’’චමත්කාර රාත්‍රිය’’ තුළින් වික්ටර් - ප්‍රියා යළි තාරුණ්‍යයට

සදා මතකයේ නොමියෙන සේ නිදන්ගත ගී  රැසක් නිර්මාණය වූ 60 දශකයේ පටන් සුභාවිත ගීතයෙන් හෙළ ගී  කලා කෙත පෝෂණය කරමින් , දශක හයකට අධික කාලයක් ශ්‍රී ලාංකේය වින්දනීය රසිකාගාරය සිය  මධුර හඬින් අමන්දානන්දයට පත්කළ ආචාර්ය වික්ටර් රත්නායක සහ ප්‍රියා සූරියසේන යන අති විශිෂ්ට ප්‍රවීණයන් දෙදෙනා වෙනුවෙන් සිරස එෆ්.එම්. පිරිනමන උත්තම තිළිණයයි " චමත්කාර රාත්‍රිය " ගෘහස්ථ  සංගීත ප්‍රසංගය. 

ඔවුන් දෙදෙනාම සංගීත ක්ෂේත්‍රයට පිවිසීම  60 දශකයේදී සිදුවීම සේම, ඔවුන් ඉතාමත් සමීප ලෙන්ගතු  මිතුරන් වීමද සුවිශේෂ කරුණකි. සුන්දර ගේය කාව්‍යයන්, මියුරු නාද මාලාවන් හා එක්කරමින් ඔවුන්ටම ආවේණික වූ මධුර හඬින් ගැයූ ඒ මිහිරි ගී අද ද එදා සේම ජනප්‍රියව පවතින බව නොරහසකි. ප්‍රියා සූරියසේනයන් මේ වන විට අපෙන් සමුගෙන නික්ම ගොසිනි. ආචාර්ය වික්ටර් රත්නායකයන් පෙරසේ සංගීත ක්ෂේත්‍රය තුළ සක්‍රීයව කටයුතු නොකරන සමයක ඔවුන් ගැයූ  සුමියුරු මධුර ගී නොනැසී මතු පරපුර වෙත රැගෙන යාමේ අරමුණ පෙරදැරිව සංවිධානය වන මෙම ප්‍රසංගය එළැඹෙන අගෝස්තු 02 වන දින පස්වරු 6.30 ට මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේදී ගීතවත්  වනු ඇත. ප්‍රවීණ සංගීතවේදී මහේෂ් දෙනිපිටිය ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ මියුරු සත්සර නාදයට , යෞවන හදවත් ආදරයෙන් වැළඳගත් නලින් පෙරේරා , සමිතා මුදුන් කොටුව , සංඛ දිනෙත් , නදීමාල් පෙරේරා,  රයිනි චාරුකා, ඉරෝෂි සූරියසේන හා ලක්ෂිත සූරියසේන යන තාරුණ්‍යය දිනූ හඬවල් තුළින්, එම ප්‍රවීණයන් දෙදෙනාගේ ගීත රසික ප්‍රේක්ෂක සිත්  සනසනු ඇත. මෙම ප්‍රසංගය ගෘහස්ථ මියැසි ප්‍රසංග කලාවේ අමතක නොවන මතක සටහන් රැසක් සනිටුහන් කල සිරස එෆ්.එම්. සාඩම්බර ඉදිරිපත් කිරීමකි.

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment