අත්තටු කැපුවත් ඉගිළෙන්න පෑනක් හොයා ගත්තා

 

ඇය නමින් ශාන්ති දිසානායකය. සිංහල නවකතා ක්ෂේත්‍රයට මහඟු වූ කෘති ගණනාවක්ම දායාද කළ ඇය වසර 20කට ආසන්න කාලයක් ක්ෂේත්‍රය තුළ රැඳී සිටිමින් නමක් දිනාගත් ලේඛිකාවකි. ශාන්ති දිසානායක විසින් රචිත කෘති අතරින් ගිරිකුළ වරාමල්, ගිරිදේවි, අග්නි, අගාධ, වාලුකා  කිහිපයකි. සිංහල නව කතා ක්ෂේත්‍රයේ කාන්තා චරිත අතරින් සුවිශේෂීව කැපි පෙනෙන ඇය සමග පසුගිය දිනක  අප සුහද කතා බහක යෙදුණා. 

 


Q අප ඇයගෙන් මුලින්ම විමසා සිටියේ මවුපියන් හා පවුලේ තොරතුරු පිළිබඳවයි.
මම ඉපදුණේ, හැදී වැඩුණේ වැව් බැඳි රාජ්ජේ ගොවි ජනපදයක. මම පවුලේ වැඩිමලා.  මට බාල නංගියි. මල්ලිලා දෙන්නයි. ඒ තුන්දෙනාටම වඩා මම මුරණ්ඩුයි. හිතුවක්කාරයි. ඒ බව නිතරම මාගේ අම්මා මට කියලා තියෙනවා. 


මගේ තාත්තා හරිම ධෛර්ය සම්පන්න පුද්ගලයෙක්. හරි හමන් විධිමත් අධ්‍යාපනයක් නැති වුනාට පොත පත සමාජය ගැන පුළුල් දැනුමක් ඇති සරසවියක් බඳු කෙනෙක්. එයාගේ ආකල්ප හැමවිටම වෙනස් හා නූතනවාදී වුණා. අපේ ගමට විදුලිය ලැබෙන්න කලින්ම ජෙනරේටර් යොදා විදුලිය ලබා ගන්න තරම් තාක්ෂණ දැනුමක් තිබුණා.


මුලින්ම රූපවාහිනියක් ගමට ගෙනාවෙත් මගේ තාත්තා. අම්ම හරිම ධෛර්යවත් කාන්තාවක්. තාත්තාට හරිම ආදරණීය බිරිඳක් වුණා. 


රූපවාහිනිය ලංකාවට හඳුන්වා දුන් මුල්ම යුගය නිසා හරිහමන් වැඩසටහනක්වත්  නොතිබූ යුගයක ඒ අරුම පුදුම මෙවලම දැක බලා ගන්න වැල නොකැඩී ගම්වාසීන් අපේ ගෙදර ආවා. ඒ හැම දෙනාටම පහසුකම් සපයන්න මගේ තාත්තා කාරුණික වුණා. හැම රෑකම අපේ කඩ මිදුල ගම්වාසීන්ගෙන් පිරී ඉතිරී ගියා. 


මගේ තාත්තා ගොවියෙක්, ව්‍යාපාරිකයෙක් ලෙස පමණක් නොවෙයි මිනිසෙකු, පියෙකු හැටියටත් එදා අපිට  ලොකු ආදර්ශයක් දුන්නා. ඒ ආදර්ශය තමයි මාවත් මේ අයුරින් හැඩ කළේ. 

 


පුවත්පත් පිළිබඳ මුල්ම මතකය කොහොමද? 
අපේ ආතා කඩේ පිලේ හිඳගෙන පත්තරය හඬනගලා කියවනවා. මුද්‍රණ අකුරු පිළිබඳ ආශාව දැඩි වුණේ ඒ හින්දා. අදටත් මම නගරයට ගියොත් මගේ ඇස් හොයන්නෙ පත්තර කඩයක්. ඒ කාලේ බයිසිකලේ පත්තර අරගෙන පත්තර මාමා එනවා. මට ඒ පත්තර පෙට්ටිය නිධානයක් වගෙයි. මම හීන මැව්වෙ. ඒ වගේ පත්තර පෙට්ටියක හිමිකාරියක් වෙන්න. අනික අපේ තාත්තට දිනපතා පත්තර කියවන එක ආහාර ගන්නවාටත් වඩා වැදගත් වුණා.

