ගුරු ගෞරවය තවමත් අපේ සමාජයේ තියෙනවා

 

 

ජනප්‍රියම ටියුෂන් ගුරුවරිය නිලූ තෙන්නකෝන් 

ටියුෂන් පංති පිළිබඳ යම් පිබිදීමක් ඇතිවන්නේ 80 දශකයේ පමණ සිට ය. එදා මෙදාතුර දිවයින පුරාම ටියුෂන් ඉගැන්වීම තුළ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ටියුෂන් සර්ලා ය.
එදා මෙන්ම අදත් දරුවන් අතරත් වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ ඔවුන් ය. මෙවන් පසුබිමක් තුළ ටියුෂන් මිස්ලාත් පෙරමුණට පැමිණෙන අයුරු ඉඳහිට දැකගත හැකිය. එසේ පෙරට පැමිණ දරුවන් හා මවුපියන් අතර ඉතාම ජනප්‍රිය වී සිටින ටියුෂන් මිස් කෙනෙක් පසුගිය දිනෙක  අපට මුණ ගැසිණි. බස්නාහිර පළාත තුළ වඩාත් ප්‍රසිද්ධියක් උසුලන ඇය උසස් පෙළ දරුවන්ට දේශපාලන විද්‍යාව විෂය උගන්වන නිලූ තෙන්නකෝන් ය. 
මේ සටහන සැකසෙන්නේ ඇය හා අප කළ කතාබහකිනි. 


Q අප ඇයගෙන් මුලින්ම විමසා සිටියේ ඇයගේ අධ්‍යාපනික තොරතුරුය.
මගේ තාත්තා කුරුණෑගල. අම්මා හෝමාගම. තාත්තා විදුහල්පතිවරයෙක්. මම විශේෂයෙන්ම කිව යුතු දෙයක් තමයි නිදහස් අධ්‍යාපනයේ පූර්ණ නිර්මාණයක් නෙවෙයි මම. මොකද මුලින්ම පාසල් ගියේ පන්නිපිටිය ක්‍රිස්තුරාජ පුද්ගලික විදුහලට. එම විද්‍යාලයට මම ණයගැතියි. මොකද ක්‍රිස්තියානි විද්‍යාලයක් වුවත් මම හොඳ බෞද්ධයෙක් කළේ එම පාසලයි. දරුවකුට තිබිය යුතු ගුණ ධර්ම හුරුකර මාව සාර්ථක පුරවැසියෙක් කළේ එම පාසලයි.

අදටත් එම විද්‍යාලයේ ඉගනුම ලැබූ දරුවකු වෙනම පේනවා. සමාජය යම් පිරිහීමක තිබුණත් එදා මෙන්ම හැදියාව ගුණගරුකබව මානව ගති ලක්ෂණ ඒ පාසලේ දූලා පුතාලා තුළ අදත් දැකගත හැකියි.
මම දෙවනුව අධ්‍යාපනය හැදෑරුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ. කොට්ටාව ධර්මපාල විදුහලෙත් මාස ගණනක් අධ්‍යාපනය ලබලා තියෙනවා.

 


Q පාසල් කාලයේ කැපී පෙනුණු  ශිෂ්‍යාවක්ද?
අධ්‍යාපනය වගේම ක්‍රීඩා හා අනිකුත් සියලුම බාහිර කටයුතුවලට සම්බන්ධ වුණා. මිටර් 100 දුවලා සමස්ත ලංකා පවා ගිහින් තියෙනවා. කථීක තරග, විවාද තරගවල දක්ෂතා දැක්වුවා. පාසලේ හිටපු දීප්තිමත් ශිෂ්‍යාවක් වුණා. මෙයට අමතරව කොට්ටාව සුදර්ශි දහම් පාසලේ දිප්තිමත් ශිෂ්‍යාවක්. එහිදීත් කථික තරග, විවාද තරගවලට සහභාගි වුණා. 

 


Q විශ්ව විද්‍යාල ජීවිතයත් සුන්දරද?
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදෑරුවේ. දේශපාලන විද්‍යාව පිළිබඳ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිත විශේෂවේදී උපාධියක් ලබාගත්තා. දේශපාලන විද්‍යාව පිළිබඳ කැලණිය විශ්ව විද්‍යාලයෙන් විශේෂ පුහුණුවක් ලබල තියෙනවා. ජයවර්ධනපුර විශ්ව විදයාලයේ අධ්‍යාපනවේදී ඩිප්ලෝමාවත් හැදෑරුවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතරතුරම සිරස ගුවන් විදුලියේ නිවේදිකාවක් හැටියටත් වසර 02 ක් පමණ කටයුතු කරලා තියෙනවා. පුවත්පත් සඳහා ලිපි ලියලා තියෙනවා. මේ  හැමදෙයක්ම මගේ අධ්‍යාපන ජීවිතයේ සුන්දර අවස්ථා.


