ලොවක් දන්න බ්‍රෑන්ඩ් එකක් හදපු හිතුවක්කාරයා

 

රටක් ලෙස අප මේ මොහොතේ සිටින්නේ ආර්ථිකය අතින් දරාගැනීමට අසීරුම මොහොතකයි. එහෙත් ලංකාව යනු දැනුම සහ හැකියාව අතින් පහළ මට්ටමක තිබෙන රටක් නොවේ. පහසුකම් සහ හොඳ මඟපෙන්වීමක් තිබෙනවා නම් ඒ දැනුම සහ හැකියාවන්වලින් ඕනෑ තරම් මේ රටට ප්‍රයෝජන ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ වගකීමක් ඇති ශක්තිමත් දේශපාලන රාමුවකි. මේ වනවිටත් අපේ රටේ විශාල ඩොලර් අර්බුදයක් පවතින බව රහසක් නොවේ. එම අර්බුදයෙන් දිනන්නට ඇති පැහැදිලි මාවතක් විදියට ඇඟලුම් ක්ෂේත්‍රය හඳුන්වා දිය හැකිය. මේ කතා කරන්න සූදානම් වන්නේ මේ වන විටත් ඇඟලුම් ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් ගිය ලංකාවේ ජනප්‍රියම ඇඳුම් සන්නාමයක අයිතිකරවකු ගැනයි. ඒ වටිනා සහ ජනප්‍රියම රෙදිපිළි සන්නාමයක් වූ  ඨකෙදජන නිර්මාතෘ රනිල් විල්අද්දරගේ යි. රටකට අවශ්‍ය කරන්නේ මෙවන් ව්‍යවසායකයින් ය. සාර්ථක ව්‍යවසායකයෙකු බිහිවන්නේ කොහොමද? ඒ සාර්ථකත්වය රටට වැඩදායී ලෙස යොදවන්නේ කොහොමද? මේ ගැන වගේම ඔහු ආ සාර්ථක ගමන් මඟ පිළිබඳවත් සිරිකත අප හා ඔහු අදහස් බෙදාගත්තේ මෙලෙසය.
අකුරැස්සේ ඉපදිලා ගොඩපිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන ඔහු ශිෂ්‍යත්වය සමත් වී වැඩිදුර අධ්‍යාපනය සඳහා පැමිණෙන්නේ කොළඹ රාජකීය විදුහලට. සහෝදරියන් දෙදෙනකු සමග පවුලේ එකම පිරිමි දරුවා වූ ඔහු රාජකීය විදුහලෙන් පිටතට එන්නේ සෑම කෙනකුගේම බලාපොරොත්තුව වන වෛද්‍ය වෘත්තිය, නීතිවේදය, ගුරු හෝ වෙනත් උසස් වෘත්තියකට පිවිසීමේ බලාපොරොත්තුවෙන් නොවේ. කුඩා කාලයේ සිටම වෙනස් විදියට සිතන්න පතන්න පුරුදු වූ නිසාදෝ එහි ප්‍රතිඵලයක් ලෙස අද ඔහු රටේ ඉහළ පෙළේ ව්‍යවසායකයෙකු ලෙස ජීවතය ජයගෙන ඇත.

 

 


Q “රටට ඩොලර් ගේන්න පුළුවන්” යැයි ඔබ කළ ප්‍රකාශයක් පසුගිය දිනවල මාධ්‍යවල පළවුණා. මොකද්ද මේ කතාව?
අපේ රටේ තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක් මම ගෙනාවා. එයට මේ  වන විටත් සාර්ථක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ ප්‍රතිචාර මත මේ වනවිටත් විදේශීය ශ්‍රී ලාංකිකයන්ගෙන් මගේ ඇඳුම්වල තිබෙන උසස් තත්ත්වයට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ දිනවල ඒ ඉල්ලුමට සරිලන සැපයුම් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. මේ දිනවල ඉතාමත් කාර්යබහුලයි. මොකද මෙය එක්වරම සිදුවුණු දෙයක්. ඒ ඉල්ලුම සමග අපි වෙනම පිටරටින් රෙදි ආනයනය කරලා ඒවා මෙහෙ ඩිසයින් කරනවා. ඇත්තටම ඒක ලොකු නිර්මාණශීලි වැඩපිළිවෙළක්. මේ දිනවල ඒ කටයුතුත් එක්ක මගේ අනෙක් සමාජ කටයුතුත් කරගෙන යනවා. 



