නීති නැති නිදහස පිරි නීතිඥ කැදැල්ල

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා වර්තමානයේ කැපි පෙනෙන චරිතයකි. ධූරයට පත් වූ වසරක පමණ කාලය තුළදී රටේ නොයෙකුත් අර්බුද රැසක් මැද තම රාජකාරිය නිසි ලෙසින් ඉටුකරමින් කා අතරත් සුහදව කටයුතු කරන උසස් පොලිස් නිලධාරියෙකි.
අපි පසුගිය දිනෙක ඔහුගේ නිවෙසට ගොඩ වැදුණේ විශේෂයෙන්ම ඔහුගේ වැඩිමහල් දියණිය නිමංසා තල්දූව හමුවීමටය. ඒ ඇයට දැනෙන පිය සෙනෙහස පිළිබඳ කතා කිරීමට වුවත් එම කතාබහට පවුලේ සියලුදෙනාම එක්වීම ඒ කතාබහ තව තවත් රසවත් වීමට හේතුවක් විණි. 


නිහාල් තල්දූව මහතාගේ ආදරණීය බිරිඳ සන්ධ්‍යා තල්දූව ය. ඇය නීතිඥවරියකි. ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකි. 


අපි මුලින්ම කතාබහ කළේ නිහාල් තල්දූව මහතා සමගය. 


මගේ  ගම් පළාත ගාල්ල නාකියාදෙනිය. මුලින්ම ගමේ පාසලටත් පසුව  ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයටත් ගියා. පාසලේ ක්‍රීඩා අංශයෙන් මම හරිම ජනප්‍රියයි. ජවන හා පිටිය  සෑම තරග ඉසව්වක්ම කළා. කිසිම තෝරාගැනීමකින් තොරව ඒ තරමට ආසාවක්, කැමැත්තක් ක්‍රීඩාවට තිබුණා. පිහිනුම්වලටත් ඒ වගේමයි. ඒ කාලේ අපිට පිහිනුම් තටාකයක් තිබුණේ නෑ. ගාල්ල කොටුවේ ජැටියේ තමයි පුහුණුවීම් කළේ. පොල්වත්තමෝදර ගඟ ගියේ අපේ ගම පැත්තෙන්. ඒකේ පීනලා නාපු පුරුද්දක් පොඩි කාලේ ඉඳලම තිබුණා.


උසස් පෙළින් පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ පීඨයට තේරුණා. විශ්ව විද්‍යාලයේදිත් පිහිනුම්වලින් වාර්තා දෙක තුනක්ම තැබුවා. 


පාසල් කාලෙ හරියට පොතපත කියෙව්වා. නොකියපු පොතක් නැති තරම්. ගාල්ල  කියන්නේ සාහිත්‍යයට ලොකු ප්‍රබෝධයක් තිබුණු තැනක්. ඒ කාලේ නගර සභාවේ රුසියන් පොත් ප්‍රදර්ශන නිතර තිබුණා. ඒ නිසා පොත්පත් පරිශීලනයට අවස්ථාවත් තිබුණා.


මම විශ්වවිද්‍යාලය යන්න කොළඹට ආවා. ඒ දවස්වල රටේ යම් භීෂණකාරී තත්ත්වයක් තිබුණු නිසා විශ්වවිද්‍යාල පටන් ගන්න අවුරුදු 3-4ක් ප්‍රමාද වුණා. මේ කාලේ පුද්ගලික පාඨමාලා කීපයක්ම කළා. කොළඹ පුස්තකාලයට නිතර ගියා. ඒකේ තිබුණු පොත් ප්‍රදර්ශන, දේශන, සංගීත වැඩ සටහන්වලට සම්බන්ධ වුණා. මේ කාලයේදිම මම නීති ප්‍රවේශයට විභාගයත් ලියලා සමත් වුණා. 


