සංස්කෘතික බැඳීම් එකට එක්වුණු Panama
ඔයත් ඇවිදින්න කැමති කෙනෙක් නම්, සරලවම කිව්වොත් ඔයාට තියෙන්නේ ට්‍රැවල් පිස්සුවක් නම් මේ කියන්න යන්නේ ඔබ අනිවායෙන්ම දැකිය යුතු, විඳිය යුතුම සුන්දර පැත්තක් ගැන. ඒ තමයි සංස්කෘතීන් කිහිපයක් එකට එකතුවුණු සුන්දර පානම. අපේ රට පුංචි දූපතක් වුණත්, මේ ලස්සන දූපත ඇතුළෙ එකිනෙකට වෙනස් සංස්කෘතීන් බොහෝමයක් දැකගන්න පුළුවන්. ඒ විවිධාකාර සංස්කෘතීන්වල එකතුවක් අපට පානමේදී දැකගන්න ලැබෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි පානම කියල කිව්වත්, නිවැරදිව උච්චාරණය කරනවා නම් මේ ප්‍රදේශයට පානව කියල තමයි කියන්න ඕනෑ. ඉතින් මේ අපූරු සංස්කෘතීන් එකට මිශ්‍ර වුණාම ඒ තුළ තිබෙන විවිධත්වය, අලුත් අත්දැකීම්, අදහස් උදහස් මේ සෑමදෙයක්ම අලුත් මිහිරියාවක් රැගෙන එනවා. එකිනෙකාගේ ආගම් ඇතුළෙ තියෙන එකිනෙකට වෙනස් චාරිත්‍රවාරිත්‍ර, භාෂාවේ වෙනස්කම්, ආහාරපාන ඇඳුම් පැලඳුම්වල විවිධත්වය, ජීවන රටාව මේ සෑම අත්දැකීමක්ම විඳගන්න පානමේදී අපට අවස්ථාව හිමිවෙනවා.
- පානම යන ගමන
පානම කියලා කියන්නේ නැගෙනහිර අන්තයේ පිහිටා තිබෙන අවසන් ගම්මානය කියල කියන්නත් පුළුවන්. යාල වනය හා සම්බන්ධ වී ඇති වනාන්තරය ආරම්භ වෙන්නේ මෙන්න මේ පානම කියන ගම්මානයෙන්. කොළඹ ඉඳලා නැගෙනහිර වෙරළබඩ පිහිටා ඇති පොතුවිල් හරහා පැමිණෙනවා නම් පානමට තිබෙන්නේ කිලෝමීටර් 339ක පමණ දුරක්. නිතර දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන මේ සුන්දර ප්‍රදේශය අවට පිහිටා තිබෙන වෙරළ තීරයේ ඇති ආකර්ෂණීය බව මොනතරම්ද කියලා කියනව නම් මේ ස්ථානයේ විදේශීය සංචාරකයන් ඉතාමත් සතුටින් නිතරම පැමිණෙනවා අපට දැකගන්න ලැබෙනවා.
