සේරම අවුරුද්දට වියදම් කරලා පස්සේ හූල්ලන්න එපා

කිසිඳු උත්සවයක් හෝ දිනයක් අලුත් අවුරුද්ද තරම් මිනිසුන් තුළ උද්‍යෝගයක් ඇති කරන්නෙ නැහැ. පරිසරයත් අලුත් වන මේ වසන්ත කාලයේ බාල, මහලු, තරුණ සියලු දෙනාම අවුරුද්දට සූදානම් වෙනවා. මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ජාතින් දෙකක් එකතු වෙලා සමරන උත්සවයක් නිසා හින්දු භක්තිකයන්ට සහ සිංහල බෞද්ධයන්ට එකසේ වැදගත් වනවා. ඉතින් හැමදේම  අලුත්වන මේ අලුත් අවුරුද්දේ සිතිවිලිවලිනුත් අලුත් වීම වැඳගත්. සිරිකත Online මේ ලිපිය ඒ අලුතෙන් හිතන ඔබ වෙනුවෙන්.


අප්‍රේල් එහෙමත් නැත්තම් බක් මාසය අස්වනු රැස්කර ගන්නා කාලය නිසා වී වගාව බහුලව පැවති ශ්‍රී ලංකාවට වැනි රටවලට සමෘද්ධිමත් කාලයක්. මෙවන් සමයක අලුත් අවුරුද්ද යෙදෙන බැවින් ජනතාවට අගහිඟයකින් තොරව අවුරුද්ද සැමරීමට අවස්ථාව සැලසෙනව. මේ කාලය ඍතු අතර විශේෂ වන නිසා ඍතුරාජ කියලත් හඳුන්වනවා. ඉතින් බක් මාසයට යෙදෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද අතීතයේ සිටම විවිධ සිරිත් විරිත් සහ විශ්වාස සමග බැඳිල තියෙන්නේ. 

සිංහල හින්දු අලුත් අවුරුද්ද කිව්වත් සිංහල මිනිසුන් බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් අවුරුදු සිරිත් විරිත් ඉටු කිරීමට පුරුදු වෙලා ඉන්නව. හින්දු ආගමට අනුව සාමයට අධිපති කුමරා ලෙස විශ්වාස කරන්නේ ‘ඉන්ද්‍රදේව‘ කුමාරයාය. මේ කුමාරයා පොළවට සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම නව අවුරුදු උදාව වශයෙන් සැලකෙනවා. ඇතැම් ප්‍රදේශවල මෙම චාරිත්‍රවාරිත්‍ර ක්‍රම ඉතා ස්වල්ප වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. අලුත් අවුරුද්ද ජාතික උත්සවයක් වුණත් එය ආගමික මුහුණුවරකින් සැමරීමට සිංහල ද්‍රවිඩ දෙපක්ෂයම පුරුදු වෙලා ඉන්නවා. 

මේ කාලයේදී ආගමික චාරිත්‍රවල නිරත වෙමින් ඉටු දේවතා නමස්කාරයේ යෙදීම එළඹෙන්නා වූ සුබ මොහොතට සුබ ඵල ගෙන දෙන ආකාරයෙන් ධර්මානුකූලව ගත කිරීමට මග පෙන්වීමක් ලබා දෙයි. සදාචාරය වෙනුවට විෂමාචාරවලට මිනිසා යොමු කරවන මේ යුගයේ මිනිසා මෙහෙයවන මේ වගේ කාලයක ඔවුන්ගේ සිත් සතන් ආගමික සිතුවිලිවලින් පහන් කිරීමට පුණ්‍ය කාලයේදී ලබාදෙන මේ මග පෙන්වීම හරි වැදගත්.