Q ඔබ සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ ආරම්භක අතීතය කොහොමද?
මම ගමේ ඉස්කෝලේ ඉගෙනගත් කෙනෙක්. ශිෂ්‍යත්වය සමත්වෙලා කොළඹ රාජකීය විදුහලට පැමිණියා. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. ඔහු දැන් ජීවතුන් අතර නෑ. අම්මා රැකියාවක් කළේ නෑ. මට ඉන්නේ අක්කලා දෙන්නෙක්. 


මම පොතපතට ඇබ්බැහිවුණු, ගිරව් වගේ කටපාඩම් කරන අධ්‍යාපනයකට කැමතිවුණු කෙනෙක් නෙවෙයි. ඒ ක්‍රමයෙන් ටිකක් ඈත්වෙලා නිතර සෙල්ලම් කරලා සැහැල්ලුවෙන් හිටිය ජීවිතයක් මට තිබුණේ. කොළඹ පරිසරයේ මට යාළුවෝ විශාල පිරිසක් සිටියා. ඒ අතරේ සිංහල විතරක් නෙවෙයි මුස්ලිම් දෙමළ හැම චරිතයක්ම, ඒ වගේම ඒ අය එක එක පැතිවලින් කොළඹට ඇවිත් හමුවුණු අය. සමහර වෙලාවට ඒ අයත් එක්ක විනෝදෙන් ඉන්නවා වගේම ගැටුම් ඇතිකර ගත් අවස්ථාත් තිබුණා. මට තිබුණේ ඒ විදියේ ගැටීම් ඇලීම් තිබුණු ජීවිතයක්. ඒ ජීවිතේට තමයි මම ආස කළේ. එහෙම නැතිව පන්තියේ පළවෙනියා වෙන්න, කැපී පෙනෙන්න, ජනප්‍රිය වෙන්න ඕන කියන හැඟීම මට හරිම අප්‍රසන්න වෙලා තිබුණු දෙයක්. ඒ ජීවිතේ කිසිම විවිධත්වයක් නෑ. ඒ නිසා ගෙදරින් වගේම සමහර මගේ යාළුවන්ගේ අම්මලාගෙන් වුනත් මට හොඳ පිළිගැනීමක් තිබුණේ නැහැ. මාව ආශ්‍රය කළොත් හොඳට පාඩම් කරල වැඩ කරන කෙනත් නොමඟ යන මට්ටමින් තමයි යාළුවන්ගේ අම්මලත් මාව දැක්කේ. 


