සම වෙන්න නෙමෙයි නිසි තැන ඉන්න

" මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය" යන්න අප කවුරුත් දන්නා පැරණි කියමනකි. එයින්ම කෘෂිකර්මාන්තයේ පවතිනා වටිනාකම කොතරම්ද යන්න අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒ අනුව සිරිකත Online මෙවර කතාබහ  කෘෂිකර්මාන්තය තම ජීවන අවිය කරගත් දිරිය කතක්  පිළිබඳවයි. 

ඔබ නමින් චාන්දනී දිසානායක ඔබ ගැන කෙටි විස්තරයක් කරොත් ?
මම ජීවත් වෙන්නේ  අම්පාර දිස්ත්‍රික්කයේ රජගලතැන්න ගමේ. මං මේ වෙනකොට  ව්‍යවසායිකාවක් විදිහට කටයුතු කරනවා.

ව්‍යවසායිකාවක් විදිහට ඔබ තෝරා ගත් ක්ෂ්‍රේත්‍රය ගැන කිව්වොත් ?
මං මුලින්ම ව්‍යවසායිකාවක් වෙන්න තීරණය කළේ බෝග වගාව මුල් කරගෙන.  මගේ ගෙවත්ත ඉතාමත් අලංකාර අංග සම්පූර්ණ විදිහට වගා කරලා තියනවා. මං බෝග වගාව කරගෙන යන්නේ කාබනික වගාවක් විදිහට. මගේ නිවසට අවශ්‍ය සෑම දෙයක්ම මගේ ගෙවත්තෙන් ලබා ගන්නවා සහ අලෙවි කිරීමත් සිඳු වෙනවා. මෙතනදි තමයි මම ව්‍යවසායිකාවක් වෙන්න තීරණය කළේ.

බෝග වගාවට අමතරව ඔබ යොමු වූ වෙනත් ක්ෂ්‍රේත්‍ර  තිබෙනවාද? 
ඔව් ගොඩක් ක්ෂ්‍රේත්‍රයන් තියනවා. ඒ ක්ෂ්‍රේත්‍රයන් වලට යන්න හේතු වුනේ මගේ ගෙවත්ත. මේ වගා කරන බෝග මං නිෂ්පාදනයක් විදිහට වෙළඳ පොළට නිකුත් කරනවා. එහිදී පිටිකළ ඉරිඟු , කුරක්කන් වෙගේම ලුණු දෙහි නිෂ්පාදනයත් සිඳු කරනවා. ඒ වගේම අතිරික්ත කොස්, දෙල්, මඤ්ඤොක්කා වියලා ඇසුරුම් කර අලෙවිය සිඳු කරනවා. මේ ආකාරයට බෝග වගාවට අමතරව වෙනත් නිෂ්පාදන වලටත් මම යොමු වෙනවා.

මේ ක්ෂෙත්‍රයේ ඔබ ලබන ප්‍රතිලාභ මොනවගේද ?
ඇත්තටම මට මගේ නිවසට අවශ්‍ය සියලුම දේවල් වස විසෙන් තොරව ගෙවත්තෙන් සපයා ගන්න පුළුවන්. එම නිසා මට වෙළඳපොලට යාමට අවශ්‍යතාවයක් නෑ. මගෙ නිවසේ සෑම දෙයක්ම මා විසින්ම නිෂ්පාදනය කරගන්නවා. ඒ වගේම  ගෙවත්තෙ වගා කරන දේවල් සහ සංරක්ෂණය කර ගන්න ආහාර වර්ග මම හොඳ මිලකට අලෙවි කරනවා. එයින් මගේ පවුලේ ආර්ථියත් ශක්තිමත් වෙනවා.

නිවසේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න ගෘහනියගෙන් ලැබිය යුතු සහය මොනවගේද ?
ආර්ථිකය ශක්තිමත් වෙන්න ගෘහනිය ඉහළ දායකත්වයක් සපයනවා. ගෙදරක අම්මට ලොකු වගකීමක් තියනවා. පළමුවෙන්ම දරුවන්ගෙ පෝෂණ තත්ත්වය ගැන හිතලා පෝෂ්‍යදායි ආහාර සපයා ගැනීමට  පසුබිම සකස් කර ගැනීම වැදගත්. ඒ වගේම පවුලේ ආර්ථික කළමණාකාරිත්වය අත්‍යාවශ්‍යයි.  අරපිරිමැස්ම කියන එක ඉතාම හොඳින් කරගෙන යන්න ඕන. ගෘහනියක් විදිහට මං දැන් ඒ තත්ත්වය උදා කරගෙන තියනවා.

කාන්තාවක් විදිහට ඔබ විවිධ භූමිකා නියෝජනය කරනවා. ඒ භූමිකාවන් සමබර කරගන්නෙ කොහොමද?
මම විශේෂයෙන්ම ගෘහනියක් ,මවක්,කාන්තාවක් විදිහට  සමාජයේ කැපීපෙනෙන විදිහට වැඩ කරගෙන යනවා. මට ඒක ඉතාමත් ආඩම්බරයෙන් කියන්න පුලුවන් . 

