නිදහස් මාතෘ භූමියක අපේ දරුවන් සැමදා සුරක්ෂිතයි - MR
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ජනතාව හමු වූ අවස්ථාවකදී දැක්වූ අදහස්
වැව් බැඳි රටේ ලෙංගතු මිනිසුන්ගේ කෘතවේදීත්වය අසීමිතව වින්දෙමි. මහින්ද රාජපක්ෂට ජනතාවගේ ආදරය මිස අන් කිසිවක් අවශ්‍ය නැත. ග්‍රාමීයව හැදී වැඩුණු අපට මෙම පුරුදු හුරුය. අප අස්වැනේ මුල් කොටස පූජා කරන්නේ බුදුන්ට, දෙවියන්ටය. අසල්වැසියන් අතරේද තම මුල් අස්වැන්නෙන් කොටසක් බෙදා ගන්නේ සුහදතාව වර්ධනය කර ගැනීමටය. ගෙවත්තේ ඇති ගසේ එලදාවෙන් කොටසක් හිතවතුන් සමඟ බෙදා ගන්නේ ද ලෙංගතුකම නිසාය. අතීත ශ්‍රේෂ්ඨ රාජධානියක ගෞරවනීය කෘෂි ජනතාවගේ සමීපතමයෙක් වීමට ලැබීම මට මහත් ගෞරවයකි. ජනතා නායකයෙක් ලෙස ජනතාවගේ ආදරය තරම් වටිනා වෙනත් දෙයක් නැත. ලෙංගතු මිනිසත්කමින් පොහොසත් එම ජනතාව සෙනෙහසින් සිහිපත් කරමි. සැමදා සවියක් වූ අපේ ස්වාමීන් වහන්සේලාව ද ගෞරව පූර්වකව සිහිපත් කරමි.
මේ රටේ වැඩිහිටි පරම්පරාව වන අපට ටයර් පිළිස්සුණු ගඳත්, බෝම්බ බියත් අමතක කළ නොහැක. ටයර් සෑයවල් දැවෙද්දී තරුණ දරුවන් වෙනුවෙන්, මවුපියන් වෙනුවෙන්, ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මම සටන් කර ඇත්තෙමි. බෝම්බ දුමාරය නැගෙද්දී ත්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය දුන්නෙමි. යුද්ධය අවසන් කිරීම පිළිබඳ මා තුළ ඇති එකම පසුතැවීම නම් මෙයටත් පෙර ත්‍රස්තවාදය අවසන් කිරීමට නොහැකි වීම පමණි.
උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය හේතුවෙන් බොහෝ පීඩාවට පත්වූහ. මායිම් ගම්මාන වල වැසියන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කළහ. බොහෝ ගම් වැසියන් ගම් බිම් අතැර දමා යාමට සූදානම් වෙද්දී අපේ ගමේ ස්වාමින් වහන්සේලා ගමින් ගමට වැඩම කරමින් ගම්වල රැඳී සිටීමට ගම්වැසියන් ධෛර්යමත් කළහ. ගම්බිම්වලට ප්‍රහාර එල්ල කරද්දී ජනතාව පන්සලට ගෙන ගොස් ආරක්ෂා කර ගත්හ. හමුදා නිල දරුවන් ද, ස්වාමීන් වහන්සේලා ද පන්සල ආරක්ෂා කළහ. මායිම් ගම්මානවල බොහෝ ජනතාව රැය පහන් කළේ පන්සලේ හෝ හමුදා කඳවුරු තුළය.
නොච්චියාගම, මැදවච්චිය, හොරොව්පතාන වැනි ගම් රැසක් නියෝජනය කරමින් අද මා හමුවීමට පැමිණි ඇතැම් තැනැත්තන්ට ඇතේද මෙවැනි අත්දැකීම්ය. මේ පිරිස අතර කිසිදා මට අමතක නොවන මුහුණක් ද මම දුටුවෙමි. කැබිතිගොල්ලෑව ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් තම දරුවාගේ සිරුර මට පෙන්වමින් කෑ ගසා හැඩූ ඒ තාත්තා මම දුටුවෙමි. යුද්ධය අවසන් වී බොහෝ කාලයක් ගතව ඇත. ප්‍රියන්ත මහතා සිනහවෙන් සිටිය ද තම දරුවා අහිමිවීමේ වේදනා පියෙකුට අමතක කළ නොහැකි බව මම දනිමි. මෙවන් දෙමාපියන් තව කොතරම් ප්‍රමාණයක් සිටීදැයි මා දන්නේ නැත. ත්‍රස්තවාදයේ වේදනාත්මක මතක බර දරාගෙන තවමත් විඳවමින් ජීවත්වන පිරිසක් මේ රටේ සිටිනා බව මම හොඳින් දනිමි. එහෙත්, ඔවුන්ට ද මට ද ඇත්තේ එක සැනසීමකි. ඒ යලි කිසි දිනක එවන් වේදනාවකට මුහුණ දීමට මේ රටේ මව්වරුන්ට හෝ පියවරුන්ට සිදු නොවන බවට ඇති විශ්වාසයයි. මේ රටේ දරුවන්ගේ ජීවිත උදුර ගැනීමට යලි කිසිවෙකුට නොහැකිය. යුද්ධය සැබවින්ම දුටු අප පරම්පරාව ත්‍රස්තවාදයේ වේදනාත්මක බර දරාගෙන දිනක සමු ගනු ඇත. සුරක්ෂිත මාතෘ භූමියක් පමණක් ඉතිරිවනු ඇත. දේශපාලකයා ඊළඟ මැතිවරණය අරමුණු කර ගනු ලබද්දී මාතෘ භූමියට ආදරය කරන ජනතා නායකයෙක් ලෙසත් පියෙකු ලෙසත් මා අරමුණු කර ගත්තේ මේ රටේ ඊළඟ පරම්පරාවයි. රණවිරු දරුවනුත්, ඔබත්, මමත් එක්ව තැනූ ඒකීය මෙන්ම නිදහස් මාතෘ භූමියක අපේ දරුවන් සැමදා සුරක්ෂිතය.
Leave a comment