- පානමේ වගතුග
පානම කියන්නේ වෙනස්ම අත්දැකීම් සමුදායක් එකතුකරන පරිසර පද්ධතියක්. වනාන්තරය, වෙරළ තීරය, විවිධ සංස්කෘතික පරිසරයන්, එකිනෙකා කතාකරන විවිධ භාෂාවන් මේ හැමදෙයක්ම කෙනෙක්ට අලුත් අත්දැකීමක් එකතු කරනවා. ඒ එකතුව නිසාම පානම් වැසියෝ බොහෝදෙනෙක් භාෂා කිහිපයකින්ම කතා කරනවා දැකගන්න පුළුවන්. මෙහි වාසය කරන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ වී ගොවිතැන. ඒ නිසා රජරට වැව් බැඳි රාජ්‍යයේදී අපට හමුවන ලක්ෂණ වගේම, වෙරළබඩ මුහුදු සංස්කෘතියේ ලක්ෂණත් අපට දැකගන්න ලැබෙනවා. මෙහෙම කියද්දි දැනටමත් ඔබට හිතෙනවා ඇති මේක පුදුම පැත්තක්නේ කියලා. ඔව් ඇත්තටම ඒ සිතිවිල්ල නිවැරදියි. ඒ වගේම තමයි මෙයාලගේ ආහාර සම්ප්‍රදායට විවිධ ආභාසයන් එකතුවෙලා තියන නිසා හරිම රසවත් සහ වෙනස් විදියේ ආහාර සංස්කෘතියක් මෙහිදී අපට විඳගන්න පුළුවන්. මේ පුංචි රටේ අපි කවදාවත්ම කාලා නැති, එයාලටම විශේෂ වූ කෑම වර්ග ගණනාවක් රසවිඳින්නත් මෙහිදී අවස්ථාව තිබෙනවා. සාමාන්‍යයෙන් ඇඹුල්තියල් කියන්නේ දකුණු පළාතට විශේෂ වූ මාඵ සැකසීමේ කලාවක් වුවත්, පානම වැසියන් එය වෙනම ක්‍රමයකට සකස්කර ගන්නවා. ඔවුන් අමු දිවුල් හිරමනයෙන් ගා මාඵවලට මිශ්‍ර කරලා ඔවුන්ටම ආවේණික විදියට මාළු ඇඹුල්තියල් සකස් කරගන්නවා. ඔවුන්ටම ආවේණික මෙවැනි තවත් කෑම වර්ග ගණනාවක් අපට මෙහිදී හඳුනාගන්න පුළුවන්.
- ඉතිහාස කතා
මේ පානම් පරිසරය ගොඩබිමට සම්බන්ධ වන්නේ එක් පැත්තකින් වීම එහි ඇති තවත් විශේෂත්වයක්. අද වන විට ග්‍රාමනිලධාරී වසම් කිහිපයක් දක්නට ලැබෙන මේ සුන්දර පානමේ පවුල් 3,500ක් පමණ ජීවත් වන බවද අපට අසන්නට ලැබුණා. 1818 පැවතුණ වෙල්ලස්ස කැරැල්ලේදී සටනට ආව ඌවේ සිංහල කැරලිකරුවන් පසුව මෙම පානම ගම්මානයේ සහ කුමන ගම්මානවල මුලින්ම පදිංචි වී ඇති බවට ජනප්‍රවාදයේ සහ පොතපතේ සඳහන් වෙනවා කියල තොරතුරු හෙළි වෙනවා. නමුත් මේ අය පදිංචි වෙන්න කලින් දඩයම ජීවනෝපාය කරගත් මිනිසුන් සහ ආදී මානව කොටසක් වශයෙන් සැලකෙන කන්පොත්තන් සහ නිට්ටෑවන් වැනි මානව පිරිස්ද මෙම ප්‍රදේශයේ වාසය කර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
- පානම යද්දි මේ තැන් අමතක කරන්න එපා
පානම යන ඔයා අමතක නොකර අනිවාර්යයෙන් යා යුතු තැනක් තමයි සීක්‍රට් පොයින්ට් කියල කියන්නේ. ඔබට ජීවිතයේ විවිධ පරිසර ස්වභාවයන් එක්ක ජීවත් වෙන්න ඕන නම් ඒකට හොඳම තැන තමයි පානම. විශේෂයෙන් සුන්දර වෙරළ තීරයත් මඟනොහැරිය යුතුම තැනක්. ලංකාවේ ලස්සනම කලපුවලින් එකක් වූ පානම කලපුව, වෙහෙරකම වෙහෙර මේ ගමනෙදී ඔබට මුණැසෙන තවත් ලස්සනම ස්ථාන විදියට හඳුන්වා දෙන්න පුළුවන්.
- නයනා උදයංගනී
Leave a comment