සිංහල සිනමාවත් මාලනියත් වෙන් කරන්න බැහැ - MR තැබූ සංවේදී සටහන

සිංහල සිනමාවේ නිළි රැජිණ, සම්මානනීය නිළි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ අභාවය අසා මම මහත් සංවේගයට පත් වුණෙමි.

වේදිකාවත්, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයත්, විශේෂයෙන්ම රිදී තිරයත් තම අපූර්ව රංගන කෞෂල්‍යයෙන් හැඩ කළ ඇය මෙම ක්ෂේත්‍ර ත්‍රිත්වයෙහිම සම්මාන රැසක් හිමිකර ගත්තාය. චිත්‍රපට ක්ෂේත්‍රයේ දෙස් විදෙස් සම්මාන රැසක් හිමි කර ගැනීමට දක්ෂ වූ අග්‍රගණ්‍ය නිළි මාලනි ෆොන්සේකා මහත්මිය දශක ගණනාවක් පුරා ජනතාවගේ ආදරය සහ සෙනෙහස එක ලෙස දිනා ගැනීමට වාසනාවන්ත වූ රංගන වේදිනියකි. සිනමාවේ විවිධ අංශ  පුරා සිය හැකියාවන් පෙන්වූ  ඇය  අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට ද දායක වී ඇත. ඇය දේශපාලනයට පිවිසෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව ද නියෝජනය කළාය.

සිංහල සිනමාවත් මාලනියත් වෙන් කළ නොහැකි යැයි මට සිතේ. සිනමාවේ බොහෝ රූප රාමු තුළ ඇය තම තාත්වික රංගන හැකියාව මැනවින් ඉදිරිපත් කළාය. හෙළ සිනමාව ඇයට ද, ඇය හෙළ සිනමාවට ද ආශිර්වාදයක් විය. 2010 වසරේදී දී ඇය ආසියාවෙ මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු සී.එන්.එන් රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය.

මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සියලු දෙනාටත්, ඇයගේ වියෝවෙන් ශෝකයට පත් කලාකරුවන්ටත්, රසික ප්‍රජාවටත් මම මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය ජීවන රඟමඩලෙන් සමු ගත්ත ද සිංහල සිනමාව නම් රඟමඩලෙ ඇය සදා වැජඹෙනු ඇත.  හිතවත් රංග වේදිනියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි.

පොතපත ජීවිතයට සමීප මිතුරෙක් Read Previous

පොතපත ජීවිතයට සමීප මිතුරෙක්

පොතපතට ආදරේ මිනිස්සුන්ගේ හිත්  හරි ලස්සනයි Read Next

පොතපතට ආදරේ මිනිස්සුන්ගේ හිත් හරි ලස්සනයි

Realted Post

Leave a comment