නමුත් මට අද තමයි තේරෙන්නේ ඒක එහෙම වුණු නිසා තමයි අද මම මෙතන ඉන්නේ කියන එක. මට තිබුණු මානුෂීය දැනුම තමයි අද මම ව්‍යවසායකයෙක් බවට පත්කරලා තියෙන්නේ. ගිරව් වගේ කටපාඩම් කරලා පොතපතින්ම ඉස්සරහට යන්න හිතුවා නම් අද මේ නිර්මාණශීලී මනුස්සයා මගේ ඇතුළෙ මැරෙන්න ඉඩ තිබුණා. එහෙනම් මාත් අද කොහේ හරි කවුරුන් හෝ කෙනෙක් යටතේ රැකියාව කරගෙන සිටින අයෙක්. 
පාසලෙන් උසස් අධ්‍යාපනය අවසන් කලාට පස්සේ මට විශ්ව විද්‍යාලයට යන්න තරම් සුදුසුකම් තිබුණේ නැහැ. විශ්වවිද්‍යාලයට යන්න නොලැබුණු එක මගේ වාසනාවකට වුණු දෙයක් කියලයි මම අද හිතන්නේ. එහෙම වුණා නම් තවත් වසර හතරක් පහක් විතර කාලයක් මට අහිමි වෙනවා. මගේ පන්තියේ හිටිය හැමෝම වගේ උසස්ම විදියට සමත් වුණා. මම තමයි ඒ කණ්ඩායමේ හිටිය පහළම ළමයා. 
අන්තිමට මම ඇඟලුම් ක්ෂේත්‍රයට යන්න තීරණය කළා. ඒ ගත් තීරණයට ගෙදරින් පවා දොස් පැවරුවා. මේ තරම් මහන්සි වෙලා වියදම් කරලා ඉගැන්නුවේ අන්තිමට ගාමන්ට් යන්නද කියන විරුද්ධත්වය ආවා. නමුත් මොකද්දෝ පූරුවේ කුසලයකට මම තේරුම් ගත්තා මගේ හැකියාව තියෙන්නේ මෙතනයි කියලා. ඒ නිසා මම කිසිම බයක් නැතිව ඇඟලුම් ක්ෂේත්‍රය තෝරා ගත්තා. ඒක ඇතුළෙ මට අවශ්‍ය සියල්ල ඉගෙනගත්තා. ඒ ආව ගමන තමයි අද මේ සාර්ථකත්වයට හේතුව.

 

 


Q බොහෝ මවුපියන් විශාල මුදලක් වියදම් කරලා දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබා දෙන්නේ හොඳ වෘත්තිකයෙක් වෙන්න? නමුත් රැකියාවක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන්නේ බොහොම අතළොස්සකට. රටකට අවශ්‍ය වන්නේ එවැනි නිර්මාණකරුවන්. කොහොමද එවැනි නිර්මාණකරුවෙක් බිහිවෙන්නේ?
මවුපියන් පමණක් නොවෙයි මූලිකවම ඒකට අවට පරිසරය බලපානවා. මවුපියන් එයට දායක වෙන්නේ සීයට පනහකින් පමණයි. ඉතිරි සියයට පනහම දායක වෙන්නේ අප අවට පරිසරය යි. විශේෂයෙන් ව්‍යවසායකයෙක් බිහිවෙන්න රජය නිර්මාණය කර තිබෙන සාමාජීය ක්‍රමය, දේශපාලන ක්‍රමය, ආර්ථික ක්‍රමය සහ සංස්කෘතිය වැනි දේවල් සෘජුවම බලපානවා. මානව සංවර්ධනය මතයි එය නිර්මාණය වන්නේ. මවුපියන්ගේ පැත්තෙන් ඒ ගැන කතා කරනවා නම් බොහෝ මවුපියන් තුළ ආත්මාර්තකාමී මමත්වයක් තිබෙනවා. ඔවුන් දරුවන්ට ආදරෙයි. නමුත් වැඩි දෙනෙක් තමන්ගේ දරුවා ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේරුවරයෙක්, නීතිඥයෙක් කියලා කියන්න තියෙන්නේ පුදුම ආසාවක්. ඒ නිසා දරුවන්ගේ හැකියාව කැමැත්ත, දක්ෂතාව මොකක් වුනත් තමන්ගේ හීන දරුවන්ගේ ජීවිතවලින් ගොඩනඟාගන්න මවුපියන් උත්සහ කරනවා. එය සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක්.
තාත්තා හෝ අම්මා නීතිඥාවරයෙක් නම් දරුවත් ඒ මඟම එක්ක යන්න දෙමාපියෝ උත්සහ කරනවා. ඒක මම දකින්නේ දෙමාපියෝ ලබන ආත්මාර්තකාමී සතුටක් විදියට. එතැනදි විය යුත්තේ මවුපියන් දරුවගේ ජීවිත විලාසිතාව (ඛසfැ ිඑහකැ*, ඔහුට ආවේණික හැකියාව හඳුනා ගැනීමයි. සමහර දක්ෂතා අරන් එන්නේ සංසාර පුරුදුවලින්මයි. නමුත් ඒවා මතුකර ගන්න දරුවන්ට අවස්ථාව ලැබෙන්නේ බොහොම අඩුවෙන්. දරුවෙක් දක්ෂ මොන අංශයටද කියලා දැනගන්න මවුපියන්ට පොඩි වෙහෙසක් දරන්න වෙනවා. විවිධ අංශවලට යොමුකරලා දරුවා වැඩිපුර දක්ෂ මොන පැත්තටද කියලා පරීක්ෂා කරන්න ඕනෑ. ඒ අතරින් දරුවා වැඩිපුරම කැමැත්තක් දක්වන අංශයට දරුවෙක් යොමුකරන්න හැකි නම් අනාගතයේදී වෙනසක් කරන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරගන්න පුළුවන්. 


