කල් යන කිරි සිහිනය ළං කරන ප‍්‍රතිකාර

විවාහ ජීවිතයට එළඹෙන සෑම යුවළකගේම එකම ප‍්‍රාර්ථනය කිරි සිහිනය සැබෑකර ගැනීමයි. එහෙත් දෙපළගේ යම් බාහිර හේතු මත ඒ සිහිනයට යම් යම්  බාධා එන්න පුළුවන්. එහෙත් නවීන වෛද්‍ය විද්‍යාවත් සමග කිරි සිහිනය බොඳ නොවී සාර්ථක කර ගැනීමේ මංපෙත් විවර වී තිබෙනවා.  

සාමාන්‍යයෙන් ෆෝලික් අම්ලය විවාහයට මාස තුනකට පෙර සිට දිනකට මිලිග‍්‍රෑම් එකක ප‍්‍රමාණයෙන් ගැනීම ආරම්භ කළ යුතුයි. එය වඩාත් වැදගත් වන්නේ දරුවාගේ කොඳුනාරටියේ සහ හිස්කබලේ  (spina bifida) එන ගැටලූ වළක්වා ගැනීම සඳහායි. ඒ වගේම  මව රුබෙල්ලා එන්නත ලබාගෙන සිටීමද වැදගත්. 

 

සරු නොවෙන හේතු මෙන්න 

විවාහක යුවළකට දරුවන් පමාවීමට විවිධ හේතු බලපානවා. එය වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ ‘මඳ සඵලතාවය හෙවත් මඳසරුභාවය’ ලෙසයි. කාන්තාවට මෙන්ම පිරිමියාද මඳසරුභාවයට පත්විය හැකියි.  

ඩිම්බ නිසි ලෙස පිට නොවීම. කාන්තා මදසරුභාවයට එක් හේතුවක්.  ඒ සඳහා විවිධ හේතු බලපානවා. Polycystic Ovary Syndrome (PCOS) එක් රෝගී තත්ත්වයක්. මෙම රෝගයෙන් පෙළෙන කාන්තාවකගේ ඩිම්බ පිටවීම ක‍්‍රමානුකූලව මාසිකව සිදු නොවෙයි. Endometriosis  වැනි රෝග තත්ත්ව නිසාත් මඳසරුභාවය ඇතිවෙනවා. ඊට අමතරව පැලෝපීය නාළවල යම් ගැටලූ නිසාත් මදසරුභාවය ඇතිවීමට පුළුවන්. 
කාන්තාවකගේ ඩිම්බ කෝෂයක නිශ්චිත ඩිම්බ ප‍්‍රමාණයක් තියෙනවා. ඒ වගේම කාන්තාවකගේ ප‍්‍රජනන කාලයේදි පිටවන ප‍්‍රජනක ඩිම්බ ප‍්‍රමාණය සීමිතයි. නැතිනම් ඩිම්බ ප‍්‍රමාණය ඉක්මනින් පිට වී අවසන් වෙනවා. එතැනදී වයස යන සාධකය බලපානවා. වයසට යාමේදී ඩිම්බවල ගුණාත්මකභාවය අඩුවෙනවා.

වසරක් කල් ගත්තට කමක් නැද්ද? 

මාසික ඔසප්වීම ක‍්‍රමානුකූලව සිදුවෙනවා නම් පමණක් විවාහයෙන් පසු වසරක පමණ කාලයක් ස්වාභාවික ගැබ් ගැනීමක් සිදුවෙනවාදැයි බලාපොරොත්තු තබා සිටීම කාලය කා දැමීමක් නොවෙයි. වසරකට පසුවත් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවුණහොත් දෙදෙනාම ප‍්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම ඉතා හොඳ තීරණයක්.  
එහෙත් බහු ඩිම්බතාව වැනි රෝග තත්ත්ව තිබේ නම්, වයස අවුරුදු 30  - 35 ඉකුත්ව ගොස් ඇත්නම් වසරක් බලා සිටීම සුදුසු නැහැ. විවාහයෙන් මාස දෙක තුනක් ගත වූ තැන වෛද්‍ය උපදෙස් ගැනීම ඉතාම සුදුසුයි. 