මම හොඳ සමාජ සේවිකාවක් විදිහට ගම තුළ වැඩ කරනවා. විවිධ සමිති සමාගම්, රාජ්‍ය නිලධාරීන් ඒ වගේම සමාජ සේවක් සේවිකාවන් , අසල්වැසියන් පූජ්‍ය පක්ෂය මේ සියලු දෙනා සමඟ මං වැඩ කරනවා. මෙතනදි මට සියලු දෙනාම ලොකු සහයෝගයක් ලබාදෙනවා. එම නිසා මං තව තවත් උනන්දුවෙන් ආශාවෙන් ඒ වැඩ වල නිරත වෙනවා.  මගේ ඉලක්කය වෙන්නෙ හැමදේම  වෙලාවට නිසියාකාරව කළමනාකරණය කරගෙන එදිනෙදාට තියන වැඩකටයුතු සම්පූර්ණ කරන එක.

ජීවිතේ පසුබහින්න හිතුන අවස්ථා නැද්ද ?
ඇත්තටම වැඩකරගෙන යනකොට නොයෙක් ගැටළු වලට මුහුණ දෙන්න සිදුවුන අවස්ථාවන් තියනවා. නමුත් මම මේ දේ කළ යුතුයි පසුවට කල් දාන්න හොඳනෑ කියන දැක්මත් එක්ක වැඩ කරගෙන අධිෂ්ඨායෙන් උත්සහයෙන් ඉදිරියටම යන්න තමා මගෙ බලාපොරොත්තුව. 

ඔබ ව්‍යවසායිකාවක් විදිහයට රැකියා අපේක්ෂිත තරුණ පිරිසට ලබා දෙන්න පණිවිඩයක් ඇති ?
ඔව් හොඳ පණිවිඩයක් දෙන්න තියනවා. මං බිරිඳක් හැටියට පවුලේ ආර්ථිකයට ලොකු දායකත්වයක් සපයනවා. එතකොට මට මගේ තරුණ දරුවන්ට කියන්න තියෙන්නේ තමන් යම් දෙයක් ඉලක්ක කරගෙන ඉන්නවනන්  එතෙන්ට තමන්ට යන්න ඕනි නන් අනිවාර්යෙන්ම තමන් තුළ උත්සාහය කැපකිරීම ගොඩනඟා ගන්න ඕන. හැම කෙනෙක්ටම හීනයක් තියෙනවා.ඒ හීනෙ හැබෑ කරගන්න තමන් දැනගෙන මහන්සි විය යුතුයි. 

කවුරු හරි කෙනෙක් දෙනකන් කරනකල් ඉන්නෙ නැතුව තමන්ගෙ හීනය කරා යන්න තරුණ දරුවන් විශේෂයෙන් ම උනන්දු වෙන්න ඕනි. තමන්ට තිබෙන තරුණ ශක්තියෙන් ජවයෙන් අපේ රටේ  සම්පත් වලින් ප්‍රයෝජන අරගෙන විශේෂයෙන්ම, කෘෂිකර්මාන්තයට යොමු වීම ගොඩක් වටිනවා. තමන්ගේ අනාගතය ශක්තිමත් කරගන්න කෘෂිකර්මාන්තය කියන්නෙ හොඳම ක්ෂ්‍රේත්‍රයක් කියන්න පුළුවන්.

අප දකින ආකාරයට කාන්තාව කියන භූමිකාව සමාජය ඇතුලෙ සැකසෙන්න  ඕන කොහොමද? 
කාන්තාව හැම වෙලාවෙම හිතන්න ඕන නිසි තැන ඉන්න. සම වෙන්න උත්සහ කරන එක සුදුසු නැහැ. පුරුෂයාට නිතැතින්ම  එයා උසස් කියන තැන දීලා තියෙනවා. එතකොට කාන්තාවන් වන අපිට සමවෙන්න බැහැ. අපිට නිසිතැන ලැබුණාම ඇති. නිසිතැන  කියලා කියන්නේ අපිට සමාජයෙන් ලැබෙන්න ඕන ගෞරවය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි.

 හේතුව තමයි කාන්තාව සෑම දේකින්ම පීඩනයට, කළකිරීමට,දූෂණයට හිංසාවට පත් වන අවස්ථා බොහොමයි.  කාන්තාව සෑම විටම සමාජය තුළ ආත්ම විශ්වාසයක්,ආත්ම ශක්තික් ගොඩනගා ගත යුතුයි. තාමන්ගෙ ගෞරවය පවත්වාගෙන  සමාජය තුළ තමන්ට අයිති වැඩ කොටස කරගෙන ගියොත් ඒ කාන්තාවට සමාජයෙන් නිසිතැන ලැබෙනවා.

 

පැය 24 පුරා දවස් 7 ම බඩ ඉල්ලන රසට Read Previous

පැය 24 පුරා දවස් 7 ම බඩ ඉල්ලන රසට

Miss International Sri Lanka Read Next

Miss International Sri Lanka

Realted Post

Leave a comment