත්තනායක මහත්මියගේ ගීත. ඇය වගේ ගායිකාවක් වෙන්න තමයි මම හීන දැක්කේ. 
ආධුනික අවදියේදී කොහොමත් ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරන්න සිද්ධ වෙනවා. අපේ ජීවිතේ පටන් ගන්න ඔවුන්ගේ ලොකු අත්වැලක්. තරගයෙන් පසුවත් අනුන්ගේ ගීත ගායනා කරලා මුදල් හම්බ කරනවා නම් ඒක පවක්. තංගල්ලේ දුෂ්කර ගමක ඉදලා කොළඹට ඇවිත් ගායිකාවක් විදියට මේ තැන හදාගන්න අප්‍රමාණ දුක් වින්දා. එදා අත පිරෙන්න තෑගි නොලැබුණාට මට යන්න පාර පෙන්නපු තුරුණු ශක්ති වේදිකාවට මම ණයගැතියි. 


එදා අපට මේ ගමන එන්න අත දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඒත් අද තරුණ පරපුරට ඒ අවස්ථාව මාධ්‍ය ආයතනවලින් දීලා තියෙනවා. ඇත්තටම අද තරුණ පරපුර වාසනාවන්තයි. තුරුණු ශක්ති ජයග්‍රහණය කරපු වෙලාවේ මට ලැබුණේ රුපියල් 3000 යි. ඒත් ඒ වේදිකාව මට හදලා දීපු තැන ඊට වඩා හුඟක් වටිනවා. ලැබෙන අවස්ථාව ජාතික තලයට යන්න ආභරණයක් කරගන්න. නැත්නම් අතරමගදි වරදිනවාමයි.

 


■ තුරුණු ශක්ති වේදිකාව නොතිබුණා නම් සුභානි ගායිකාවක් වෙයිද?
මට ව්‍යාපාරයක් කරලා හරි සල්ලි හම්බ කරලා ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් කියන ආත්ම විශ්වාසය මට පුංචි කාලේ ඉඳලම තිබුණා. හෙට මට සින්දු කියන්න නැති වුණත් ආර්ථිකය හදාගන්න පුළුවන් මානසික ශක්තියක් මට තියෙනවා. මගේ අම්මා හරිම  උත්සාහවන්ත ගැහැනියක්. මම මගේ ජීවිතේ ගොඩක් දේවල් හදා ගත්තේ ඇය දිහා බලලා.
ක්ෂේත්‍රය පිළිබඳව කලකිරුණු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒ හැමදේකටම මට මූණ දෙන්න ශක්තිය වුණේ, ජීවත් වෙන්න ඕනෑ විදිය ඉගෙන ගත්තේ අම්මගෙන්. මට ක්ෂේත්‍රයේ ලොකු හිත් රිදීම් වෙලා නැහැ. 

 


■ ශෂිකා නිසංසලා, සුභානි හර්ෂනී කැසට් පට ඉතිහාසයේ නොමැකෙන හඬවල් දෙකක්. කොහොමද ඒ කාලේ ප්‍රතිචාර?
අම්මෝ, රසික ප්‍රතිචාර හරියට ලැබුණා. දවසට ලියුම් මිටි දෙකක් විතර ගෙදරට එනවා. විවාහ යෝජනා, ප්‍රේම යෝජනා ඔවා තමයි ඉතින් වැඩිපුරම ආවේ. රසිකයෝ මට හරියට ගෙදරට ලියුම් එව්වා. ඇත්තටම ඒ මතකයට මම තවමත් හරිම ආදරෙයි. මම මගේ රසිකයන් වෙනුවෙන් මට පුළුවන් තාක්කල් ගීත ගායනා කරනවා. මාව මේ තැනට ගෙනාවේ රසිකයෝ. මම ඔවුන් වෙනුවෙන් ගීත ගායනා කළේ නැත්නම් ණය කාරයෙක් වෙනවා.

 


■ ඔබ කාර්ය බහුල ගායිකාවක්, මවක් බිරිඳක් විදියට සාර්ථකයි කියලා හිතනවද?
තංගල්ලේ සිට කොළඹ එනකොට මට කිසිම දෙයක් තිබුණේ නැහැ. අද මට හැමදේම තියෙනවා. මගේ සැමියාගේ ශක්තිය නැත්නම් මට මේ කිසිම දෙයක් කරගන්න ලැබෙන්නේ නැහැ. ඔහුත් සංගීතයට සම්බන්ධ කෙනෙක්. මම හෙව්වේ සල්ලි තියෙන කෙනෙකුට වඩා මට රැකවරණය දෙන්න පුළුවන් සැමියෙක්ව. මම හොයපු කෙනා මට ලැබුණා. මගේ විවාහ උත්සවය මම ගත්තේ හරිම චාම් විදියට. ඒ වෙනකොට ප්‍රසංග වේදිකාවේ මම ගොඩක්ම ජනප්‍රිය කාලේ. ක්ෂේත්‍රයේ අයටවත් මම විවාහ උත්සවය කිව්වේ නැහැ. මම දකින්නේ ඒ දේවල් අනවශ්‍ය දෙයක් විදියට සහ මම බොහොම සරල කෙනෙක්. විවාහයෙන් පස්සේ මගේ තිබුණු ජනප්‍රියත්වය තවත් වැඩි වුණා. දරුවා ලැබුණේ විවාහ වෙලා අවුරුදු අටකට පස්සේ. අවුරුදු අටකට පස්සේ අපි දෙන්නගේ ජීවිතේ අංග සම්පූර්ණ වුණා. අවුරුදු දෙකක දුවෙක් අපිට ඉන්නවා. ඇය සාරා සම්මානි.


සාර්ථකව පවුලක් ගෙනියන්න කැපකිරීමක් කරන්න ඕනෑ. අපි දෙන්නා මේ ගමන යන්නේ හොඳ අවබෝධයකින්. අදටත් හෙටටත් මැරෙනකම්ම ඉන්නේ එදා ගමෙන් ආපු සරල සුභානි හර්ෂණීම තමයි. මට ඒවා වෙනස් කරන්න බැහැ. මොකද අද මම මෙතන හිටියට මම මෙතනට ආපු හැටි මගේ හෘද සාක්ෂිය දන්න නිසා. මම අවුරදු 25 ක් තිස්සේ මාංශවලින් තොරයි. මේ දෙවල් නැති වුණත් ඇති වුණත් මට ජීවත් වෙන්න පුළුවන්. 

 


■ මොනවද කලා ජීවිතේ අලුත් තොරතුරු?
දරුවා ලැබුණට පස්සේ ඇත්තටම මම ප්‍රසංග වේදිකාවෙන් ටිකක් නිහඬ වුණා. දැන් සාමාන්‍ය විදියට වැඩ කරගෙන යනවා. ඒ අතර අලුත් නිර්මාණ කිහිපයක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මවක් විදියට ගෙදර වැඩ කටයුතුත් එක්ක ටිකක් කාර්ය බහුලයි. 
විදෙස් සංචාර ලැබුණත් දුව පුංචි නිසා මගහැරුණා. ඉදිරියට සංචාර කිහිපයකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව සියත ටී.වී. රිැයලිටි සංගීත වැඩ සටහනක විනිශ්චය මණ්ඩලයට සහභාගී වෙනවා. මමත් එවැනි වේදිකාවකින් ආපු කෙනෙක් නිසා ඒ වැඩසටහනට සහභාගි වෙන්නේ බොහොම කැමැත්තෙන්. 

නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්

වෘශ්චික Read Previous

වෘශ්චික

සිංහ Read Next

සිංහ

Realted Post

Leave a comment