බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ නවම් පොහොය
නවම්පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයෙහි ලා සදානුස්මරණීය සිදුවීම් කිහිපයකට ම මුල් වූ දිනයකි. සුදුස්සාට සුදුසු තැන ලබා දීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. ඒ අනුව සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා දෙනමට භික්ෂු සමාජයේ අග්‍ර ශ්‍රාවක තනතුරු පිරිනැමුණේ නවම් පොහෝ දිනයි. සැරියුත් හිමියන්ට ප්‍රඥාවන්තයින් අතර ද, මුගලන් හිමියන්ට සෘද්ධිමතුන් අතර ද අග්‍රස්ථානය හිමි විය. මෙයින් බුදුරදුන් අපේක්ෂා කළේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ක්‍රියා කළ හැකි විශේෂ පුද්ගලයින් සකස් කිරීමයි.
බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය ද නවම් පොහෝ දිනක පැවැත්වී ය. පස්වඟ මහනුන්ගෙන් ආරම්භ වූ සංඝ පරපුර මේ වන විට මහා වෘක්ෂයක් සේ දලු ලා වැඩී බැබළෙන්නට විය. එසේ සකස් වූ භික්ෂු සමාජය පළමු වරට එක් රැස් කොට මහා සංඝ සම්මේලනයක් පැවැත්වීම මෙහි දී සිදු විය.
තථාගතයන් වහන්සේ විසින් සංඝ රත්නයට නීතිරීති පනවමින් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේ ද මෙවන් පොහෝ දිනකයි. ඕවාද ප්‍රාතිමෝක්ෂය යනු භික්ෂූන්ගේ හික්මීම පිණිස අවශ්‍යය විනය මාලාවකි. බුද්ධත්වයෙන් මුල් විසි වස තුළ භික්ෂූන් වහන්සේලා උදෙසා කිසිදු විනය නීතියක් පනවා නොතිබිණි. නමුත් විශාල මහනුවර කලන්දක නමැති ගමෙහි විසූ සුදින්න නමැති භික්ෂුවගේ වැරදි හැසිරීමත් සමඟ බුදුන් වහන්සේ ප්‍රථම විනය ශික්ෂා පදය පනවා වදාළහ. එතැන් පටන් ප්‍රාතිමෝක්ෂ ශික්ෂා පද පැනවීම සිදු කෙරිණි.
නවම් පොහෝ දින සිදු වූ තවත් අනුවේදනීය සිදුවීමක් නම්, බුදුන් වහන්සේ විශාල මහනුවර චාපාල චේතිය අසල දී ආයු සංස්කාරය අත් හැරීමයි. මෙම චතුර්විධ කරුණු නවම් පොහෝ දින සිදු වූ වැදගත් සිදුවීම් ය.
සහශ්‍රිකා දයානන්ද
Leave a comment