නොනගතයේ අපර කාලයෙදි තමයි අලුත් අවුරුද්ද උදාවෙලා නැකතට වැඩ කරන්නේ. එහෙම බැලුවහම වාසනාවන්ත අවස්ථාවක්. ඒත් අද මේ අවස්ථාවත් බොහෝ අය විහිළුවක් කරගෙන. පළාතම දෙවනත් වෙන්න රතිඤ්ඤා පත්තු කරනවා. නියම අරුත යටපත් කරමින් හරසුන් ක්‍රියාකාරකම්වලට තමයි මුල් තැන දීල තියෙන්නේ. කිසිම අවුරුදු නැකතකට වැඩ නොකරන ගොඩක් අය කරන්නේ නැකත් වෙලාවට ගිනි කෙළි සෙල්ලම් කිරීම. ජීවිතේ අලුතින් පටන් ගන්නෙම සොබාදහමට වසවිෂ එකතු කරමින්. සොබාදහම, සතා සිව්පාවා බිය වද්දමින්. ඔබ නිවසේ සුරතලට ඇති කරන සතුන් මේ දවස්වලට කොතරම් අසරණ වෙනවද කියල සිහිපත් කළොත් මම කියන මේ කාරණය හොඳින් වැටහේවි. 

නැකැත් වෙලාවට මිනිස්සු මේ ගිණි තියලා දාන්නේ තමන් වෙහෙස මහන්සියෙන් හොයාගත්ත මිල මුදල් නේද කියල කෙනෙකුට හිතෙනව නම් එයාට මම හිතනව අවුරුද්ද අලුතින් පටන් ගන්න පුළුවන් කියල. අවශ්‍යම නම් ඒ වෙලාව සංකේතවක් කරන්න සුළුවෙන් මේ දේවල් කරන්න පුළුවන්.

ගමෙන් නගරයට ඇවිල්ල හුදකලා අවිවේකි දිවි පෙවතක් ගෙවන අය තමන් උපන් ගම් බිම්වලට ගිහිල්ල මව් පිය නෑදෑයන් හමුවෙලා අවුරුදු සැමරීම අදටත් අපට දකින්න පුළුවන්. මේ අවුරුද්ද වෙනුවෙන් සිදුවන රාශි මාරු වීම අපට නොපෙනුනාට ඒ වෙනුවෙන් මිනිසුන් සූදානම් වෙන ආකාරය, අවුරුදු සමරන ආකාරය අපට ඇහැට දකින්න පුළුවන්. ඒ නිසා වැදගත් වෙන්නේ ජ්‍යෝතිෂ කාරණයට එහා ගිය මේ සංස්කෘතික බැදීමයි.

අතීතයේ අවුරුදු සැමරීම සශ්‍රීකත්වය මුල් කරගෙන සිදු වුණේ. ඒ වගේම අතීතයේදී ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට සශ්‍රීකත්වය තිබුණා. කෘෂිකාර්මික රටක් නිසා හැම ගෙදරම වගේ අස්වනු නෙළල ගෙට ගන්න කාලය මේ. ඒ හින්දා අලුත් අවුරුදු සැමරීමට ප්‍රායෝගිකව මිනිස්සුන්ට අවශ්‍ය වටපිටාව සකස් වුණා. කැවුම් කොකිස් වගේ කැවිලි පෙවිලි හදන්න අවශ්‍ය හාල්, පොල්, තෙල් වගේම දර ගින්දර වුණත් තමන්ගෙ වටපිටාවෙම තිබුණා. ඒ නිසා ඒ කාලෙදි චාරිත්‍රයක් විදිහටත් වඩා, අස්වනු කපලා තමන්ගෙ අතට මිල මුදල් ලැබුණම සරල ජීවිතයක හිටිය මිනිස්සුන්ට විවේකය, මානසික නිදහස තිබුණ අවුරුදු සමරන්න.ඉතින් ජීවිතේ අලුත් වීමේ ඇත්තම සතුට සමරන්න ඒ මිනිස්සුන්ට පුළුවන් වුණා.