 


Q ගුවන්විදුලිය පිළිබඳ ඔබට මොනවගේ මතකයක්ද තියෙන්නේ?
මගේ මතක අතර රේඩියෝව සුන්දරම මතකයක්. අපේ ගෙදර රේඩියෝව උස් අසුනක තියලා අලංකාර රෙදි කෑල්ලකින් තිරයක් මහලා තිබුණා. රේඩියෝවෙන් ඇහෙන හඬවල් මාව විස්මයට පත් කළා. මේක ඇතුළෙ කුරුමිටි මිනිස්සු ඉන්නවා කියලා හිතුවා. එවැනි මතක අද වගේ තිබෙනවා.

 


Q පවුලේ අය සමග ගෙවුණු මතකය කොහොමද?
අපි ජීවත් වුණේ සුන්දර පරිසරයක. අපේ කිරි අම්මා පාන්දර නැගිටලා ආප්ප පුච්චනවා. ඒ උදේට කන්න විතරක් නොවෙයි. විශාල දරු පවුලක් නිසා අමතර ආදායම් මාර්ගයක් හැටියට. ඉතා සරල ජීවිතයක් අපට තිබුණේ. අනික වැව් බැඳි රාජ්ජේ ඇළ, දොළ, ඔය, වැව් අපමණව තිබුණා. දවසට කීපවරක්ම මේවට පැනලා නෑවා. ජල සෙල්ලම් කළා. ඒවාගේ හරිම සුන්දර වූ ළමා කාලයක් මට තිබුණා.

 


Q ඔබගේ සහෝදර සහෝදරියන් සමග කාලය ගත කළේ කොහොමද?
ලොකු මල්ලි කලිසම් අඳින හින්දා මටත් කලිසම් අඳින්න ඕනැ වුණා. ගවුම් අඳින්න කැමැත්තක් තිබුණෙම නෑ. නංගියි මල්ලි එක්ක කාලය ගත කරනවාට වඩා මට ඕනැ වුණේ ගහක් ගලක් ගානේ ඇවිදින්න. සතා සිවුපාවාට ගහට කොළට මම හරියට ඇලුම් කළා. ගස්, සත්තු එක්ක කතා කරන පුරුද්දක් මට තිබුණා. ඒ නිසා සහෝදර සහෝදරියන්ගෙන් මිදිලා පරිසරය සමග තමයි වැඩිපුරම කාලය ගත කළේ.

 


Q ලියන්න හුරුව ඇති වුණේ කොහොමද?
මගේ  තාත්තා හිතුවක්කාරයෙන් නිසා විවිධ අත්හදා බැලීම් කළා. මටත් ඒ පුරුද්ද ජන්මයෙන් එන්න ඇති. තාත්තට උදව්වට කඩිසර කොලු ගැටයෙක් හිටියා. එයා මට  ලියන්න කියන්න ඉගැන්නුවා. පාසල් යන්න පටන් අරන් වැඩි කාලයක් ගත වෙන්න කලින් මට කියවන්න පුළුවන් බව පාසලේම ළමයි දැනගත්තා.  
ලොකු පංතිවල ළමයි පවා මාව වටකරගෙන මම කියවනවා අහගෙන හිටියේ පුදුමයෙන්. හරියට ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ. ඒකෙන් මම හරියට හෙම්බත් වුණා. මේ හින්දාම පොතේ අන්තිම පිටුවේ මොනම හරි කුරුටු ගාන පුරුද්දක් ඇති වුණා. මුලින්ම චිත්‍ර ඇන්දා. පස්සෙ පස්සෙ පුංචි පුංචි කතන්දර ලිව්වා.

 


Q මුලින්ම ලියු දේවල් මතකද?
ඉස්කෝලේ තුනේ පංතියේදී වලස් පැටව් තුන්දෙනෙක් ගැන පුංචි කතාවක් ලිව්වා. ඒවගේම පාසල ගැන කවි පංති කීපයක් ලිව්වා. හැබැයි මම ඉස්කෝලේ යන්න කැමැත්තක් තිබුණු දරුවෙක් නෙමෙයි. උදේට ගිහින් දවල් ඇරෙන අටමගලට යන්නෑ කියලා හිතුවා. කිරි අම්මා කිරි අත්තා මුත්තම්මල එක්ක  කාලය ගත කරපු මට එයාල කියන  අපුරු වචන රැසක් ඒ වෙනකොටත් හිතේ එකතු වෙලා තිබුණා.
මම ඉස්කෝලේ යන්න බෑ කියද්දි අම්මා අණ කළා. තාත්තා කිව්වේ ඉස්කෝලේ ගියාම ලෝකය ගැන සත්තු ගැන හුඟක් දේවල් දැනගන්න පුළුවන් කියලා ඊට පස්සේ තමයි ඉස්කෝලේ යන්න හිත හදාගත්තේ.

