මම පොර බැදුවේ මා එක්කමයි - Niluka Sudarshani

 හඳ අල්ලන්න උඩ පැන්නොත්, අපිට පුළුවන් තරු අතරට හරි වැටෙන්න. හීන දුරස් වෙද්දි ඒවා අතහැරල දානවට වඩා, දහසක් බාධක එද්දිත් ඒ වැඩේ අල්ලන් ඉන්න, උත්සාහය අත්නොහරින්න, වැටෙන වාරයක් පාසා නැගිටින්න හැමෝටම බැහැ. ඒකට තියෙන්න ඕනෑ උත්සහවන්ත හිතක් සහ හොඳ අරමුණක්. ඇය මෙවර 2025 වරලත් ගණකාධිකාරිවරුන්ගේ 46වැනි ජාතික සමුළුවේදී ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යවසායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ නිලූකා සුදර්ශනී ජයසිංහයි. ඇගේ ජයග්‍රහණය පිටුපස ඇති ගමන් මග ගැනයි මේ කතාබහ.   

අපේ රටේ කාන්තාවන් වැඩි පිරිසක් තමන්ගේ ජීවිතේ විවිධ සංධිස්ථානවලදී ඔවුන්ගේ සිහින අතහැර ගනී.නමුත් දන්නවද? මේ ලෝකේ මොන ප්‍රශ්න තිබුණත් ඔබ උත්සහවන්තයි නම්, ඔබට පුළුවන් ජීවිතේ දිනන්න. ඊට හොඳම උදාහරණය තමයි ඇය.
පවුලේ වැඩිමල් සොයුරෙකු සහ සොහොයුරියකු අතර බාලම සහෝදරිය ලෙස ඉපදුණු නිලූකාගේ ගම වූයේ සුන්දර වැව් දියෙන් පිරුණු අනුරාධපුරයයි. කුඩා කාලයේදීම පිය උණුසුම අහිමි වන මේ දරුවන් තිදෙනා හැදී වැඩුණේ අම්මගේ ආදරණීය උණුසුම, රැකවරණය යටතේයි. අද වන විට ජීවිතයේ තමන් දුටු සිහිනය යථාර්ථයක් කර ගනිමින් සුන්දර ජීවිතයක් ගතකරන ඇය, ඒ වෙනුවෙන් පැමිණි ගමන් මග නම් ඒ තරම් සුන්දර වූවක් නම් නොවේ.
පියාගේ රැකවරණය අහිමි වීමෙන් පවුලේ බර මවගේ හිස මත පැටවෙද්දී, ඔවුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පිහිට වන්නේ මවගේ නැගණියයි. සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වූ ඇය මීළඟට උසස් පෙළ විභාගයට සූදානම් වන්නේ ගණකාධිකාරීවරියක් වීමේ සිහිනය සමගයි. ඇයගේ ජීවිතයේ දුෂ්කරම සහ කටුකම කාලසීමාව වූයේ ඇය උසස් පෙළ සඳහා සූදානම් වූ කාලය බව අප සමග පැවසුවේ කඳුළු පිරි දෙනෙතිනි.
“ඒ වෙනකොට අයියා හා අක්කා හිටියෙ විවාහ වෙලා. පවුලේ මුදල්වලින් විසඳ ගත යුතු ප්‍රශ්න කිහිපයක්ම නිර්මාණය වී තිබුණ නිසා, අපි ඉන්න ගෙදර විකුණන්න අම්මා තීරණය කරනවා. තමන් පුංචි කාලේ ඉඳලා හුරු වුණ, ජීවත් වුණ පරිසරය දාල යන්න හිත හදාගන්න එක හරිම අමාරු වැඩක්. ඒත් දවසින් දවස ණයකාරයො ගෙදරට එද්දි අම්මට වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. ඉතින් අපි ඒ ගේ විකුණලා තිබුණ ණය ගෙවලා දාල අම්මලාගේ මහගෙදර පදිංචියට ගියා.”
මේ විදියට ජීවිතේ අමාරුවෙන් ඇදගෙන යන කාලයකදී තමයි උසස් පෙළ ලකුණු පිටවෙන්නේ. හැම අමාරු තැනකදීම මම හිතුවෙ කොහොමහරි මේ ජීවිතෙන් ගොඩ යනවමයි කියලා. ඉගෙන ගන්න එක තමයි එකම මග. එහෙම හිතපු ඇය තමන්ගේ උපරිමයෙන්ම විභාගය ලියනවා. එදා හිතේ තිබුණ උත්සාහය නිසාම ඇය Aසාමාර්ථ තුනක් සහිතව වාණිජ අංශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිව්වැනියා බවට පත්වෙනවා.
උසස් පෙළ සමත් වී මීළඟට සරසවි වරම් ලබන ඇය පිවිසෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටයි. අනුරාධපුරයෙන් කොළඹට පැමිණෙන ඇයට මේ අලුත් පරිසරයට හුරු වීමත් ලෙහෙසි පහසු වූයේ නැහැ.
“මට ඉංග්‍රීසි භාෂාවට ලොකු හැකියාවක් තිබුණෙ නැහැ. අනුරාධපුරේ වගේ දුෂ්කර පැත්තකින් ආව මට ඉංග්‍රීසි භාෂාව ලොකු අභියෝගයක් වුණා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න තිබුණ නිසා සමහර වෙලාවට මට කිසිම දෙයක් තේරුණේ නැහැ. නමුත් මම කිසිම දෙයක් අත්හැරියේ නැහැ.