මේ කාලයේදීම යාළුවකු මාර්ගයෙන් කේරි විද්‍යාලයේ අවුරුද්දක් උගන්වන්න අවස්ථාව උදාවුණා. මෙහෙම ඉද්දි යාළුවෙක් කිව්වා උප පොලිස් පරීක්ෂක තනතුරු සඳහා ඉල්ලුම් කරනවා කියලා. යාළුවට කිව්වා මටත් අයදුම්පත්‍රයක් ගෙනත් දෙන්න කියලා.  ඒ කිව්වේ පොලීසියට යන්න කිසිම අදහසින් නොවෙයි. ඒ වෙනකොට මගේ බිරිඳ සන්ධ්‍යා මගේ පෙම්වතිය. ඇයත් ගත් කටටම කිව්වේ ඒ තනතුරට ඉල්ලන්න කියලයි.
දැන් නීති  ප්‍රවේශය, විශ්වවිද්‍යාලය, පොලිසිය මේ තුනම කළමනාකරණය කරගන්න ඕනෑ. පොලිසියේ පුහුණුවීම්වලට ගියා. ඒක ඉවරවෙලා යද්දී විශ්වවිද්‍යාලය පටන් අරන් මාසයක් දේශන අතපසුවෙලා. හැබැයි ඒක ලොකු හානියක් වුණේ නෑ. 


 රැකියාවත් සමග අධ්‍යාපන කටයුතු කිරීම ටිකක් වෙහෙසකර වුණා. පළමු පත්වීම ලැබුණෙ ගම්පහට. දවස් කීපයකින් නිට්ටඹුවට යන්න වුණා. තව සති කිපයකින් අම්පාරට යන්න වුණා. ඒ කාලේ අද වගේ ඉගෙනගන්න අවස්ථා අඩුයි. මම ඉල්ලීමක් කලා පොලිස් මුලස්ථානයේ පර්යේෂණාගාර සැලසුම් අංශයට මාරුවීමක් ලැබුණා. ඊට පසුව ජනාධිපති ආරක්ෂක අංශයට යන්න වුණා. එතැන කාර්යබහුල වැඩියි. එදා හිටපු රත්නායක සහ නියෝජ්‍ය පොලිස්පති බාලසූරිය යන මහත්වරු මට අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දුන්නා. ඔය අතරෙ නැවත කුලියාපිටියට යන්න වුණා ඊට පස්සේ  ලොකු වෙහෙසක් දරන්න වුණා ඉගෙන ගන්න. හොඳ කළමනාකරණයක් කරගෙන ඉගෙන ගත්තා. වාණිජවේදී විශේෂ උපාධියත් ලබා ගත්තා. නීතිඥයෙකු ලෙසත් දිවුරුම් දුන්නා අද රටේ ඉහළ ක්ෂේත්‍රවල හුඟක් ඉන්නේ මගේ සමකාලීනයන්. 

 


■ මෙසේ දුෂ්කරතා අභියෝග මැද පැමිණි ඔබ වෘත්තීය ජීවිතයත් ජයගත්තා නේද? 
පියවරෙන් පියවර ඉදිරියට ආවේ. පොලිස් සේවයේ වගේම සමාජ සේවා 

කටයුතු බොහොමයකටත් ඒ අතර සම්බන්ධ වුණා. මුල්ලේරියාව සිංහ සමාජයේ සභාපති වුණා. මගේ වෘත්තිය තුළින් ලෝකයේ විවිධ රටවල පුහුණුවීම් ලබාගන්න ඒ හරහා බොහෝ අත්දැකීම් ලබා ගත්තා. වරක් මම ලයිබීරියාවට ගියා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට. 


