කලින් හඳුනාගත්තොත් සුව කළ හැකි පියයුරු පිළිකාව

ලංකාවේ මෙන්ම සමස්ත ලෝකය පුරාම පිළිකාවෙන් පීඩා විඳින රෝගීන් අතර, පියයුරු පිළිකා නිසා පීඩා විඳින කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් සිටී. දැනටමත් ඔබ එයින් පීඩා විඳින අයෙකු විය හැකියි. නැතිනම් මෙම පිළිකා තත්ත්වයේ මුල් අවස්ථාවේ සිටින කෙනකු විය හැකියි. ලෝක පියයුරු දිනය යෙදී ඇති ඔක්තෝබර් මාසයේ, සිරිකත අප සූදානම් වන්නේ මෙම පිළිකා තත්ත්වය ඇති නැති ඔබ සියලුදෙනාවම දැනුම්වත් කිරීමටයි.

 

පිළිකා වර්ග අතරින් කාන්තාවන් තුළ බහුලව දැකිය හැකි පිළිකා වර්ගය වන්නේ පියයුරු පිළිකාවයි. පියයුර කියන අවයවය නිර්මාණය වී ඇත්තේ මේද කොටස් සහ ක්ෂීර ග්‍රන්ථි, සම්බන්ධක පටක වලිනි. පියයුරු පිළිකා වැඩි ප්‍රමාණයක් හටගනු ලබන්නේ ක්ෂීර නාළ වලයි. එයින් යම් ප්‍රමාණයක් කිරි නිපදවෙන ග්‍රන්ථිවල හට ගනී. මෙයට අමතරව මෙම පිළිකා තත්ත්වය පියයුර හරහා කිහිල්ලේ ඇති වසා පද්ධතියටද පැතිරී යා හැකිය.  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම ඔක්තෝබර් මාසය පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් කළයුතු මාසය ලෙස හඳුන්වා දී තිබේ. ඒ නිසාම මේ මාසය පුරා අපේ රටේ විවිධ අයුරින් මේ පිළිබඳ සාකච්ඡා වන බැවින්, කාන්තා ඔබට ඒ පිළිබඳව දැනුම්වත් වීමට අවස්ථාව උදාවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පෙන්වාදෙන පරිදි, 2022 වර්ෂයේ දත්ත අනුව, අපේ රටේ කාන්තාවන් අතර සියලුම පිළිකා තත්ත්වයන් හඳුනාගත් කාන්තාවන් 19,457කි. ඒ අතරින් 5,477ක් පියයුරු පිළිකාවට ගොදුරු වූ කාන්තාවන්ය. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට විසිඅටකි. ඒ අතරින් බොහෝ පිරිසක් කලින් හඳුනා නොගත්, අවසන් අදියරේදී හඳුනාගත් රෝගීන් වේ. එම නිසා සම්පූර්ණයෙන් සුවපත් වීමට නම් පියයුරු පිළිකාව වේලාසනින් හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමු වීම ඉතා වැදගත් වේ.    

හඳුනාගන්නේ කෙසේද? 
පියයුරු පිළිකාවක් කලින් හඳුනා ගැනීමට ක්‍රම තුනක් තිබේ. එනම් ස්වයං පියයුරු පරීක්ෂාව, සායනික පරීක්ෂාව සහ ස්ක්‍රීනින් මැමෝග්‍රෑම් පරික්ෂාවයි. ස්වයං පියයුරු පරීක්ෂණය ලෙස අපි හඳුන්වන්නේ අවුරුදු විස්සට වැඩි සෑම කාන්තාවක්ම මසකට වරක් තම පියයුර හොඳින් පරීක්ෂා කිරීමයි. එසේ පරීක්ෂා කිරීමේදී තම පියයුරේ කුඩා වෙනසක් හෝ දැනුණේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කරගැනීම වැදගත් වේ. ඒ වගේම සායනික පරීක්ෂණයේදී අවුරුදු 40ට වැඩි සෑම කාන්තාවක්ම වසරකට වරක් සායනික වශයෙන් පියයුරු පරීක්ෂාවක් සිදුකරගත යුතුවේ. ස්ක්‍රීනින් පරීක්ෂාවක් මගින්ද  පිළිකාවක් පැමිණීමට පෙර දැනගැනීමට හැකියාව ලැබේ.