Q දේශපාලන විද්‍යාවට මේ තරම්ම ප්‍රිය කළේ ඇයි?
මට දේශපාලන විද්‍යාව කරන්න දැඩි උණක් තිබුණා. හැබැයි දේශපාලනය කරන්න උවමනාවක් තිබුණේ  නැ. මට ඕනෑ වුණේ ගුරුවරියක් හෝ කථිකාචාර්යවරියක් වෙන්න. හැබැයි අපේ අම්මට ඕනෑ වුණේ මාව නීතිඥවරියක් කරන්න. මම කථික තරග, විවාද තරගවලට යනවා. ඒවට ගෙදර කතා පුහුණුවෙනවා දැකපු අම්මට එහෙම හිතෙන්න ඇති. අනෙක අම්මට ඉඩම් නඩු දෙකක් තිබුණා සීයා දාපු බූදල් නඩු. මේ නිසා අම්මට හිතෙන්න ඇති දක්ෂතා තියෙන නිසා මාව නීතිඥවරියක් කරන්න.

අපේ ගෙදර පසුබිම නිසා වෙන්න ඇති  ධරැඛ ඉවර වුණු ගමන්  දේශපාලන විද්‍යාව තෝරාගන්න හේතු වුණේ. මගේ දේශපාලන ගුරුතුමා වුණේ ටෙරන්ස් පුරසිංහ ගුරුතුමා. ඔහු හරි ඍජුයි හරිම රහට ඉගැන්වුවා. මේ දේවල් දැකපු මට කථිකාචාර්යවරියක වීමේ අදහස තවත් තීව්‍ර වුණා. ඒකම තමයි විශ්ව විද්‍යාලයේදී දේශපාලන විද්‍යාව තෝරාගන්න හේතුව.

 


Q විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදීම නේද ගෙදරින් විවාහයට යෝජනාවක් එන්නේ?
විශ්ව විද්‍යාලයට යන කාලයේදීමයි මවුපියන්ගේ මැදිහත්වීම මත ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙන්නේ. දෙන්නම එකතුවෙලා ව්‍යාපාරයක් පටන් ගත්තා. මං ඉගනගන්න ගමන් සක්‍රීයව ඊටත් සම්බන්ධ වුණා. විවාහ වන විට අපේ ව්‍යාපාරය ඉතා සාර්ථක වෙලා තිබුණා. 

 


Q ඔබ ටියුෂන් පටන්ගත්තේ කොහොමද?
විශ්ව විද්‍යාලයට යන කාලයේදීම දරුවන්ට උගන්වන්න පටන්ගත්තෙ නොමිලයේ. දරුවන් 1--2 ගෙන් පටන්ගත්තේ. අවුරුදු දෙක තුනකට පස්සේ නුගේගොඩ ශාලාවක් අරගෙන දරුවන්ට නොමිලයේ ඉගැන්නුවා. අතින් වියදම් කර ගෙන. දරුවන් 3 දෙනෙකුගෙන් පටන්ගත්තා. දරුවෝ 13 දෙනෙකුට වැඩිවුණා. ඒ අවුරුද්දේ ඉතා හොඳ ප්‍රතිඵල දරුවෝ ගත්තා. මගේ ගැන දරුවන් හා මවුපියන් අතර ප්‍රචාරය වුණා. මටත් තේරුණා දරුවන්ට හරියට ආමන්ත්‍රණය කරන්න දන්න දේ හොඳට කියලා දෙන්න මට පුළුවන් කියලා.
දරුවන්ගේ හා මවුපියන්ගේ රෙකමදාරුව මත පංති කීපයක් ඊට පස්සේ ආරම්භ කළා. පුංචි කාලයක් තුළ දරුවන් අතර දිවයිනේ ජනප්‍රිය දේශපාලන විද්‍යා ගුරුවරිය ලෙස ඉහළ ප්‍රතිචාරයක් ලබාගන්න හැකිවුණා.


