සම රැකගන්න පොල් තෙල් ගාන්න

 

සීත කාලගුණයකට බොහෝ දෙනෙක් කැමති වුවත් එය සමට නම් එතරම් හිතකර නෑ. ඒ සීත කාලගුණයකදී සම වියළීමට ලක් විය හැකි නිසයි. අධික සීත කාලගුණයකදී සමහර විට තොල් පැළී යන්නත් පුළුවනි. ඒ වගේම සම අධික ලෙස වියළී අවලස්සන පෙනුමක් ලැබෙන්නත් පුළුවන්. උණුසුම් කාලගුණයක් තිබෙන දිනවලට වඩා සීතල කාලගුණයකදී සම වියළීම පමණක් නොව සමට වයස්ගත පෙනුමක් ගෙන දීම සාමාන්‍ය තත්ත්වයක්. මේ දිනවල පවතින සීත කාලගුණය නිසා සමට වන හානිය වළක්වාගෙන සම රැකගන්නේ කෙසේදැයි බලමු.  


බොහෝ දෙනෙක් සීත කාලගුණ තත්ත්වවලදී සම රැකගන්න උනන්දු වෙන්නෙ නෑ. එහෙත් සීත කාලගුණ තත්ත්වවලදී සම වියළෙන්නට නොදී රැක ගැනීම සම ලස්සනට බා ගැනීමට අත්‍යවශ්‍යයි.  පොදුවේ මොයිස්චරයිසින් ක්‍රීම් භාවිතයෙන් සම වියළීම අවම කරගත හැකි වුවත්  ක්‍රීම් ආලේපනයෙන් පමණක් සම වියළීම වළක්වා ගැනීම අපහසුයි.


ඒ නිසාම, සීතල නිසා සම වියළීමෙන් සහ ඉරිතැළීමෙන් ආරක්ෂා කර ගැනීමට කළ හැකි මොනවාදැයි බලමු.  

 


උණු වතුරෙන් ඇඟ සෝදනවද? 
සීතල කාලවලදී සීතල වතුර වෙනුවට උණුසුම් වතුර පාවිච්චි කරන්න හුඟක් දෙනෙක් පෙලඹෙනවා. එහෙත් සීත කාලවලදී සම වියළීමට ලක් වෙන නිසා නිතර නිතර උණු වතුරෙන්  සම සේදීමෙන් සම තවදුරටත් වියළෙනවා. ඒ නිසා උණු වතුරෙන් සෝදනවා නම් ඒ සඳහා ඉතා මඳ උණුසුමක් තිබෙන වතුර භාවිතා කරන්න.


අයිස් වතුර පානය කිරීම සිරුරට හිතකර නැත. කෑමට පෙර සහ කෑමෙන් පසු තරමක උණුසුම් ජලය පානය කළ හැකි නම් වඩාත් සුදුසුයි. ඒ වගේම බෙලිමල්, රණවරා, පොල්පලා, ග්‍රීන් ටී වගේ ඖෂධීය පාන වර්ගයක් උණුසුම්ව පානය කිරීමත් සමේ තෙතමනය රැකගැනීමට උපකාරී වෙනවා.    

 


සැර සබන් මේ කාලේ නරකයි 
එමෙන්ම සීතල සහිත වියළි කාලගුණයක් තිබෙන විට රසායන ද්‍රව්‍ය බහුල සැර සබන් සහ බොඩි වොෂ් වර්ග භාවිතයෙන් සම තව තවත් වේළෙන්න පුළුවන්. ඔබ වියළි සමක් තිබෙන කෙනෙක් නම් වියළි සම සඳහාම නිෂ්පාදිත ආයුර්වේද හෝ වෙනත් සබන් වර්ගයක් මේ දිනවලදී පාවිච්චි කළ හැකි නම් නම් වඩාත් හොඳයි. මොයිස්චරයිසින් අඩංගු තත්ත්වයෙන් උසස් සබන් වර්ග සාමාන්‍ය සබන්වලට වඩා මඳක් මිලෙන් වැඩි වුවත්  එයින් ඔබේ සම ආරක්ෂා කරගැනීමට පු`ඵවන. අවුරුද්දේ අනෙක් කාලවලට නැතත් විශේෂයෙන්ම සීත කාලයට වැඩිපුර මොයිස්චරයිසින් අඩංගු සබන් හෝ බොඩි සහ ෆේස් වොෂ් භාවිත කළ හැකි  නම් සමට වඩාත් හිතකරයි. 

 


ඇඟ වැහෙන්න ඇඳුම් අඳින්න 
එමෙන්ම සීත කාලයේ නිවසින් පිටතට යනවා නම් සිරුර වැඩිපුර නිරාවරණය නොවෙන ඇඳුම් ඇඳීමත් සුදුසුයි.  

