පිළිකාව මරණ මංචකයට යන රෝගයක් නෙමෙයි

 

ඉන්දිරා පිළිකා භාරය කියන්නෙ ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන්ම ස්ථාපිත වුණ ආයතනයක්. එහි සභාපතිනිය වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය සමඟ සිරිකත Online සිදු කළ සාකච්චාවකි මේ.

 

ඉන්දිරා පිළිකා භාරයට මේ වෙනකොට වයස කීයද?
ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ වන විට හරියටම අවුරුදු හයක්.
 

මේකට පසුබිම් වුණ කතාව ගැන කිව්වොත්?
ඉන්දිරා කියන්නේ මගේ බාල නංගි. ඇය 2008 දී පිළිකා රෝගයට ගොදුරු වෙනවා. දෙවෙනි වතාවෙ නැවතත් රෝගය ඉස්මතු වීමත් එක්ක ඇයට ගොඩක්  අමාරු වුණා. 2017 දී නොහිතපු විදියට ඇය මෙලොව හැරදාලා යනවා. ඒ වෙලාවේ මගේ තාත්තා කරූ ජයසූරිය ඇයව සිහි කරලා ආයතනයක් ස්ථාපිත කරන්න කටයුතු කරනවා. ඒ විදියට තමයි ඉන්දිරා පිළිකා භාරය ස්ථාපිත වෙන්නේ .


ඇය මේ රෝගයට ගොදුරු වෙන්න හේතුව විදියට ඔබ දකින්නේ මොකක්ද?
ඇය ගත කරපු ජීවිතයත් එක්ක මේ වගේ රෝගයක් වැලඳෙනවා කියන එක ඇත්තටම හිතන්නවත් බැහැ. ඇයට වැළඳුණේ පියයුරු පිළිකාවක්. ඇය ඒ වෙනකොට ජීවත් වුණ බ්‍රිතාන්‍යයෙත්  පියයුරු පිළිකා ගොඩක් පැතිරිලා තිබුණෙ. ඒ පාරිසරික සාධකත් එක්ක මොකක්ම හරි දෙයක් බලපාන්න ඇති.
 

පිළිකාවක් හැදුණා කියන්නේ මැරෙනවා කියලයි ගොඩක් අය හිතන් ඉන්නේ ?
පිළිකාවක් හැදුණ කියන්නේ මිය යනවා කියන එක නෙවෙයි. පිළිකාව සුව වෙලා සාමාන්‍ය ජීවිත ගත කරන අය ඕන තරම් ඉන්නවා. මගෙ නංගිත් පලවෙනි වතාවේ හොඳ වෙලා ගොඩක් කල් ජීවත් වුණා.
 

පිළිකාව අඳුනගත්ත වෙලාවේ ඇගේ ප්‍රතිචාරය මොනවගේ ද?
මට ඒක අද වගේ මතකයි. මුලින්ම මට තමයි කතා කරලා  කිව්වෙ. දෙමව්පියන්  ඒ වෙලාවේ ගොඩක් මානසිකව කඩා වැටුණා.ඒක සාමාන්‍ය දෙයක්. ඒත්  අපි පවුලක් විදියට කොහොම හරි ඒ දේට මුහුණ දුන්නා.
 

පිළිකා රෝගියෙක්ව සමාජය  පිළිගත යුත්තේ කෙසේද?
අද වෙනකොට සමාජය පිළිකා රෝගීන් දිහා බලන්නෙ වැරදි විදියට. ඔවුන්ව පිලිකුල් කරලා කතා කරනවා. ගොඩක් වෙලාවට එහෙම කළ යුතු ලෙඩක් නෙවෙයි පිළිකාව කියන්නේ .ඒකත් අනෙක් ලෙඩ වගේම ලෙඩක් විතරයි. පිළිකාවක් හැදුණ කියන්නේ මරණ මංචකයට යාමක් නෙවෙයි.
 

ඉන්දිරා පිළිකා භාරය හරහා සිදුවන සමාජ සද්කාර ගැන යමක් කිව්වොත් ?
ඒ වෙනුවෙන් අපේ විශේෂ කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් අපිට විශාල සහයෝගයක් දක්වනවා. පිළිකා රෝගියාට අවශ්‍ය දේවල් වගේම ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයගේ අවශ්‍යතා ඉටු වෙන විදියට අපි මෙහි වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. ප්‍රතිකාර ලබාගන්න එන රෝගීන්ට ආහාර වේල පවා ලබා දෙන්න අපි කටයුතු කරනවා.ඒ විතරක් නෙවෙයි ඔවුන්ට අවශ්‍ය බොරු කොණ්ඩ ,බෙහෙත්  වගේම  ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනුත් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න අපි බැඳිලා ඉන්නවා.
 

මෙලෙස පරිත්‍යාග කරන හිසකෙස් විකුණනවා කියලා කියනවා. ඒවගේම මේ සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ළ වෙනවා. මේවාට ඔබට දෙන්න තියෙන්නෙ උත්තරේ මොකද්ද?
ඒ ප්‍රශ්නය ඇසීම සම්බන්ධයෙන් මම මුලින්ම ඔබට ස්තූතිවන්ත වෙනවා. අපි මේ වැඩසටහන ආරම්භ කරන්නේ 2017 දී. ඊට පස්සේ ලැබුණ කොණ්ඩ ප්‍රමාණවත් වුණ නිසා ටික කාලයකට ඒ වැඩසටහන නතර කරනවා. 2022 දී නැවතත් වෙනස් මුහුණුවරකින් අපි මේ වැඩසටහන පටන් ගන්නවා. ඒ දිවයින පුරා තමන්ගෙ කොණ්ඩ ලබාදෙන්න  කැමැත්තෙන් ඉන්න බොහෝ දෙනෙකුට ඒ අවස්ථාව ලබා දෙමින්. නමුත් නොහිතපු විදිහට ඒ වෙලාවෙදි අපේ ආයතනය චෝදනාවට ලක් වෙනවා. මම බොහොම වගකීමෙන් කියනවා මෙතනදී කොණ්ඩ විකිණීමක් සිදුවෙන්නේ නැහැ. අපි ඒදේ විනිවිද භාවයෙන් කරන්නේ. කෙනෙක්ට තමන් ලබා දෙන කොණ්ඩය සම්බන්ධයෙන් සැකයක් තියෙනවනම් ඔබට පුළුවන් අපේ ආයතනයට ඇවිල්ලා බලන්න.

සටහන -නෙත්මි තෂාරා


 

තක්සලාව - අවුරුදු එන  බව පණිවිඩය කිව් මුතුහර සූර්ය දරුවෝ සංස්කෘතික වැඩසටහනදා Read Previous

තක්සලාව - අවුරුදු එන බව පණිවිඩය කිව් මුතුහර සූර්ය දරුවෝ සංස්කෘතික වැඩසටහනදා

හැඩට විලාසිතා කරන්න කැමති ඔබට Read Next

හැඩට විලාසිතා කරන්න කැමති ඔබට

Realted Post

Leave a comment