රෑට බඩගිනිද? බර වැඩි නොවී කන්න පුළුවන් හොඳම කෑම

සිරුරේ බර පාලනය කර ගැනීමට උත්සාහ කරන බොහෝ දෙනා මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ රාත්‍රී කාලයේ ඇතිවන බඩගින්නයි. විශේෂයෙන්ම රෑ වෙලා වැඩ කරන, පාඩම් කරන හෝ ප්‍රමාද වී නිදාගන්නා පුද්ගලයන්ට අමතර ආහාරයක් අවශ්‍ය වන අවස්ථා බොහෝ විට ඇත.

 

පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ නියමිත වේලාවට ආහාර ගැනීම සහ හැකි තරම් රාත්‍රී ආහාරය රාත්‍රී 8ට පෙර ලබා ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක වැදගත් කොටසක් බවයි. කෙසේ වෙතත්, රාත්‍රී කාලයේ බඩගින්නක් දැනෙන විට නිවැරදි ආහාර තෝරා ගැනීමෙන් බර වැඩි වීම වළක්වා ගත හැක.

විශේෂඥයන් නිර්දේශ කරන්නේ අඩු කැලරි ප්‍රමාණයක් ඇති, නමුත් තන්තු (Fiber) සහ ප්‍රෝටීන් බහුල ආහාර තෝරා ගැනීමයි. ඒවා දිගු වේලාවක් බඩ පිරුණු හැඟීමක් ලබා දෙන අතර අනවශ්‍ය කැලරි එකතු වීම අවම කරයි.

පලතුරු

කෙසෙල්, ඇපල්, ප්ලම් සහ බෙරි වර්ග වැනි පලතුරු තන්තු, විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත්ය. මේවායේ මේදය ඉතා අඩු බැවින් බඩ පිරුණු හැඟීමක් ලබා දෙන අතර කැලරි ප්‍රමාණයද අඩුය. පෝෂණවේදීන් පවසන්නේ පලතුරු යුෂවලට වඩා නැවුම් පලතුරු ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවයි. එයට හේතුව ඒවායේ තන්තු ප්‍රමාණය වැඩි වීමයි.

Nuts වර්ග 

ආමන්ඩ්, වොල්නට් සහ කජු වැනි ඇට වර්ග සෞඛ්‍ය සම්පන්න මේද, ප්‍රෝටීන් සහ තන්තු වලින් සමන්විතය. මේවා බඩගින්න පාලනය කිරීමට සහ දිගු වේලාවක් තෘප්තිමත් හැඟීමක් ලබා දීමට උපකාරී වේ. කෙසේ වෙතත්, ඇට වර්ගවල කැලරි ප්‍රමාණය තරමක් වැඩි බැවින් මධ්‍යස්ථ ප්‍රමාණයකින් පමණක් ආහාරයට ගැනීම වැදගත්ය.

සීනි නොදැමූ පොප්කෝන්

තෙල් සහ සීනි නොමැති පොප්කෝන් බර වැඩි නොකර බඩගින්න පාලනය කිරීමට උපකාරී වන අඩු කැලරි කෙටි ආහාරයකි.

කැෆේන් රහිත ඖෂධීය තේ

ලොටස් හෘදය (Lotus Heart), කැමොමයිල් සහ පෙපර්මින්ට් වැනි කැෆේන් රහිත තේ වර්ග ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්ය. මේවා මානසික ආතතිය අඩු කිරීමට, රාත්‍රී කාලයේ ඇතිවන අධික ආහාර රුචිය පාලනය කිරීමට සහ නින්දේ ගුණාත්මකභාවය වැඩි කිරීමට උපකාරී විය හැක.

කහ කිරි

කහ මිශ්‍ර කළ උණුසුම් කිරි පානයක් ආහාර ජීර්ණයට සහය වන අතර ශරීරය සන්සුන් කරයි. එමෙන්ම මෙය අඩු කැලරි ප්‍රමාණයක් සහිත රාත්‍රී පානයක් ලෙසද සැලකේ.

මී පැණි මිශ්‍ර ජලය

මී පැණි ස්වල්පයක් මිශ්‍ර කළ උණුසුම් ජලය විටමින්, ඛනිජ ලවණ සහ ඇමයිනෝ අම්ල ලබා දෙන අතර රාත්‍රී කාලයේ ඇතිවන අධික බඩගින්න පාලනය කිරීමට උපකාරී වේ. කෙසේ වෙතත්, දියවැඩියාව ඇති පුද්ගලයන් මෙය භාවිත කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුය.

 තම්බා හෝ වාෂ්පයෙන් පිසූ එළවළු

තම්බා හෝ වාෂ්පයෙන් පිසූ එළවළු තන්තු, විටමින් සහ ඛනිජ ලවණ හොඳින් ආරක්ෂා කර ගන්නා අතර ආහාර ජීර්ණයට උපකාරී වේ. එමෙන්ම මේවා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටද උපකාරී වේ.

තම්බූ බිත්තර

බිත්තර යනු උසස් තත්ත්වයේ ප්‍රෝටීන් ප්‍රභවයකි. එහි විටමින් B12, විටමින් D, කොලීන් සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වන අතර මොළයේ සහ මාංශ පේශිවල සෞඛ්‍යයට ඉතා වැදගත්ය. තම්බා බිත්තරයක් සහ එළවළු ස්වල්පයක් එකට ගැනීම ආහාර පාලනය කරන පුද්ගලයන්ට, ක්‍රීඩකයන්ට සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කරන ඕනෑම අයෙකුට සුදුසු රාත්‍රී ආහාරයකි.

රාත්‍රී කාලයේ වළක්වා ගත යුතු ආහාර ලෙස විශේෂඥයන් අනතුරු අඟවන්නේ පහත සඳහන් ආහාර සහ පාන වර්ග රාත්‍රී කාලයේ හැකි තරම් සීමා කළ යුතු බවයි. කැෆේන් අඩංගු කෝපි සහ ශක්තිජනක පාන, මත්පැන්, සීනි බහුල රසකැවිලි සහ බීම වර්ග, අධික මිරිස් සහිත ආහාර, තෙල් සහ මේද බහුල ආහාර. 
මෙවැනි ආහාර නින්දට බාධා කළ හැකි අතර ආහාර ජීර්ණ ගැටලු සහ බර වැඩි වීමේ අවදානමද ඉහළ නැංවිය හැක.

ඉතිං රෑට හැදෙන බඩගින්න සාමාන්‍ය දෙයක් වුවද, නිවැරදි ආහාර තෝරා ගැනීම ඉතා වැදගත්ය. තන්තු සහ ප්‍රෝටීන් බහුල අඩු කැලරි ආහාර තෝරා ගැනීමෙන් බඩගින්න පාලනය කර ගනිමින් සිරුරේ බරද පාලනය කර ගත හැක. කුඩා ප්‍රමාණවලින් ආහාර ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න තේරීම් කිරීම නිරෝගී ජීවිතයකට වැදගත් පියවරකි.

අශන්ති වරුණසූරිය

 

ශරීරයේ වැදගත් ඛනිජ අඩු වුණොත් වෙන දේවල් Read Previous

ශරීරයේ වැදගත් ඛනිජ අඩු වුණොත් වෙන දේවල්

ශරීරයේ වැදගත් ඛනිජ අඩු වුණොත් වෙන දේවල් Read Next

ශරීරයේ වැදගත් ඛනිජ අඩු වුණොත් වෙන දේවල්

Realted Post

Leave a comment