ආබාධය ජීවිතයට බාධාවක් නොකර ගත් ඇය - වසන්තා

සියල්ල සම්පූර්ණ වූ මිනිසුන් මෙලොව නැත. සෑම අතින්ම තෘප්තිමත් මිනිසුන්ද නැත. ඇත්තේ මේ සියලු දේවල් අඩු වැඩි වශයෙන් පිහිටා ඇති අයයි. ඒ කුමන විදියකට හෝ ඔබ මෙලොවට පැමිණ ඇත්තේ කුමක් හෝ හේතුවක් නිසයි. ඔබ මේ සොබාදහමට අවැසි පුද්ගලයකු නිසයි. නමුත් අතපය හතර නිරෝගීව කිසිදු අාබාධයකින් තොරව ඉපදෙන කී දෙනෙක් නම් මේ මහපොළවට බරක් වී මිය යනවාද? එැවැනි මිනිසුන් අතර සොබාදහම තමන්ට මොන දේ දුන්නත් ඒ ගැන අහිතක් නොහිතා ලැබුණු දේ ආශීර්වාදයක් කරගෙන මොන බාධා ආවත් ඒවාට අභියෝග  කරමින් ජීවිතේ දිනන මිනිසුන්ද ඕනෑ තරම් සිටී. මේ කතාබහත් එවැනි ඇරඹුමක්. ඇය වසන්තා රෝහිණී. පෝලියෝ රෝගය ජීවිතයට අභියෝගයක් වෙද්දි තමන් වෙනුවෙන් නැගිටින්න, නොසැලී ජීවිතය ජයගන්න උත්සහ කරන ඇය ගැනයි මේ කතාව.

සමහර වෙලාවට අපිට නරකම දේවල් ජීවිතේට ලැබෙන්නේ හොඳම දේ වෙන්න. හොඳම මොහොතවල් මගහැරෙන්නේ වඩාත්ම හොඳ දේවල් ලැබෙන්න. උඩතලවින්න මීගම්මන කියන ගම්මානයේ ජීවත්වන ඇය  පෝලියෝ රෝගයට ගොදුරු වන්නේ වයස අවුරුදු දහයේදී පමණ. නමුත් ඇය කිසි දිනක තමාට උරුම වූ මේ අසීරු ජීවිතයට දොස් පැවරුවේ නැත. ඒ වෙනුවට හැම වෙලාවකම උත්සහ කළේ අනිත් අයට වගේම තමන්ටත් උත්සහ කළොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතන්න. ඒ හයිය හිත ඇයට ලැබුණේ පාසැල් අවධියේම බව ඇය අපට පැවසුවේ ආඩම්බරයෙන්.

මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා අත්වාරුවලින් තමයි ඇවිදින්නේ. යාළුවෝ එයාලගේ දේවල් තනියම  කරගද්දි මාත් උත්සහ කළා මගේ වැඩ තනියම කරගන්න. මම වෙනුවෙන් අම්මයි තාත්තයි මගේ සහෝදර සහෝදරියෝ නොසෑහෙන්න දුක් වින්දා. ඉතින් ඒ දේවල් දකිද්දි මට ඕනි වුණේ කොහොමහරි කාටවත් බරක් නොවී ජීවත් වෙන්න. 
එහෙම හිතන ඇය සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් පසු වැඩිදුර ඉගෙන ගැනීමට ආර්ථික අපහසුතා තිබුණ නිසාම කුමක් හෝ රැකියාවක් කිරීමට උත්සහ කරනවා. අතපය හතර හොඳින් වාරු තිබෙන අයත් ජීවිතේ නොලැබුණ දේවල්වලට  දොස් පවරමින්, සිටින කාලෙක ඇයගේ උත්සහය තනිවම නැගිටින්නයි. ආර්ථික වශයෙන් ස්වයංව ශක්තිමත් වීමටයි.
එහෙම හිතන ඇය පෙරපාසැල් ගුරුවරියක් ලෙස ඉගෙන ගනිමින්, තවත් හිතවතියක් සමග පෙරපැසලක් ආරම්භ කරනවා. ඇයගේ පෙර පාසලේ විශේෂත්වය වුණේ ඇය වගේම තවත් ආබාධිත දරුවන්ට ඉගැන්වීම සඳහා එය අවස්ථාවක් කරගැනීමයි.
“මුලින්ම මට මේ කටයුත්ත කිරීම ඉතාම අපහසු වුණා. මොකද මම ආබාධිත කෙනෙක් නිසා. මටත් කුඩා කාලයේ පාසැලක් හොයාගන්න අමාරු වුණා. මගේ පියා ගුරුවරයෙක් ඒ නිසා මට කොහොම හරි තාත්ත උගන්වපු පාසලට යන්න පුළුවන් වුණා. නමුත් ඒ කාලේ ආබාධිත ළමයෙකුට පාසැලක් හොයාගැනීම හරි අමාරුයි. ඒ අපහසුතාවය දන්න නිසයි මමත් අාබාධිත දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළේ. නමුත් එය ලේසි වුණේ නැහැ. මොකද සමහර මව්පියෝ කැමති නැහැ නිරෝගී දරුවෝ ආබාධිත දරුවන් එක්ක තියන්න. ඉතින් මම ඒ මානසිකත්වයෙන් මව්පියන් ඉවත් කරන්න හුඟක් කැපවීමෙන් කටයුතු කළා.’’
‘‘ඉතින් කාලයක් මෙහෙම ඉතාම අමාරුවෙන් මේ කටයුත්ත සිදුකරලා ඉන් පසුව මම මගේම ව්‍යාපාරයක් කරන්න ඕනි කියන අදහසට ආවා. මොකද මම ආබාධ සහිත අයෙක් නිසා තවත් කෙනෙක්ට කරදරයක් නොකර උපකාරයක් කරන්නයි මට ඕනිකළේ. ඒ අතරේ පිත්තල ආශ්‍රිත තවත් විවිධ ව්‍යාපාර කළා.
එහෙම සිතන ඇය මීළඟට අත්කම් නිර්මාණය පිළිබඳ වගකීමක් ඇති වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයකින් නිර්මාණකරණය ඉගෙන ගන්නවා. ඒ ඔස්සේ ඇය මොනතරම් බාධක මැද්දේ වුවද ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ඒ සඳහා හරියකට ස්ථානයක්වත් හෝ නොමැතිවයි. ‘‘පුළුවන් විදියට ආරම්භ කිරීමයි වැදගත්.’’
ඒ ඇගේ මතයයි.
ඒ අනුව අලංකාර බෝනික්කන් මැසීමට ඉගෙන ගන්නා ඇය මේ වන විට සාර්ථක ව්‍යවසායිකාවක්බවට පත්වෙමින් ඇය යටතේ මේ වනවිට තවත් ආබාධිත කාන්තාවන්ට රැකියා අවස්ථාද ලබා දී තිබේ. ඉතින් ජීවිතය මොනතරම් අපිව අසරණ කළත් සිත ශක්තිමත් නම් ඒ සියලු අවස්ථා ජයගැනීමට කිසිවක් බාධාවක් නොමැති බව ඇයගේ ජීවිතය දෙස බලන ඕනෑම අයකුට සිතේ.
මේ වන විට ඇය ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ කුලියට ගත් ඉතා කුඩා කඩ කාමරයක බව අපට දැනගන්න ලැබුණා. කඩ කාමරයේත් කුලිය ගෙවාගෙන, හැකි අයුරින් සේවයේ නියැළෙන කාන්තාවන්ට යම් වැටුපක්ද ගෙවමින් ඇය ජීවිතය සෙමින් සෙමින් මේ වාරු ගන්නේ කාටවත් බරක් නොවී ජීවත් වීමටයි. තමන් ගෙනා ජීවිතය තමන්ට ආශිර්වාදයක් කරගැනීමටයි. එවැනි ධෛර්යවන්ත චරිත තුළින් අපේ  ජීවිතවලට ගතහැකි දෑ බොහෝය.
‘‘අපේ ආබාධිත බවම තමයි අපේ ජීවිතවල ජයග්‍රහණය. මාව ශක්තිමත් කරපු තැන. ’’
ඇය එසේ පැවසුවේ කටුක වූ මාවතක් දිගේ තමන් ආ මග නැවතත් සිහිපත් කරමින්ය.

  •  සටහන - නයනා උදයංගනී

සරම ඇඳලා කොණ්ඩෙ බැඳලා ප්ලේන් පැඳපු පවුලිස් Read Previous

සරම ඇඳලා කොණ්ඩෙ බැඳලා ප්ලේන් පැඳපු පවුලිස්

ඉකිළි - කිහිලි කළු නම් Read Next

ඉකිළි - කිහිලි කළු නම්

Realted Post

Leave a comment