ඒ වගේම අපේ රටේ ස්ථාපිත කරන්න  ගියා සාර්ක් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිරීක්ෂණය මධ්‍යස්ථානයක්. එහි ලංකාවේ ප්‍රධානියා හැටියට හිටියේ මම. ඒ හරහා මට අවස්ථාව උදාවුණ, බෙල්ජියමේ පැවැති ප්‍රධාන සැසියට සහභාගි වෙන්න. සියලු සාර්ක් රටවල් නියෝජනය කළේ මම. ඒක සුවිශේෂී අත්දැකීමක් මේ වගේ දේශීය විදේශීය අත්දැකීම් බොහොමයක් මගේ වෘත්තිය ජිවිතය තුළ තිබෙනවා.

 


■ ඔබ මේ වනවිට දරණ ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක’ තවනතුර ගැන මොකද හිතෙන්නේ? 
මුලින්ම මාධ්‍ය කොට්ඨාස අධ්‍යක්‍ෂ ලෙස සම්බන්ධ වුණේ. 2021 අගෝස්තු මාසෙ මාධ්‍ය ප්‍රකාශක ලෙස වැඩ භාරගත්තේ. රටේ හැම තැනම විරෝධතා තිබුණු අවස්ථාවක. මාධ්‍ය ඉදිරියට ඇවිත් ප්‍රකාශයක්  නිකුත් කරන එක ලොකු අභියෝගයක් වුණා. නමුත් විශාල කළමනාකාරිත්වයකින් කටයුතු කළා.


මම මාධ්‍යකරුවන් සමග ඇසුරක් තිබුණු කෙනෙක් නෙවෙයි නමුත් සියලුම මාධ්‍ය ආයතන මා සමග සුහදව කටයුතු කළා. අදටත් පැය 24ම ඔවුන් සමග සම්බන්ධ වෙනවා. අවශ්‍ය දේවල් මැදිහත් වෙලා. නිවැරදි දේ සමාජගත කරන්න කටයුතු කරනවා. 

 

 


■ ඔබ සංගීතයට බොහොම ප්‍රිය කරන කෙනෙක් නේද?
ගීත රසවිදින්න ආසයි. පාසල් ගිහින් ගෙදර ඇවිත් කෑම කන්නේ 2.30 -3.00ට ඒ වෙලාවට ගුවන් විදුලියේ හින්දි ගීත ප්‍රචාරය වුණා. ඒක හැමදාම මට ඇහුණා පසුව රස විඳින්න පුරුදු වුණා. මගේ ළඟ 1930 වගේ සිට හින්දි ගීත තුන් හාර දහසක එකතුවක් තිබෙනවා. ඒ කාලෙ එන හැම චිත්‍රපටයක්ම බැලුවා. හින්දි ගීත සංගමයේ එහි අනුශාසකවරයෙක් ලෙසත් කටයුතු කරනවා.

 


■ දරුවන් දෙදෙනා ගැන විස්තර කළොත් 
මගේ දුව කොළඹ බිෂොප් විද්‍යාලයට ගියේ. පුතා කොළඹ රාජකීය විදුහලට ගියා. එහි 2019 වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළේ පුතා.  
දෙන්නටම කුඩා කල සිටම තමන්ගේ වැඩ තනිවම කරගන්න පුරුදු කළා. හැමදේටම හුරු කළා. පොත්පත් පරිශීලනයට හුරු කළා. නව තාක්ෂණය පරිහරණයට දුන්නා. හැබැයි හැමවිටම ඔවුන් අපි දෙන්නගේ අධීක්‍ෂණය යටතෙයි හැදුනේ. නීති දානවට වඩා සාර්ථක ඔවුන් ගැන සෙවිල්ලෙන් සිටීමයි. වරදක් දුටු වහාම එය නිවැරදි කරන්න  ඕනෑ. ඔවුන් ගැන විපරමෙන් සිටින බව දැනෙන්න සලස්වන එකයි.  