Q ටියුෂන් පංති කරන ගුරුවරියන් අල්පයි. ඒ ඇයි?
ඔවුන්ගේ කාර්භාරය සමාජගතවීම හරිම සීමාසහිතයි. පවුල තුළ ස්ත්‍රියගේ කාර්ය භාරය කොටුවෙලා. ජාතික ආර්ථිකයට ස්ත්‍රියට සම්බන්ධ වෙන්න තිබෙන ඉඩ හරිම අඩුයි. පවුල ඇතුළෙ ආදරය එක්ක ගත කරන්න තියෙන කාල පරාසය ස්ත්‍රියගෙන් සමාජය බලාපොරොත්තු වෙනවා.
මොකද පුරුෂාධිපත්‍ය ඇතැම් ගති ලක්ෂණ තවමත් අපගේ සමාජයේ තියෙනවා. අප කොතරම් නාගරික වුණත් මිනිසුන්ගේ ඔළුගෙඩි ඇතුළෙ තියෙන සම්ප්‍රදායික ගති ඉවත්වෙලා නෑ.
නමුත් පිරිමින්ට සමාජගතවීමට ලොකු නිදහසක් තියෙනවා. පිරිමින්ගේ පෞරුෂය, හඬ පෞරුෂය, විවේකය සමාජගතවීමට තිබෙන ඉඩ ශක්‍යතාව වැඩියි. මේක තුළ පිරිමින්ට ආකර්ෂණීය රැකියාවක් ටියුෂන් කියන්නේ. කාන්තාවට පවුලේ වගකීම් වැඩියි. එල්ලවන ප්‍රශ්න වැඩියි. දරුවන්, සැමියා මවුපියන් අසල්වාසීන් පිළිබඳ සියලු වගකීම් කාන්තාව පිට තිබෙන්නේ. කාන්තාව අඩපණ වුණොත් මුළු පවුලම අඩපණ වෙනවා.

 


Q ටියුෂන් පංති තුළත් පුරුෂාධිපත්‍ය තියෙනවාද?
ටියුෂන් ක්ෂේත්‍රය තුළ පිරිමින් මතුවන ප්‍රමාණය වැඩියි. ඔවුන්ට හොඳට සූදානම් වෙන්න පුළුවන්. දැනුම සොයාගෙන යාවත්කාලීන වෙන්න පුළුවන්. පිරිමි හඬට දකුණු ආසියාව තුළ ආකර්ෂණය වැඩියි. පිරිමි ගුරුවරු සමාජගත වෙන්න එවැනි කරුණු බලපා තිබෙනවා. මෙය පුද්ගලිකව කරන ස්වයං රැකියාවක්. ඊට  අවශ්‍ය වටපිටාව හදා ගැනීමේ නිදහස හා හැකියාව ඔවුන්ට වැඩියි.
මම ගුරුවරියක් වෙන්න පෙර කුසලතා ශක්තිය වගේම විශාල කැපවීමක්ද කරලා තියෙනවා.

 


Q ටියුෂන් ගුරුවරියක් ලෙස මේ දක්වා පැමිණි ගමනටත් බාධා තිබුණද?
මට ඇවිත් තියෙන්නේ බාධා හෝ කරදර නෙමෙයි අභියෝග. නරක කරදරත් නෙමෙයි. ගුරු වෘත්තිය තුළ බොහෝ ගෞරවාන්විත ගමනක් මම ඇවිත් තියෙනවා. ස්ත්‍රියක් විදිහට සමාජගතවීම හරි වැදගත්. ඇය ඇත්තම ගෞරවයක් ඇතිව සිටිය යුතුයි. එවිටයි සමාජය සැලකිලි දක්වන්නේ.

ටියුෂන් ගුරුවරියක් ලෙස සමාජගත වෙනකොට තරගකාරී තත්ත්වය තුළ විවිධ මඩ ප්‍රචාර, ඉගැන්වීම කරන ඒවායේ දෝෂ තියෙන බව අඩුපාඩු ප්‍රසිද්ධියේ විවේචනය වෙන අවස්ථා තිබෙනවා. ඒවට මම සැලුනෙත් නෑ. ඒ වගේම පරෙස්සම් වුණා මගේ තරගකාරී ගුරුවරු ගැන විවේචන නොකර ඉන්න. ඒවගේම එල්ල වූ මඩ ප්‍රහාර අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් ශක්තියක්, හැකියාවක් මට ලබුණා. මටම ආවේණික ගමනක් ආවා. අඳින ඇඳුම ගැන පවා සැලකිලිමත් වුණා. දිසාපාමොත් පරම්පරාවේ ගෞරවය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් පැහැදී සිටිනවා. ගුරුවරයා කියන්නේ පූජනීය චරිතයක්. ටියුෂන් පාසල කියලා දෙකක් නෑ. දරුවාට යමක් දෙන ඒ ගුරුවරයා වන්දනීය බවට පත්වන පූජනීය චරිතයක්. ටියුෂන් ගුරුවරු සමස්තයම එය හොඳින් තේරුම් ගෙන වගකීමෙන් කටයුතු කළ යුතුයි. 