 


සමට පොල්තෙල් සත්කාරයක් 
සමට තෙල් සත්කාරයක් කිරීමෙනුත් සම වියළීම වළක්වා ගත හැකියි. එය ටිකක් වෙලාව ගතවෙන වැඩක් වුවත් සමේ තෙතමනය ආරක්ෂා කරගත හැකි ඉතා සුදුසු ක්‍රමයක්. තෙල් සත්කාරයට හොඳම තෙල් වර්ගයක් ලෙස වර්ජින් කොකනට් ඔයිල් හඳුන්වන්න පු`ඵවන්. එනම් නිවෙසේදීම හිඳගත් පිරිසුදු පොල් තෙල්. 


පොල් තෙල් ඉතා හොඳ මොයිස්චරයිසර් වර්ගයක්. එයින් සම වියළීම වළක්වනවා වගේම සමට පෝෂණයක් ලබා දෙයි. නෑමට පෙර මුළු සිරුරේම පොල් තෙල් ආලේප කර පැය බාගයක් පමණ තිබෙන්නට හැර සැර නැති මොයිස්චරයිසින් සබන් හෝ බොඩි වොෂ් වර්ගයක් ආලේප කර සම පිරිසුදු කරගන්න. ඉන්පසු පිස දමා සමේ තෙතමනය තිබියදීම නැවතත් මුළු ශරීරයේම පොල් තෙල් ආලේප කර හොඳට සමට උරා ගන්නා තෙක් මසාජ් කරන්න. පොල් තෙල් මඳක් රත් කර සමේ ආලේප කළ හැකි නම් වඩාත් හොඳයි. මේ ක්‍රමය ආයුර්වේදයේ හඳුන්වන්නේ ‘අභ්‍යන්ග’ යනුවෙනුයි. මේ ක්‍රමය වියළි සමකට කළ හැකි ඉතා හොඳ ප්‍රතිකර්මයක්. ආයුර්වේදයේ සඳහන් වෙන විදියට සම වියළීමට ලක්වෙන්නේ වාත දෝෂය නිසයි. අභ්‍යන්ග හෙවත් තෙල් වර්ගයක් ආලේප කර මසාජ් කිරීම වාත දෝෂය නිසා ඇතිවෙන සමේ වියළි ගතියට ඉතා හොඳ වගේම සරල ප්‍රතිකර්මයක්. ඒ නිසා පොල් තෙල්, ඔලිව් තෙල්, අබ තෙල්, ආමන්ඩ් ඔයිල්, ජොජෝබා ඔයිල්, ලැවැන්ඩර් ඔයිල් සමේ ආලේප කිරීම ඉතා සුදුසුයි.


තෙල් සත්කාරයට අමතරව සම වියළීම වළක්වා ගැනීමට විවිධ බොඩි හා ෆේස් පැක් වර්ග භාවිත කරන්න පුළුවන්. කෝමාරිකා යනු වියළි සමට තෙතමනයක් ලබා දෙන ස්වාභාවික අමුද්‍රව්‍යයක්. නෑමට පෙර කෝමාරිකා ආලේප කර විනාඩි 20ක් පමණ තබා ඉන්පසු මොයිස්චරයිසින් සබන් වර්ගයකින් සෝදා හරින්න.

 


සමේ තෙතමනය රකින අලේපන 
යෝගට්, මී පැණි සහ සුදු හඳුන් ආලේපයත් සමට තෙතමනයක් ලබා දෙන ඔසුවක් නිසා මේ දිනවල සතියකට වරක් හෝ සමේ ආලේප කිරීමෙන් තෙතමනය රැකගැනීම පහසුයි.
හොඳින් ඉදුණු කෙසෙල්, සෝයා කිරි සහ මී පැණි එකට කලවම් කර සාදාගන්නා මිශ්‍රණයද සමට හොඳ තෙතමනය ලබාදෙනවා. ඕට්ස්, මී පැණි සහ බිත්තර මිශ්‍රණයත් සිරුරේ ආලේප කිරීමට ඉතා සුදුසුයි. මේ දිනවල පවතින සීතල සහිත වියළි කාලගුණයෙන් සම අඳුරුවීම, සමට සිදුවන හානිය අවම කර ගැනීමට මේ ක්‍රම අනුගමනය කරන්න.

සටහන - නයනා උදයංගනී 


                

CHUTNEY Read Previous

CHUTNEY

තන්තිරිමලයට යන පාරේ  මල් විකුණන ළියන්ගේ  ආයාචනය ... Read Next

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

Realted Post

Leave a comment