පියයුරු පිළිකාවක් කලින් හඳුනාගැනීමේ වැදගත්කම
පියයුරු පිළිකාවක් කල්තියා හඳුනාගැනීමෙන් කාන්තාවකට අත්වන වාසි රැසක් තිබේ. විශේෂයෙන් මූලික අවදියේ එය හඳුනාගැනීමෙන් නිට්ටාවට සුව කර ගැනීමේ හැකියාව පවතී. ඊට අමතරව ලොකු සැත්කමකට නොයා සුළු සැත්කමකින් එය සාර්ථකව සුවකර ගැනීමට හැකියාව ලැබේ. ඒ නිසා එය කලින් හඳුනා ගැනීමෙන් පියයුර මෙන්ම ජීවිතයද බේරාගැනීමට අවස්ථාව ලැබේ.

අවදානම ඇත්තේ  කාන්තාවන්ට පමණද?
මෙම පිළිකා තත්ත්වය ඇතිවන්නේ කාන්තාවන්ට පමණයි යැයි සමාජයේ වැරදි මතයක් පවතී. නමුත් එම මතය සම්පූර්ණයෙන්ම වැරදියි. මෙහි වැඩිපුර අවධානය තිබෙන්නේ කාන්තාවන්ට වුවත්, එහි තේරුම මේ තත්ත්වය පුරුෂ පාර්ශ්වයට අදාළ නැහැ යන්න නොවේ. පියයුරු පිළිකා කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද ඇතිවිය හැකියි. ඒ නිසා මේ දෙපාර්ශ්වයම වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වීම ඉතාමත් වැදගත්ය. 

 වයස් කාණ්ඩ මොනවාද?
වයස වැඩි වීමත් සමගම පියයුරු පිළිකා තත්ත්වය සෑදීමේ අවධානය වැඩි වේ. විශේෂයෙන් වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන් අතර පියයුරු පිළිකාව වැඩිපුර දක්නට ලැබෙයි. එසේ වුවද ඕනෑම වයසක කාන්තාවකට පියයුරු පිළිකාව වැලමේ අවධානය තිබේ. අවම වයස අවුරුදු 18 ද පෙන්වා දිය හැකි අතර, අවුරුදු 20න් පසු සෑම කාන්තාවක්ම පියයුරු පරීක්ෂා කරගත යුතු වන්නේ එබැවිනි. අධික තරබාරු කාන්තාවන්, පවුලේ මවට, සහෝදරියෙකුට හෝ පියයුරු පිළිකා වැලඳී ඇති පවුල්වල කාන්තාවන්, මත්පැන් භාවිත කරන කාන්තාවන්, වැඩි වශයෙන් විකිරණ වලට යොමු වන කාන්තාවන්, දරුවන් නොමැති කාන්තාවන්, අවිවාහක කාන්තාවන් මේ ඕනෑම අයෙකුට මේ තත්ත්වය ඇති විය හැකියි. ඒ නිසා වයස අවුරුදු 40 ඉක්මවන්නා වූ සෑම අයෙකුම මෙන්ම, සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 ඉක්ම වූ තරුණ කාන්තාවන්ද මේ තත්ත්වය තිබුණත්, නැතත් අවුරුදු 2කට වතාවක් වෛද්‍ය පරීක්ෂාවක් සිදුකර ගැනීම වැදගත් වෙයි. ඒ අතරින් විශේෂයෙන් පවුලේ කවුරුන් හෝ කෙනකුට කලින් මෙවැනි තත්ත්වයක් තිබී ඇත්නම් එවැනි පවුලක සිටින කෙනෙකු අවුරුද්දකට වතාවක් එවැනි පරීක්ෂණයකට යොමු විය යුතුයි. 