 


■ ඔබේ බිරිඳ ගැනත් කියමු. 
ඇය හරිම  හරිම ක්‍රියාශිලී කාන්තාවක්.  ඔළුව කැක්කුමයි ඇඟට අමාරුයි කියලා කවදාවත් කියනවා ඇහිලා නෑ. කෙතරම් මහන්සි වුනත් දරුවො වෙනුවෙන් කැපවෙනවා. ගෙදර වැඩ උපරිමයෙන් කරනවා. දරුවන්ට ඉතා හොඳ නිවැරැදි ආදර්ශයක් බිරිඳගෙන් ලැබෙනවා. 


 අප ඉන්පසු මේ කතාබහට එක් කරගත්තේ නිමංසා තල්දුවයි. ඇයගේ සහෝදරයා නිමංසාගේ බාල සහෝදරයා මදාර තල්දූව මේ වනවිට එංගලන්තයේ උසස් අධ්‍යාපනය හදාරනවා. නිමංසාද මේ වනවිට බැරිස්ටර් විභාගය සඳහා එංගලන්තයට ගොසිනි. 


අප ඇගෙන් විමසා සිටියේ තම පියාගේ මතකයන් පිළිබඳවයි.


තාත්තා අපිව නිතරම යොමු කළේ තනියම වැඩ කරගන්න. ඒවගේම රසවින්දනය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාදුන්නා. ගෙදරදි අපිට රූපවාහිනියෙන් බලන්න දුන්නේ හොඳ රසවින්දනාත්මක වැඩසටහන්. 
තාත්තා කියපු දේ තමයි උදේ 7.30ට පාසල් ගිහින් 1.30ට එන මූසල පුරුද්ද  තියාගන්න එපා කියලා. අපි දෙන්නා කවදාවත් 1.30ට පාසලෙන් ආවේ නෑ. හැම අංශයකටම සම්බන්ධ වුණා. ක්‍රීඩා, සංගීතය, නාට්‍ය, නැටුම්, කථික තරග  හැමදේටම. ඉස්කෝලෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා තාත්තා කිව්වේ.


මට ඉංග්‍රීසි සිංහල හොඳට ලියන්න පුළුවන්. දෙමළ, හින්දි භාෂා කතා කරන්න පුළුවන්. අපි දෙන්නව පොත් ප්‍රදර්ශනවලට එක්කගෙන යනවා. පොත් අරන්දෙන්න හුඟක් වියදම් කළා. හැමතිස්සෙම කිව්වෙ දැනුම පුළුවන් තරම්  ලබාගන්න කියලයි. 

 


■ තාත්තා කාර්ය බහුලයි. ඔය දෙන්නාගේ වැඩවලට කොහොමද සම්බන්ධ වුණේ? 
අපි දෙන්නගෙම පාසල්වලට තාත්තා ආවෙ දෙමවුපිය රැස්වීමට හෝ විශේෂ උත්සවයකට විතරයි. අනිත් හැමදේම අපි තනිව කරගත්තේ. අපි කවදාවත් ඒ දෙන්නට කරදර කළේ නෑ. හැබැයි අවශ්‍ය දේට කිසි දවසක මඟහැරියෙත් නෑ.

 


■ තාත්තා ගැන ඔබට කොහොමද හිතෙන්නෙ?
තාත්තා කෙනෙක් හැටියට හැම යුතුකමක්ම ඉටුවුණා.  සියලු සැප සම්පතක්ම දුන්නා. කිසිම කෙනෙකුගෙන් යැපෙන්න එපා කියලා තාත්තා ඉගැන්නුවා.
මම කොහේ හරි යන්න ඇහුවම අදිමදි කරලා ඒත් අවසර දෙනවා. කිසිම දවසක තහංචි දැම්මේ නෑ. හැබැයි වරදක් නොකරන්න හිතෙන තරම් පෞරුෂයක් අපිට හදලා දුන්නා.  

 


■ තාත්තා පොලිස් නිලධාරියෙක්. ගෙදරදී කොහොමද?
හරිම ආදරණීය තාත්තා කෙනෙක්. හැබැයි සැරවෙන්න ඕන තැන සැරවෙනවා. උවමනාවට වඩා  සැර වෙන්නෑ. අම්මා නම් පොඩි දේටත් සැර කරනවා. කෑගහනවා. ඒත් ටික වෙලාවයි. තාත්තා මට කවදාවත් ගහල නෑ. හැබැයි අම්මා ගහල තියෙනවා. 