ඒත් අද වෙද්දි මිනිස්සු අවුරුද්ද සමරන්නේ ඇත්තටම සතුටින් සමරන්න පුළුවන් නිසාද? කියන ප්‍රශ්නය මතු වෙනවා. ඇත්තටම එහෙම සතුටක් තියනවද? අද වෙද්දි අවුරුද්ද වාණිජකරණය වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා. 
අවුරුද්ද සමරන්න ඕනිම නිසා ණයට කාගෙන් හරි මුදල් ඉල්ලගෙන හරි ගෙදර දරුවන්ගෙ සතුට වෙනුවෙන්  හරි අලුත් ඇදුම් මිලට ගන්න කැවිලි පෙවිලි හදන අය අපි දකිනවා. මේ කිසි දෙයක් නැතිව හූල්ලමින් අවුරුදු දවසත් වෙනද වගේම ගෙවල දාන අයත් අපි දකිනවා. සල්ලි තියෙනව නම් හැමදාම අවුරුදු තමා. මෙහෙම මිනිස්සු කියන්නත් පුරුදු වෙලා ඉන්නවා.

ඒ වගේම මේ ලබන්නෙ අන්තිම අවුරුද්ද කියල හිතාගෙන රටේම තියෙන ඇඳුම්, තවත් ගෘහ උපකරණ ගෙදරට අරගෙන එන සුපර්මාර්කට් එකකින් මිලට ගත්ත කැවිලිවලින් විශාල කෑම මේස සරසලා සමාජ මාධ්‍ය හරහා අවුරුදු සමරන අය අපි දකිනවා. අවුරුදු දවස කියන්නේ මාධ්‍ය සන්දර්ශන නරඹමින් සතුටු වෙන තවත් එක දවසක් විතරක්ද කියලත් අපට හිතෙනවා.

මාධ්‍යවලින් තමයි මිනිස්සුන්ට අවුරුද්ද මතක් කරන්නෙ. කැවිලි හදන හැටි උගන්වන්නේ. ඇඳුම් පැලදුම්, ආහාරපාන අඩු මිලට ගන්න පුළුවන් තැන් ගැන දැනුවත් කරන්නේ. අවුරුදු වාසි ගැන සිහිපත් කරන්නෙ. මේවා දැක්කම මිනිස්සු ඉවක් බවක් නැතිව මේව පස්සෙ වැටිල දුවනවා. 
ගෙදර තෙල් තාච්චියක් ලිපේ තියල කැවුමක් හදල ඒ කැවුම නූලක ගැට ගහල කෝන්දුරුවො වගේ සත්තුන්ට කන්න වහළේ පැත්තක එල්ලනව දැකපු අවසාන පරම්පරාව අපි වේගෙන යනවා. අවුරුදු කෑම හදද්දි අපේ වැඩිහිටියෝ අපිට පුදුම තරම් ඉවසීම පුරුදු කළා. හාල් පෙගෙන්න දාලා පිටි කොටලා මිශ්‍රණය අනලා කැවුම් වගේම අනෙකුත් කැවිලි වර්ග හදනකම් ඒ සුවඳ විඳ විඳ රස බලන්න ඉවසීම පුරුදු කළා. ගෙදර පුංචි ළමයි එකතු වෙලා දඩබ්බරකමට මේ කැවිලි හදන තැන්වලින් හොරෙන් රහ බලන්න උපක්‍රම යෙදුවා. මාර්ටින් වික්‍රමසිංහගෙ ‘නරක් වූ පිටි බඳුන’ කෙටි කතාව මතක් වෙනවා මේ වෙලාවේ.

කල්‍යාණි විජේසුන්දර
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සිංහල අධ්‍යයනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය

වර්තමානය වෙද්දි සුපර්මාකට්වල අවුරුද්දටම හදපු කෘත්‍රිම පැරණි නිවසක ආකෘතික මුළුතැන්ගෙයක, වී බිස්සක ආකෘතියක අසල මනාව සිත්ගන්නා ආකාරයෙන් අසුරල තියෙන කැවුම්, කොකිස් විතරක් නෙමෙයි නමවත් නොදන්න කැවිලිවලින් අවුරුදු කෑම මේස පිරිල ඉතිරිල ගිහින්. ඒ්ත් අතීතයේ අපට මතකයි අවුරුද්දට හදන කැවිලි දාන්න වෙනමම ලොකු ඇලුමිනියම් තඹ භාජන ගෙවල්වල තිබුණා. සමහර ගෙදරක කැවුම් මුට්ටිය කියල ඒ් වගේ භාජන  නම් කරල පවා තිබුණා.