 


Q ඔබ  ඇගයීමට පත්වූ අවස්ථා මතකද?
 මුලින්ම තාත්තා තමයි මාව අගය කරමින් හා පත පොත ලබා දෙමින් මා තුළ සැඟවිලා හිටපු ලියන්නිය හොයා ගත්තේ. කටියාව යාය ගස දුටුගැමුණු  විදුහලේ කවි පංතිය වගේම කැකිරාව මැදිමහ විදුහලේදි මගේ රචනාව ඇගයීම් කළ සුජාතා ඉලංගසිංහ ගුරුතුමිය මාව ඇඟයීමට පත්කළා. ඒවගේම නේවාසිකාගාරයේදී ලියන්න පුළුවන් ළමයා කියන ඇගයීම ලොකු  අක්කලාගෙන් ලැබුණා.

 


අමතක නොවන සොඳුරු මතකයන් සිහිපත් කළොත්? 
විදුලිය නැති කාලේ තාත්තට තුරුලු වෙලා ඉද්දි තාත්තා අතේ ඇඟිලිවලින් බිත්තියේ රූප මැව්වා. ඒ රූපවලට තාත්තා හඬ කවනවා. චිත්‍රපට පිළිබඳ ආශාව ඇති වුණේ ඒවායෙන් කියලා හිතෙනවා. රත්නපුරේ හිටපු ප්‍රේමරත්න මාමලා අටමස්ථානය වඳින්න වන්දනාවේ ආවාම අපිව එක්කගෙන චිත්‍රපටි බලන්න යනවා. ඒ දැවැන්ත තිරයේ රූප මහා අසිරියක් ගෙනත් දුන්නා.
අපේ කිරි අම්මලා වී කොටන, හාල් කොටන කැවිලි හදන එක විතරක් නෙමෙයි දරට යන, හතු නෙළන එක පවා මට සොඳුරු මතක. 

 


ඔබ ලියන්න නිමිති කරගන්නා දේවල් මොනවාද?
මම ඇත්තටම කැමැති ප්‍රීතිමත් හා ආදරබර දේවල් ලියන්න. කවුරුත් කියවන්න කැමැතිත් ඒවා. ආදරය වෙනුවට අනාදරය කරුණාව වෙනුවට වෛරය නීතිය වෙනුවට අවනීතිය තියෙන්නේ. අකමැත්තෙන් වුනත් මට ලියන්න සිද්ධ වෙන්නෙ යථාර්ථය. හැබැයි ඒක හරිම කටුකයි. ගොරහැඬියි. මම ලෝකය  යහපත් හා ආදරණීය වෙනවා දකින්න නොඉවසිල්ලෙන් ඉන්නවා. ඒ පරමාර්ථයෙන් ලියනවා.

 


Q විවාහය සැමියා හා දරුවන් පිළිබඳවත් කියමු
මම විවාහ  වුණේ ආදර සම්බන්ධතාවයකින්. හැමදාමත් මගේ පරමාර්ථය වුණේ යුක්ති ගරුක රටක්. ඒ වෙනුවෙන් අරගල කරන්න මම සුදානම්ව හිටියා. තාත්තා දුරදිග නොබලා ක්‍රියා නොකළා නම් මම මිය යාම සිකුරුයි. තරුණ ජීවිත ලෙයින් නැවත නැවතත් තෙමී යන මේ රට පිළිබඳ මට දැනෙන්න විශාල සංවේගයක්. විවාහය මගේ පියාපත් සිඳ දමා මා බිත්තිය හතරක සිර කර දැමුවා වගෙයි දැනුණේ. නමුත් කාන්තාවක් ලෙස තම හැකියාවන්, දක්ෂතාවන්  නිර්මාණ හැකියාව යටපත් කළ යුතු නෑ. ලැබෙන හැම මොහොතෙම ඒ සඳහා ඉඩ සලසා ගත්තා. 
සමස්ත සමාජයේම බහුතර කාන්තාවන් විවාහයෙන් පසු යම් බන්ධනයකට නතු වෙනවා. තමන්ගේ රුචි අරුචිකම්වලට ඉඩ නොලැබෙන නමුත් ඇතැම්  සැමියන් තම බිරිඳගේ දක්ෂතාවලට නිර්මාණශීලිත්වයට ඉඩ නොදෙනවා නොවෙයි. කෙසේ වුවත් කාන්තාවන්  තම හැකියාවන්,  නිර්මාණශීලිත්වය ඉදිරියට ගෙනයන්න විවාහය බාධාවක් කර නොගත යුතුයි. 

