නිවී ගිය මල් වෙඩිල්ල ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන්

 

ප්‍රවීණ ගායන ශිල්පී  නිහාල් නෙල්සන් මහතා පසුගිය දා  අප අතරින් සමු ගත්තේය.  ඔහුගේ සමු ගැනීම ගායන ක්‍ෂේත්‍රයට මෙන්ම  මුළු මහත් කලා ලෝකයටම විශාල පාඩුවකි. කුමන ක්‍ෂේත්‍රයක වුවද දශක ගණනාවක  එකසේ ජනප්‍රියත්වය  රඳවා  ගැනීම ලෙහෙසි පහසු  කාර්යයක්  නොවේ. එහෙත් නිහාල් නෙල්සන් මහතා මිය යන තුරුම එකසේ ජනප්‍රියත්වයක් දිනාගත් තවත් දශක ගණනාවක්  පුරා රසික  හදවත් තුළ  ජිවත්වන ගායන ශිල්පියෙකි. 


 ඔහු උපත ලබන්නේ  මොරටුව ප්‍රදේශයේ ය.  එවකට ප්‍රදේශයේ ලී බඩු සාප්පුවක්  විවෘත කිරීමේ උත්සවයකදී  ඔහුටද  ගීතයක් ගායනා කිරීමට අවස්ථාව ලැබිණි.  මෙම අවස්ථාවට සහභාගි වී සිටි ඒ. ජේ. කරීම් මහතා  සංගීතවේදී ආර්. ඒ.  චන්ද්‍රසේන මහතාට නිහාල් නෙල්සන්ව  හඳුන්වා දී ඇත.  ඒ හමුවීම හරහා ගීතයක් නිර්මාණය  විය.  ගීත තනුව නිහාල් නෙල්සන්ගෙනි.  ගීතය රචනා කළේ මීගොඩ සුමනශාන්ත  ස්වාමීන් වහන්සේ විසිනි.  ‘ලස්සනට පිපුණු වන මල්’ ගීතය එළි දකින්නේ එලෙසිනි.  මෙම ගීතය ගුවන් විදුලි සංස්ථාවේ කරුණාරත්න අබේසේකර මහතා අතට පත් වී ඇත. එදා ඔහු ලස්සනට පිපුණු වනමල් ගීතය ප්‍රචාරය කිරීමට පෙර  මෙලෙස නිවේදනය කළ බවයි  සඳහන් වන්නේ.

බිරිඳ මාලී සමඟ


“අද මම  මල් වෙඩිල්ලක් පත්තු කරනවා.  ඒ මල් වෙඩිල්ල හැමදාම පත්තු වෙලා  තිබේවි”


සැබෑවකි , ඉන් ගායන ක්‍ෂේත්‍රයට 60 දශකයේ දී  පා තැබූ නිහාල් නෙල්සන්  ගායන ශිල්පියා ගැයූ ගීත  ප්‍රමාණය අසීමිතය.  වැඩිම කැසට් ප්‍රමාණයක් කළ  ගායන ශිල්පියා ද ඔහුය.  ඇරපන් කරාමේ,  පත්තර වල විස්තරවල, එපා එපා මස් කන්නට,  මාලී මා ප්‍රිය මාලී  ආදිය ඔහුගේ  අතිශය  ජනප්‍රිය වූ ගීත අතරින්  කීපයකි.  


නිහාල් නෙල්සන් යනු ඉතා සෘජු චරිතයකි.  කලා ක්‍ෂේත්‍රයේ  කාගෙත් ආදරය දිනාගත් චරිතයකි. නිහාල් නෙල්සන් යනු තම සහෝදර  කලාකරුවකු ගේ  හිතවතකු වුව යම් ආරාධනාවක් කළහොත්  නොපැකිළිව  පිළිගන්නා අතර එයට සහභාගිවීම ඔහු කිසිසේත් අමතක නොකරන  බවත්  මිනිසුන්ගේ දුකේ දී දුක බෙදාගැනීමටත්  සතුටේ දී සතුට බෙදා  ගැනීමටත්  ඉදිරිපත් වන ආදරණීය චරිතයක් බවත් ප්‍රවීණ ගීත රචක  ලලිත් වසන්ත දිනක්  මා සමග පැවසුවා මතකය.   

නිහාල්, මාලී, අමේලියා මිනිබිරිය සමඟ


ඔහු බිරිඳ මාලිට හා පුත්  නාලකට  දැඩි සේ  ආදරය කළ  ආදරණීය සැමියෙකි. පියෙකි.  මොන තරාතිරමක උත්සවයකට සහභාගි වුවත් ආහාර නොගෙන තම බිරිඳ හදපු කෑම කෑමට නිවෙසට එන සිරිතක් ඔහුට තිබිණි. ඔහු එනතුරු ආහාර නොගෙන සිටීමේ පුරුද්දක් ඔහුගේ බිරිඳට ද තිබිණි. ඔවුන් ගත කළේ එතරම්ම ආදරණීය පවුල් ජීවිතයකි. 


නිහාල් නෙල්සන් මහතා පිළිබඳව සිරිකත පුවත්පතේ  පළවූ ‘තාත්තයි මමයි’  විශේෂාංගය  සම්බන්ධ කර ගත් නිහාල් නෙල්සන් මහතා ගේ පුත් නාලක  තරංග තාත්තා පිළිබඳ මෙසේ කීවේය. 

 

පණඩිත් අමරදේව හා අජන්තා රණසිංහ මහතුන් සමඟ


“මගේ  තාත්තා මාව පුංචි කාලේ සිටම හරිම  ආදරයෙන් බලා ගත්තා.  කොයිතරම් කාර්ය බහුල වුණත්  ප්‍රසංගවලට ගිහින් පාන්දර නිවෙසට ඇවික් හැමදාම පාසල් එක්කන්  ගියේ  තාත්තා. තාත්තා කියන්නෙ හරිම නිවුණු චරිතයක්. මම වරදක් කළත් තාත්තා කියන්නේ  ඔය දේ කළොත් මෙහෙම වෙයි  ඒ හින්දා හරි දේ කරන්න කියලා.  තාත්තාට ඕනෑම දෙයක් කියන්න පුළුවන්.  කිසිම දෙයක් ගණන් ගන්නේ නෑ  ඕවා ඔහොම තමයි ගණන් ගන්න එපා කියනවා. තාත්තා වැඩිපුරම දුක් වුණේ අම්මා නැතිවුණු අවස්ථාවෙ. තාත්තා හරිම සෘජු චරිතයක්. ප්‍රතිපත්තිගරුකයි. හැමවිටම කෙළින් තීරණ ගත්තා හැමෝටම ආදරය කළා.” 


ඔහුගේ කතාව සැබෑවකි. නිහාල් නෙල්සන් මහතා වරක් හෝ හමු වූ අයෙක් ඔහුට ආදරය කරනු නොඅනුමානය. ඔහු ඒ තරම්ම ආදරණීය මිනිසෙකි. 


නිහාල් නෙල්සන් කිසිදිනෙක නැවත ප්‍රසංග වේදිකාවේ දකින්නට නොලැබෙනු ඇත. එහෙත් ඔහුගේ ගී හඬ රසික හදවත්වල ඉතිරිව තිබෙනු ඇත.
නිහාල් නෙල්සන් මහතාණෙනි, 
ඔබට සුබ ගමන්.!

 

ශාන් බන්දු වීරසිංහ


 

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Previous

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

CHUTNEY Read Next

CHUTNEY

Realted Post

Leave a comment