 

මඳසරුබව සොයන වෛද්‍ය පරීක්‍ෂණ

සාමාන්‍යයෙන් දරු පිළිසිඳගැනීමක් සිදුවීමට පුරුෂයාගේ ශුක‍්‍රාණු යෝනි මාර්ගයේ පැලෝපීය නාළය හරහා ගමන් කර ඩිම්බ සහ ශුක‍්‍රාණු එකට එකතු විය යුතුයි. වෛද්‍ය පරීක්ෂණවලින් සිදු කරන්නේ එම ක‍්‍රියාවලිය නිවැරදිව සිදුවෙනවාද යන්න සොයා බැලීමයි. මාසික ඔසප්වීමෙන් අනතුරුව ඩිමබයක් පිටවූ පසු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ප‍්‍රමාණවත් පරිදි ශ‍්‍රාවය වෙනවාදැයි බැලීමට රුධිර පරීක්ෂාවක් සිදු කරයි. ඒ තුළිනුත් ඩිම්බයක් පිටවීම පිළිබඳ අවබෝධයක් ලබාගත හැකියි. AMH ලෙස හඳුන්වන පරීක්ෂණයක් ද සිදු කරයි.
කාන්තාවගේ පැලෝපීය නාළ නිසි අයුරින් ක‍්‍රියා කරනවා ද, අවහිරතාවක් තිබෙනවද යන්න බැලීමේ පරීක්ෂණය HSG ලෙස හඳුන්වයි. එහිදී ඩයි එකක් යවා එම ඩයි පැලොපීය නාළවලින් ගමන් කරනවාදැයි පරීක්‍ෂා කරයි. එසේ නැතිනම් Laparoscopy පරීක්ෂණයකින් පසු ඩයි එක දමා බලයි. නාළ අවහිරතා ඇත්නම් ඒ බව එමගින් තහවුරු කරගත හැකියි. 

මඳසරුභාවය සෙවීමට

අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් පරීක්ෂණයද සිදු කරයි. එය සිදු කරන්නේ යෝනි මාර්ගය හරහාය. එමගින් ගර්භාශගත ගෙඩි, ඩිම්බකෝෂවල ගෙඩි හෝ වෙනත් ගැටලූ ඇත්නම් ඒවා ද හඳුනාගත හැකියි. 
ඒ වගේම පුරුෂ පාර්ශ්වයේත් මඳසරුභාවය සම්බන්ධ පරීක්ෂණ සිදු කරයි.

දරුවන් ලබන්න නිසි කල විවාහවෙන්න  

අත් බෙහෙත්, මිථ්‍යා විශ්වාස වැනි විවිධ ක‍්‍රමවලට යොමුවීම වඩා සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම ඉතා ඉක්මනින් කිරි සිහිනය සැබෑ කර ගැනීමට නවීන වෛද්‍ය විද්‍යාවේ පහසුකම් ලබා ගැනීමට උත්සාහ ගැනීමයි කළ යුත්තේ.
වයස් ගතවීමත් සමග කාන්තාවකගේ ස්වාභාවික දරු පිළිසිඳ ගැනීමේ ඇති හැකියාව අඩුවෙනවා. වෛද්‍ය ප‍්‍රතිකාරවල සාර්ථකත්වය අඩුවීමටද පුළුවන්. විවාහ වූ යුවළක් දරුවන් ලැබීමට කාලය කළමනාකරණය කිරීමත් දරුවන් පිළිසිඳ නොගන්නේ නම් ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවීමත් අවශ්‍ය වන්නේ එනිසයි. 

සටහන : මහේෂානී මීගහපොළ 

 

 

 

 

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා Read Previous

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද? Read Next

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද?

Realted Post

Leave a comment