 


■ තාත්තාගේ ප්‍රශ්නවලදී මානසිකව  වැටුණු තැන්වලදී ඔයලත් එක්ක කතා කරනවාද?
රාජකාරි දේවල් කියල නෑ. පීඩනයක් දැනුනම අම්මා එක්ක කතා කරනවා. යම්කිසි දෙයක් ගැන තීරණ ගනිද්දී අපෙන් අහනවා. තීරණ ගනිද්දි අපේ පැත්තෙනුත් හිතනවා. 

 


■ තාත්තගෙයි අම්මගෙයි බැඳීම කොහොමද?
දෙන්නා වසර ගණනක ප්‍රේම සම්බන්ධයකින් විවාහ වෙලා තියෙන්නේ. තාමත් යාළුවෝ වගෙයි. දෙන්න හරි ආදරෙන් විනෝදෙන් ඉන්නේ. දෙන්නගෙම සිතුම් පැතුම් අදහස් එක සමානයි. ඒ බැඳීම හරිම සුන්දරයි. 
නිහාල් තල්දූව මහතාගේ බිරිඳ සන්ධ්‍යා තල්දූව පිළිබඳවද  සටහනක් තැබිය යුතුමය. 


ඇය සෙනෙහෙබර මවකි. ආදරණීය බිරිඳකි. ඇය රටම දන්නා නීතීඥවරියකි. ඇය ශ්‍රී ලංකා කාන්තා නීතීඥ සංගමයේ සභාපතිනිය ලෙස  2017 - 18 වසරවල කටයුතු කර  තිබේ. අවිස්සාවේල්ල කලාපයේ  සභාපතිනිය ලෙස 2021 වසරේ කටයුතු කර ඇත. ඇය තම සැමියා පිළිබඳ මෙලෙස පැවසුවාය. 


“මම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. මගේ වෘත්තීය වගකීම තේරුම් අරගෙන සියලුදේට උපරිමයෙන් ඔහු සහාය දෙනවා. සියලු අභියෝග ජයගන්න ශක්තිය දුන්නේ ඔහුයි. අපි දරුවන්  පාසලේ කටයුතුවලට වගේම සංගීතය, ක්‍රීඩාව සහ පොතපතට යොමු කළේ ඔවුන් දැනුමැති මිනිසුන් කරන්නයි. 


විශේෂයෙන්ම අපි ඔවුන්ට දහම් පාසල් අධ්‍යාපනය ලබාදෙන්න කොටපොළ අමරකිත්ති ස්වාමින් වහන්සේ ළඟට යැව්වා. දරුවෝ දෙන්නා දහම් පාසලෙන් ඉවත් වෙනතුරුම නොකඩවා දක්ෂතම සිසුන්බවට පත්වුණා. එය අපිට විශාල ආඩම්බරයක්.  


අපි දෙන්නටම ඕනෑ වුණේ දරුවො  ‘හොඳ’ මිනිස්සු කරන්නයි. කෙතරම් ලොකු තැනකට ගියත් වැඩක් නෑ මානුෂීයබවක් නැතිනම්. සමාජයේ ජීවත්වෙන්න දන්නේ නැතිනම්. අද දරුවො දෙන්නම නීතිඥවරුන්. අපි පවුලම නීතීඥවරුන්. ඉතින් මේ තරම් සතුටක් අම්මා කෙනෙකුට තවත් කොයින්ද? 

 


ශාන් බන්දු වීරසිංහ


 

තංගල්ල කාල්ටන් නිවසෙ   අවුරුදු Read Previous

තංගල්ල කාල්ටන් නිවසෙ අවුරුදු

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Next

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

Realted Post

Leave a comment