කැම්පස් එකට ආවට පස්සේ අපිව තෝරාගත්තේ පොදු පාඨමාලාවක් යටතේ නිසා, මම කැමතිම අංශය තෝරාගන්න මට හැකියාවක් තිබුණෙ නැහැ. මම වැඩිපුරම කැමති වුණේ ගිණුම්කරණයට වුණත්, ඒකට අවස්ථාවක් නොතිබුණ නිසා මම අලෙවිකරණය තෝරා ගන්නවා.” 
කෙසේනමුත් සමහර සසර ගනුදෙනු, පුරුදු හමුවේ අත්නොහරින සබඳකමක හමුවීම වාසනාවකට මෙන් ඇයටද උරුම වුණා. ඇයගේ පෙම්වතා ඇයට හමුවන්නේ දෙවන වසර අවසානයේදී මේ සරසවි බිමේදීමයි. 
“මට ඉස්සරහට යන්න, තීරණ ගන්න,  පාඩම්වලට උදව් කරන්න ජීවිතේට එකතු වුණ හයිය තමයි අමිල කියන්නේ. අද විවාහය දක්වා ආවේ ඒ යාළුකම තමයි. සරසවියේදී ඔහු මට හුඟක් උදව් කළා. 
මොන තරම් අපහසුතා මැද්දේ වුවද අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව නිම කරන ඇය තමන් සොයාගත් ආදරණීය මිනිසා හා විවාහ දිවියට එළඹෙන්නේ තවත් බලාපොරොත්තු සමුදායක් ඇතිවයි. ඒ වන විට ඇය අලෙවිකරණයට අදාළව විවිධ රැකියා අංශවල නියැළී තිබුණා. නමුත් මේ කාලය තුළ උසස්වීම් සඳහා තිබූ වටිනා අවස්ථා රැසක් ඇයට අහිමි වන්නේ ඉංග්‍රීසි භාෂාව ඉතා සාර්ථකව හැසිරවීමට නොහැකි වූ නිසා බවද ඇය පැවසුවා.
අහිමිවන අවස්ථාව ළඟ නොනවතින ඇය උත්සාහය අතහරින්නේ නැහැ. ඇය ගිණුම්කරණය ඉගෙන ගැනීම ආරම්භ කළා. සරසවියේදී මඟහැරුණු ඒ විෂය නැවත ඉගෙන ගන්න ඒ කටයුත්ත ඇයට ලේසිපහසු වුණේ නැහැ. 
“මගේ අභිලාසය වරලත් ගණකාධිකාරීවරියක වීම නිසා, වයස අවුරුදු 29දී මගේ සැමියාගේ දිරිගැන්වීම මත නැවත වරලත් ගිණුම්කරණය ආරම්භ කළා. විවාහයෙන් පසු වයස අවුරුදු 30 දී මම සියලු‍ම විභාගවලට පෙනී සිට, පසුව චාටර්ඩ් විභාගයට පෙර අනිවාර්ය ප්‍රායෝගික පුහුණුවට යන්න පටන් ගත්තා. දැඩි අපහසුතා මැද මගේ ගර්භිණී සමයේදී සහ දරුවා ඉපදුණු පසු (මාස හයක දරුවෙකු සිටින විට) මම මගේ වරලත් විභාගය සම්පූර්ණ කළා.
වරලත් ගණකාධිකාරීවරියක වූ පසු මට BPO සමාගම් කිහිපයක් සමග වැඩ කිරීමට අවස්ථාවක් ලැබුණා. එසේ ලද අත්දැකීම් සමග අද මම ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව ලොව පුරා සිටින විදේශීය සේවාදායකයන් 500කට වැඩි පිරිසක් සමග ගනුදෙනු කරන BPO ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යනවා. මේ වන විට මා යටතේ සේවකයන් 50කට වැඩි පිරිසක් සේවය කරනවා. ඉංග්‍රීසි භාෂාව සමග පොර බදමින් සිටි පුද්ගලයෙකු ලෙස මෙය මට විශාල ආඩම්බරයක්.
විදේශ රටවල් සමග කටයුතු කරද්දි තව තවත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඕනතරම් නිදහසේ වැඩ කරන්න අවස්ථා තියෙනවා. නමුත් ගොඩක් දෙනෙක්ට ඒ ගැන දැනුම්වත් වීමක් නැහැ. අද මමයි මගේ මහත්තයයි හරිම නිදහසේ අපේ දැනුම යොදවනවා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට මට මෙවර 2025 වරලත් ගණකාධිවරුන්ගේ 46වැනි ජාතික සමුළුවේදී ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යවසායිකාව ලෙස සම්මානයට පාත්‍ර වීමට අවස්ථාව ලැබුණා.
ගැහැනියකට සාර්ථක ගමනක් යන්න නම් හොඳ සැමියෙක් වගේම ආදරණීය පවුල් පසුබිමක්, හොඳ යාළුවෝ පිරිසක් ඕනෑ. ඒ මොන දේ තිබුණත් මදි හිතේ උත්සාහය, උනන්දුව, කැපවීමත් තියෙන්න ඕනෑ. එහෙම වුණාම අපිට මොනතරම් දුෂ්කර කාලයක් වුණත්, ගෙවන්න අමාරු වෙන්නේ නැහැ.”

  • නයනා උදයංගනී
  • ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ  

 

ඔසරියකින් හැඩවූ රතු කිරිල්ලී Read Previous

ඔසරියකින් හැඩවූ රතු කිරිල්ලී

සිත් රූ සිතුවම් දැක්ම Read Next

සිත් රූ සිතුවම් දැක්ම

Realted Post

Leave a comment