 


ඔබගේ දරුවනුත් ලියනවද?
අම්මා, තාත්තා ලියනවා නම් දරුවොත් ලියන්න ඕනෑ කියලා උපකල්පනය කිරීම සාමාන්‍යයි. හැබැයි ලිවීම පුරුදු පුහුණු කළ හැකි දෙයක් කියලා මම හිතන්නෙ නෑ. ඒක නිරායාසයෙන්ම පැන නගින්නක්. ලිවීමට උල්පත තමයි කියවීම. නොකියා ලියන්නෙ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ.

 


ඔබගේ දරුවන් ඔබ ගැන දරන මතය  කොබඳුද?
අපට සමාජයක් ලෙස වරදින තැනක් තමයි වැරදි ආකල්ප. මම මේ දේ කළොත් අහවලා මොනවා හිතයිද? මම මේ ඇඳුම ඇන්දොත් මට හිනා වෙයිද? නෑ ජීවිතය කියන්නෙම අමිල වූ සම්පතක්. ඒවගේම මතක තියාගන්න ඉතාම කෙටියි. ඒ නිසා හෘද  සාක්ෂියට එකඟව ජීවත්වීම හා ජීවන අනුරාගයෙන් වෙලී සිටීමයි. අප කළ යුත්තේ.


මගේ දරුවෝ මගේ ගැන මොනවා හිතනවද මම දන්නෙ නෑ. නමුත් අම්මගේ කරුණාවන්තකම, ඕනෑම දෙයක් පැවසීමට  හැකිවීම, ඔවුන්ගේ මිතුරන්ට ඔවුන්ට මෙන්ම ළෙන්ගතුකමින් සැලකීම, ඔවුන් අගය කිරීම පිළිබඳ ඔවුන්ට වැටහීමක් ඇති. ඒ ඔවුන්ගේ අම්මා.  මා තුළ තවම නොවැඩුණු ළමයෙකු ඉන්නා බවක් මගේ දරුවන් දන්නවාද යන්න මම තවම සැක කරනවා.  

 


කාන්තාවක්, බිරිඳක්, මවක් ලෙස ඔබ අද සහ එදා සමාජය දකින්නේ කොහොමද?
අද මම ජීවත්වෙන්නේ ගමකම නොවෙයි විවිධ පළාත්වලින් සංක්‍රමණය වූ ජනතාවක් වෙසෙන ගොවි ජනපදයක. ඒ නිසා ගමක ළෙන්ගතුකම තරමක් අඩුයි කියලා මම හිතනවා. එදා සරල සමාජය අද සංකීර්ණ වෙලා නොවිසඳුණු ගොවි ගැටලු, ඉඩම් ප්‍රශ්න, එතෙර රැකියාවලට ගොස් ඇතැමුන් ගෙවල් දොරවල් හදාගන්නවා. නමුත් සමස්ත ගොවිජනයාගේ ප්‍රශ්න තවමත් එකම තැන.
අපි කුඩා කාලයේ  ගමේ හැමතැනම කරක් ගැහුවා. ගෙවල් ගානේ ගියා. ආදරය, කරුණාව මිසක් අද දරුවකුට අත්විඳින්න ලැබෙන අයහපත් අත්දැකීම් අපිට තිබුණේ නෑ. 
හැබැයි එදත් ආකාරුණික අය හා සලෙළුන් නොසිටියාම නොවෙයි. නමුත් එදා සමාජය වග බලා ගත්තා දරුවා කාගේ වුණත් දරුවකු සේ දකින්න, ආරක්ෂා කරගන්න.
අවාසනාවට අද එහෙම නෑ. දරුවා අනුන්ගෙ නම් අහක බලා ගන්නවා. තමුන්ගෙ නම් දැඩි සේ ආදරය කරනවා ආරක්ෂා කරනවා.


ශාන් බන්දු වික්‍රමසිංහ


 

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Previous

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Next

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

Realted Post

Leave a comment