කාන්තාව ශක්තිමත් බවේ සංකේතය. කිසිවෙකින් සැලෙන්න එපා

 

නාවල ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය මේ වෙනකොට ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතින් ඉහළින්ම සිටින පාසලක්. එවන් පාසලක නායකත්වය මෙහෙයවන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. සිරිකත Online  එහි  විදුහල්පතිනි කේ. ජී. සමන්ති සමඟ කළ  සාකච්ඡාවකි මේ.

 

ඔබේ පාසල් කාලය මොන වගේද?
ඇත්තටම මගේ පාසල් කාලේ හරිම සුන්දරයි. පොතපතේ වගේම එළිමහන් ක්‍රියාකාරකම්වලත් අපි නිරත  වුණා. වෙල් ඉපනැල්ලෙ දඟලපු, ගස් උඩ නැගපු ළමා කාලයක් තමයි අපිට තිබුණෙ.

 

විදුහල්පති කෙනෙක් වෙන එක පොඩි කාලෙ ඉඳලම තිබුණු හීනයක් ද?
විදුහල්පති කෙනෙක් වෙන එක කෙසේ වෙතත් ගුරුවරියක් වෙන්නවත් හීනයක් තිබුණේ නැහැ. ලැබෙන ඕනම රැකියාවක් බාරගන්නවා කියන තැන තමයි මම හිටියේ. හරි අහම්බෙකින් තමයි ගුරුවරියක් වුණේ.

 

ඔබේ කාලයයි, අද කාලයයි අතර වෙනස මොනවගේද ?
ලොකු වෙනසක් තියෙනවා. අද වෙනකොට දරුවන්ට පළවෙනි වසරෙ ඉඳලම පොලඹවල තියෙන්නෙ  විභාග මානසිකත්වයකට. දරුවන්ට සෙල්ලම් කරන්න ඉගෙන ගන්න තියෙන කාලය ටියුෂන්වලට කොටු කරල තියෙන්නෙ. වර්තමානයේ දරුවන්ට හිතේ නිදහසක් නැහැ අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න තරම්.

 

 

දරුවන්ට ගහලා ඔවුන්ව මෙහෙයවන්න පුලුවන්ද ?
දරුවෙක්ට ගහලා කවදාවත් එයාලව ගොඩනගන්න බෑ. ඊට වැඩිය සුන්දර විදිහට ආදරෙන් කියල ගොඩක් දේවල් හදන්න පුළුවන්. දරුවෙක්ට ගැහුව කියල එයා කරන වැරදි  වැඩෙන් එයා මිදෙන්නේ නැහැ.

 

ශිෂ්‍යත්වය ෆේල් වුණා කියන්නේ මුළු ජීවිතයම ෆේල් වීමක් ද?
කවදාවත්ම නැහැ. ශිෂ්‍යත්වය කියන්නේ දරුවන්ට ආධාරයක් වෙන්න රජයෙන් කරන දෙයක්. පන්ති කාමරයේ එතරම් වැඩ නොකරත් ඒලෙවල්, ඔලෙවල්  ඉහළ ප්‍රතිඵල ගන්න ළමයි ඉන්නවා. ඒක නිසා කොතැනකදී වත් කියන්න බැහැ, ශිෂ්‍යත්වය නිසා දරුවන්ගේ අනාගතය යහපත් වෙනවා කියලා.

 

තරුණ දෙමව්පියන්ට දෙන උපදේශය කුමක්ද?
තරුණ දෙමව්පියන්ට කියන්න තියෙන්නේ ඔබේ සිහින දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියන දේ. දරුවන්ට දරුවන්ගෙ නිදහසේ නැගිටින්න අවස්ථාව දෙන්න. දරුවන්ට බලපෑම් කරන්නවත් ඔවුන්ව සංසන්දනය කරන්නවත් යන්නෙපා.

 

දෙමව්පියන් අහිමි දරුවන්ට කියන්න තියෙන්නෙ මොනවගේ දෙයක්ද?
දුවේ, පුතේ කිසිම වෙලාවක සැලෙන්න එපා. ජීවිතය ජයගන්න කිසිම දෙයක් ප්‍රශ්නයක් කරගන්න එපා. එහෙම දරුවන්ට ඕන තරම් අවස්ථාව තියෙනවා ජීවිතයේ ඉදිරියටම යන්න.

 

 

කාන්තාවක් විදියට ඔබ කොහොමද හැමදේම සමබර කරගන්නෙ?
ඇත්තටම ඒකට උවමනාම කියන දේ තියෙන්න ඕන වගේම කැපකිරීම් අනන්තවත් කරන්න වෙනවා. දරුවන්ගේ වැඩ කටයුතු වැඩ කටයුතු බලන්න වෙනවා. ඊට පස්සේ විදුහල්පති කෙනෙක් විදියට සේවයට එන්න ඕනේ. ඒක ලොකු වගකීමක්. ඒ වගේ වෙලාවට පෙර සූදානම් කියන දේ මම ගොඩක් අගය කරන දෙයක්. විවිධ වැඩ කටයුතුවලට මාව මුණගැහෙන්න මහජනතාව එනවා. විනාඩි දහයක් ඇතුළත ඒ සියලු දෙනාගේම කාර්යයන් ඉටු වෙන විදියට මම වැඩ කළමනාකරණය කරගන්නවා.

 

සමස්ත කාන්තාවන්ටම දෙන්න තියෙන පණිවිඩය මොකක්ද ?
කාන්තාවන් කියන්නේ ශක්තිමත් කෙනෙක්. ඒක නිසා කිසිම වෙලාවක ප්‍රශ්නවලින් සැලෙන්න එපා. හොඳ ඉවසීමක්, දරාගැනීමක් වගේම ශක්තියක් කාන්තාවක් තුළ  තියෙන්නම ඕන. මම හිතන්නේ කාන්තාව කියන්නේ ශක්තිමත්  බවේ සංකේතය කියලා. ඒ දේවල් වෙන කාටවත් නැහැ. ඒ අතින් කාන්තාව ඉන්නේ ඉහළම තැනක.

සටහන -නෙත්මි තෂාරා
ජායාරූප - වරුණ වන්නිආරච්චි 

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Previous

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Next

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

Realted Post

Leave a comment