විශේෂයෙන් ළමයෙක් කොටු කරගෙන හදන එකට වඩා සමාජයට විවෘත වෙන්න ඉඩ දෙන්න පුළුවන් නම් සමහර වෙලාවට දරුවන්ම දරුවන් කැමති පැත්තට යොමුවෙනවා. සමාජය දකිද්දි, ඒත් එක්ක ගැටෙද්දි ස්ව ශක්තියෙන් ඒ අය ඒක හොයාගන්නවා. ප්‍රධානම දේ තමයි සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරවෙලා ළමයෙක්ගේ ෆැෂන් එක හොයාගන්න එක. මවුපියන්ගේ පැත්තෙන් විය යුත්තේ එයයි. රජය පැත්තෙන් විය යුත්තේ ඒ හැකියාවන්වලට සමාජය තුළ වටිනාකමක් නිර්මාණය කිරීම. මේ දෙකම එකට සිදු වුනොත් කවදහරි දවසක හොඳ ව්‍යවසායකයෙක් බිහිවෙයි.

 


Q අද වනවිට බොහෝ ව්‍යාපාර හිමියන් අපහසුතාවට පත්වෙලා. එවැනි අවස්ථාවකදී ව්‍යාපාරිකයෙක් තමන්ගේ කටයුතු සැලසුම් කළ යුත්තේ කොහොමද?
අපි පරාර්ථකාමී සිතුවිල්ලකින් යම් දෙයක් කරනවාද එහි ප්‍රතිඵල අනෙක් පැත්තට අපට ලැබෙනවා. මම ඒක විශ්වාස කරන දෙයක්. ආර්ථික ප්‍රශ්නය ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒවා තමයි අභියෝග කියන්නේ. අපි සැලසුම් කරන්න ඕනෑ අභියෝගාත්මක අවස්ථාවකදී වුවත් හොඳම දේ පාරිභෝගිකයන්ට ලබා දෙන්නයි. ඒ වගේම විශේෂම දේ අවස්ථාවට ගැළපෙන විදියට එය ලබා දෙන්නේ කොහොමද කියලා සැලසුම් කිරීම. ව්‍යවසායකයෙක් කියන්නේ යම්කිසි විශේෂ හැකියාවක් තියෙන කෙනෙක්. එහෙම නම් කරන්න තියෙන්නේ නැහැ, බැහැ, අමාරුයි කියලා අතාරිනවාට වඩා තමන්ට තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන අරන් ව්‍යාපාරය ගොඩනඟා ගැනීමයි. 

 

 


සටහන : නයනා උදයංගනී


 

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක් Read Previous

සිරැරේ හැඩයට සාරි බ්ලවුසයක්

තන්තිරිමලයට යන පාරේ  මල් විකුණන ළියන්ගේ  ආයාචනය ... Read Next

තන්තිරිමලයට යන පාරේ මල් විකුණන ළියන්ගේ ආයාචනය ...

Realted Post

Leave a comment