මේ ලැබුණු ජීවිතයට මම හරි ආදරෙයි - දෙපා වාරු නැතත් ජීවිතේ දිනපු නිශා ශරිෆ්
ජීවිතය සෑමදෙනාටම එක සේ සුන්දර වන්නේ නැත. නමුත් ලද දිවියෙන් අසීමිත ලෙස සතුටු වන්නට හැකි නම් එයම කොතරම් භාග්‍යයක්ද? එවන් සතුටක් සහ නැවුම් බලාපොරොත්තු සමුදායක් සමග ජීවිතය දිනන්නට, පරාර්ථයෙන් අනෙක් අයගේ ජීවිත දිනවන්නට වෙහෙසෙන නිශා ශරිෆ් පිළිබඳවයි මේ සටහන.
නුවර අංපිටිය ප්‍රදේශයේ ජීවත්වන නිශා ශරිෆ් අද වන විට තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කර අවසන්. ඇයට පවතින ආබාධිත තත්ත්වයන් හමුවේ නොසැලී ඉදිරි ජීවිතය සතුටින් ගත කිරීම උදෙසා චිත්ත ධෛර්යයෙන් කටයුතු කරන්නීය. සිය කුඩා කල මතකයන් කෙතරම් සිත රිදවන අන්දමේ ඒවා වුවද ඒ පිළිබඳව සහ මේ ගෙවෙන දිවිය පිළිබඳවද කනගාටු නොවන බවද ඉතා සතුටින් අප සමග පවසා සිටියාය.
"මට ඉන්නේ අක්කලා දෙන්නයි මල්ලියි, අම්මයි. තාත්තා ජීවතුන් අතර නැහැ. මම සාමාන්‍ය දරුවෙකු විදියට ඉපදිලා තිබුණේ. ආබාධ සහිතයි කියල අඳුනගෙන තිබුණෙ නැහැ. නමුත් ඉපදෙද්දි මගේ කොන්දේ කුඩා ඉන්නෙක් වගේ තිබිල තියෙනවා. ඒක ක්‍රමයෙන් විශාල වෙලා සැත්කමක් කරලා තියෙනවා. මට ආබාධයක් තියෙනවා කියලා අම්මා තාත්තා අඳුනගෙන තියෙන්නේ වයස අවුරුදු එක හමාරෙදි විතර."
"මම ඉස්කෝලේ ගියේ නෑ. අවුරුදු හය වගේ වෙනකල් මම ඇවිද්දා. හැරමිටිය අරගෙන මම ඇවිදින්න උත්සාහ කළා. පුංචි කාලේ දවසක් තනියම මේසයක් උඩ නැගල ඉද්දි මම එතනින් වැටුණා. ඊට පස්සේ මට සම්පූර්ණයෙන්ම ඇවිදින්න බැරිවුණා. ඊටපස්සේ මම අවුරුදු නවය වෙනතුරුම දණගාගෙන ගිහින් වැඩ කරගත්තේ"
" ගෙදර ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා. මට පොඩි කාලෙදිම හිතුණා මමත් පවුලට ශක්තියක් විය යුතුයි කියලා. අවුරුදු දාහතේදී මම කඩදාසි බෑග් ඇලෙව්වා. ඒක තමා මගේ පළමු රස්සාව. මම ජීවිතේ ඉස්සරහට අරගෙන යනකොට මට මීට වැඩිය දෙයක් කරන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තිබුණා. මැහුම් පාඨමාලාවකට අයදුම් කළත් ගෙදරින් අකමැති වුණා මම ඒකට යනවට. නමුත් මට ඕනෑ වුණා අලුත් විදියට ජීවිතේ පටන් ගන්න. ඒකත් එක්ක පසුකාලීනව මම ඔරලෝසු අලුත්වැඩියා කරන්න ඉගෙනගත්තා. මම දැන් මගේම තැනක ඔරලෝසු කාර්මික ශිල්පිනියක් විදියට වැඩ කටයුතු කරනවා. "
නිශා අනෙක් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන්ද නැගී සිටිමින් සමාජ සේවා කටයුතුද සිදු කරන දිරිය කාන්තාවකි.
" මට ලොකු සිතුවිල්ලක් තිබුණා ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් වටිනා දෙයක් කරන්න ඕනෑ කියලා. සමාජය අපි දිහා බලන්නෙ අමුතු සතෙක් දිහා බලනවා වගේ. ඔයාට බෑ කියන දේ තමයි නිතරම අහන්න ලැබුණේ. මම අවුරුදු විසිපහක් තිස්සේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සමාජ සේවා කටයුතු කරනවා. මම පසුකාලීනව මගේම සංවිධානයකුත් ගොඩ නැගුවා."
"ආබාධ සහිත වුවත් අනෙක් කාන්තාවන් හා සමානව අපිත් ජීවත් වෙනවා. ඒ හැම කාන්තාවකටම ඔවුන්ටම ආවේණික වූ හැකියාවක් තියෙනවා. ඔවුන් හරිම දක්ෂයි. ඔවුන්ට පුදුම මානසික ශක්තියක් තියෙනවා. අපි ලෙහෙසියෙන් දෙයකින් වැටෙන්නෙ නෑ. ජීවිතේට එන ඕනෑම ප්‍රශ්නෙකදි ශක්තිමත්ව මුහුණදෙන්න හැකියාව අපිට තියෙනවා. සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා ගොඩක් ප්‍රශ්න අපේ ජීවිතවලට එනවා. නොසලකා හැරීම් ඉතාම බහුලයි. නමුත් කිසිම වෙලාවක ජීවිතය හැරයන්න හෝ පලායන්න උත්සාහ ගන්නෙ නැහැ.’’
අඩියෙන් අඩිය පියමැන්න මග දෙස මදක් නැවතී බලන විට හදවතින්ම සතුටු විය හැකි නම්, ඇය සැබවින්ම ජීවිතය දිනා අවසන්ය. ගිරි දුර්ග, මහා වැසි ඇද හැළී හෙම්බත් වූ පසුවද නැවත මල් පිපේ නම්, දූලි පිරි කටුක මාවත් දිගෙහි ඇවිද යන්නට චිත්ත ධෛර්යය තිබේ නම් කළ නොහැක්කක් නොමැත.
"මගේ ජිවිතේ දිහා ආපසු හැරිලා බැලුවම මට මා ගැන හරිම සතුටුයි. අපරාදෙ කරුමෙට මාව ඉපදුණේ කියන හැඟීම මට කවදාවත් දැනුණේ නැහැ. මගේ ආබාධිත තත්ත්වයන්ට කවදාවත් මම චෝදනා කරලා නැහැ. ඒ දේ මගේ ජීවිතයට ආශිර්වාදයක් ලෙස මම භාර ගත්තා. සමාජෙ ගැන හොඳ කියැවීමක් ලබාගන්න පුළුවන් වුණේ මම ආබාධ සහිත වූ නිසයි.’’
ලෝක ධර්මතාවට අනුව ජීවිතවලට උරුම වන ප්‍රශ්න, ගැටලු සතුටින් භාරගෙන, අනාගතය වෙනුවෙන් කැපවෙමින්, දසත සුවඳ විහිදුවමින් ජීවත්වන මෙවන් සුපිපි කුසුම් මේ මිහිපිට තවත් සුන්දර කරනබව නම් නිසැකය.
- විශ්වනී හසලා
Leave a comment