ඉස්සර ගෙවල්වල ලිතක් තිබුණා. අවුරුදු සිරිත් විරිත් ගැන ඒකේ විස්තර කරලා තිබුණා. අද අවුරුදු සිරිත් විරිත් කරන්නෙත් රූපවාහිනි, ගුවන්විදුලි වැඩ සටහන්වල කියන විදිහට. නැකත් මතක් කරන්නෙත් ඒ අය.
අවුරුද්ද ලබන්නත් කලින් ඉදන් දුරකතනවලින් සමාජ මාධ්‍යවලින් දැකලවත් නැති අයට සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්කට සුබ පතන එකම අවුරුදු වෙලා. විලාසිතාවක් වෙලාව. හැබැයි අල්ලපු ගෙදර දුකට සැපට ඉන්න පවුලට කෑම පිඟානක් දෙන්න සමහර අයට මතක් වෙන්නෙ නැහැ.

ඉතින් මේ විදිහට බැලුවම මිනිස්සු අවුරුද්ද කනව නෙමෙයි අවුරුද්ද මිනිස්සු කන තත්වයකට පත්වෙලා දැන්. මාසික වැටුප් ලබන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් අවුරුද්දට කලින් මාර්තු, අප්‍රේල්  මාසවල වැටුප් අරගෙන ඒ සේරම අවුරුද්දට වියදම් කරල මැයි මාසෙ පඩිය ලැබෙනකම් හූල්ලනවා.

ඒ අතර තවත් සමහරු ස්ව උත්සාහයෙන්ම නැගී සිටීමට උත්සාහ කරනවා. , අලුත් මානයන් සොයාගෙන යනවා, ආර්ථිකය ශක්තිමත් කරගැනීමට උත්සහා කරනවා. තවත් සමහරු තමාගේ  වැරදි නිවැරදි කර නොගෙන රටේ පාලනාධිකාරයට චෝදනා කරනවා.හැමදාම වගේ රටේ පාලනයට චෝදනා කරමින් විවේචනය කරමින් ඉන්නවට වඩා රටේ පුරවැසියන් විදිහට අපේ යුතුකම් ඉටු කිරීමට හිතන්න පුළුවන් නම් බොහො සෙයින් වටිනවා. මෙතනදි මම කිසිසේත්ම අදහස් කරන්නෙ නෑ ආණ්ඩුව නිර්දෝෂියි. ආණ්ඩුවට චෝදනා කරන එක විවේචනය කරන එක වැරදියි කියලා. ඒ චෝදනා විවේචන අතර රට ඉදිරියට අරගෙන යන්න රටක් කියන හැඟීමෙන් වැඩ කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව කියල මම විශ්වාස කරනව. අලුත් අවුරුද්ද ලැබුවත් අපි අලුත් අවුරුද්ද අලුතින් පටන් ගනිද්දි පරණ අවුරුදුවල ලැබුණ අද්දැකීම් ජීවිතයට පන්නරයක් කරගන්න පුලුවන් නම් හරි වටිනවා. ඒ හැම දෙයක්ම සුබවාදී විදිහට දකින්න පුරුදු වෙමු. එහෙම වුනොත් ජිවිතේ පහසුවෙයි. මේ අලුත් අවුරුද්ද විතරක් නෙමෙයි එළඹෙන හැම අවුරුද්දක්ම සුබ වෙයි.

අවසාන වශයෙන් මම හිතන්නෙ ජනමාධ්‍ය වගේම ජනමාධ්‍යවලට අදහස් ඉදිරිපත්  කරන අයගෙත් වගකීම තමයි ක්‍රමයෙන් පරිහාණියට යන මේ සිරිත් විරිත් නැවත සිහිපත් කරවීම. මේ සිරිත් විරිත්වල ගැබ්වෙලා තියෙන සංස්කෘතික හර පද්ධතිය සම්බන්ධයෙන් වර්තමාන සමාජයට අවබෝධ කරවීම කළ යුතු කාලයයි මේ එළඹිල තියෙන්නෙ.

සටහන - ජයනි ලක්ෂිකා

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද? Read Previous

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද?

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද? Read Next

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද?

Realted Post

Leave a comment