හඳුනාගැනීමේ රෝග ලක්ෂණ
පියයුරු පිළිකාවක් වැලඳී තිබේ නම් එහි රෝග ලක්ෂණ ලෙස පියයුර වටා යම් ගැටිති ස්වභාවයක් සහ ගන ස්වභාවයක් පෙන්නුම් කරයි. එමෙන්ම පියයුරෙහි ප්‍රමාණය හෝ හැඩයේ වෙනස් වීමක් වගේම තන පුඩුවෙන් යම් ශ්‍රාවයක් පිටවීමක්, තන පුඩුව ඇතුළතට ගිලී යාමක්, පියයුරේ මතුපිට සමේ පැහැය වෙනස් වීමක්, සම ඇතුළතට ගිලීයාමක්, සම මතුපිට දොඩම් ලෙල්ලක වැනි ස්වරූපයක් ගැනීමත් මෙම පියයුරු පිළිකා තත්ත්වයේ රෝග ලක්ෂණ ලෙස හඳුන්වාදිය හැකියි.

 

 

පියයුරු පිළිකාව                      සුව කළ හැකිද?
පියයුරු පිළිකාව නිසැකවම සුව කළ හැකිය. ඒ සඳහා එය කල්තියා හඳුනාගත යුතුය. ඒ නිසා එය කලින් හඳුනාගැනීමේ පියවරවලට නිරන්තර අවධානය යොමු කරමින් අවධානයෙන් පසුවීම ඉතා වැදගත් වේ. තාක්ෂණයේ දියුණුවත් සමග මේ වන විට තරුණ තරුණියන් බොහෝදෙනකු මේ පිළිබඳ දැනුම්වත් වගේම අවධානය යොමු කරයි. ඇත්තෙන්ම ඒ නිසා අපට මේ තත්ත්වය ආරම්භයේදීම ප්‍රතිකාර සඳහා යොමු විය හැකියි. මෙහිදී සිදුකරනු ලබන ප්‍රතිකාර ලෙස ශල්‍යකර්ම, පිළිකානාශකඖෂධ භාවිතය, විකිරණ ප්‍රතිකාර,හෝර්මෝන ප්‍රතිකාර දැක්විය හැකියි. විශේෂයෙන් ශල්‍යකර්මයක් මගින් පියයුර ඉවත් කරන අවස්ථාවේ හෝ එයින් පසුව පියයුර නැවත පෙර තිබූ තත්ත්වයට ආසන්න තත්ත්වයකට නැවත ප්‍රතිසංස්කරණය කළ හැකියි.
ස්ථිරවම ඔබට පියයුරු පිළිකාවක් ඇතැයි හඳුනාගත් විට, ඉස්සර මෙන් තනි තීරණයකට අනුව ප්‍රතිකාර නොකොට, දැන් එය සිදුකරනු ලබන්නේ වෛද්‍යවරු කිහිපදෙනකුගේ එකතුවීමක් තුළිනි. එය ලෝකයේම දැනට සිදුකරනු ලබන සාර්ථකම ප්‍රතිකාර ක්‍රමයකි. මෙය Multidisciplinary team approach ලෙස හඳුන්වනු ලැබේ. එහිදී මේ පිළිබඳ විවිධ ක්ෂේත්‍රයන් තුළ දැනුම ඇති වෛද්‍යවරුන්ගේ සාකච්ඡාව පරිදි රෝගියාට අවශ්‍ය හොඳම ප්‍රතිකාරය සිදුකරනු ලබයි.

  • නයනා උදයංගනී

 

සංස්කෘතික බැඳීම්  එකට එක්වුණු   Panama Read Previous

සංස්කෘතික බැඳීම් එකට එක්වුණු Panama

කාන්තා මුහුණේ රෝම වැවීම ගැටළුවෙන් ඔබත් පීඩා විඳිනවාද Read Next

කාන්තා මුහුණේ රෝම වැවීම ගැටළුවෙන් ඔබත් පීඩා විඳිනවාද

Realted Post

Leave a comment