Q ඒ පූජනීය ගුරුවරයාගේ භූමිකාව අද පිරිහිලාද? 
ගුරුවරයා  වගේම තරුණ පරපුරත් අද පිරිහිලා කියා ඇතැමුන් කියනවා. මම හැමදාම කියන දෙයක් එදා තරුණ පරම්පරාවට වඩා අද තරුණ පරම්පරාව හොඳයි කියලා. නවීකරණය වෙන සමාජය, තාක්ෂණ විද්‍යාව දියුණුවන යුගයක අද හැදෙන දූ දරුවෝ ඉතාම සෞම්‍යයි. උන්මාදයට පත්වෙලා නෑ.
ගුරු භූමිකාව තුළත් යම් පිරිහීමක්  තිබුණත් එදා හිටිය ගුරුවරුන්ට වඩා අද ටියුෂන් ගුරුවරු දැඩි කැපවීමකින් ගුණාත්මකව විෂය ධාරාව දරුවන්ට ලබාදෙනවා. එදා ද අද ද හොඳ කියලා ඍණාත්මක දෘෂ්ටියකින් අප බැලිය යුතු නෑ.


Q ඔබගේ නිවෙස තුළත් පුරුෂාධිපත්‍ය තියෙනවාද?
මම ඒ අතින් වාසනාවන්තයි. මගේ මවුපියන් මෙන්ම මගේ සැමියාගෙන් පුදුම ශක්තියක්. ආලෝකයක් ලැබෙනවා. ටියුෂන් ජිවිතය ගෙනයන්න නිදහස සහය ලබාදීල තිබෙනවා, මගේ හැකියාවන් නිපුණතාවලින් රටට සමාජයට, ජාතියට වැඩක් කරන්න පුළුවන් වෙන්න. මගේ දියණියත් ඒ දේවල් තේරුම් අරගෙන තිබෙන්නේ.
ඇය දක්ෂ දියණියක්. වයස 18 න් පහළ හෙල්ල විසිකිරීම ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාවක්. බැඩ්මින්ටන් සමස්ත ලංකා මට්ටමේ ඉන්නේ. සැමියා දියණියගේ සියලු වැඩ ගැනත් සොයා බලා ඉෂ්ට කරමින් මට විශාල සහායක් දෙනවා.

 


Q මම තමයි හොඳම ප්‍රතිඵල දෙන්නෙ කියලා කටවුට් ගහගෙන පෝස්ටර්වල දාගන්න එක හරිද?
ටියුෂන් කියන්නේ සර්ව සාධාරණ පෞද්ගලික ව්‍යාපාරයක්. ජාවාරමක් නෙමෙයි. අයථා ලෙස මුදල් හම්බ කරන්නෙ නෑ. ටියුෂන් ගුරුවරයා නිෂ්පාදනයක් කරන්නේ. එය සමාජගත කරන්නෙ නැතිව කොහොමද සමාජයට දැනුවත්භාවය ලබාදෙන්නේ. ටියුෂන් ගුරුවරයාගේ ව්‍යාපාරයේ නිෂ්පාදනය තමයි ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය හඬගා කියන්න ගුරුවරයාට පූර්ණ අයිතිය තියෙනවා. 

 


Q ටියුෂන් දරුවන් අතර විනය පිළිබඳ ගැටලුවක් තිබෙන බව බොහෝදෙනා කියනවා නේද? 
මම නිරන්තරයෙන් උගන්වද්දී දරුවන්ගේ නමින් ආමන්ත්‍රණය කරනවා. එහෙම ඇමතුවම දරුවා දන්නවා ගුරුවරයා ඒ අයව හොඳින් දන්නවා, අවධානයෙන්  ඉන්නෙ කියලා. එතකොට වැරදි දේකට යන්න බයයි. ලැජ්ජයි. විනය විරෝධී වැඩ කරන්නෙ නෑ. මම දරුවෝ හතර  පස්දෙනෙක් ළඟට ගිහින් කතා කරනවා නිරන්තරයෙන්ම පුද්ගලික ප්‍රතිඵල ගැන පවුලෙ විස්තර සොයලා බලනවා.
මගේ පංතියේ දරුවෙක් අඩුම තරමින් ඩෙස්ක් එකේ ටිපෙක්ස් එකකින්වත් ලියලා නෑ. මම දරුවන්ට කියලා තියෙන්නේ අපේ ඇතුළෙ සතෙක් ඉන්නවා ඒ සතා එළියට දාන්න ඉඩ තියන්න එපා, මනුස්සය විතරක් එළියට දාන්න කියලයි.

 

 

 ශාන් බන්දු වීරසිංහ 


 

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ Read Previous

ටයිට් ගවුමට ගැළපෙනම විදිහ

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Next

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

Realted Post

Leave a comment