75 වන යුද්ධ හමුදා සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

ශ්‍රී ලංකාවාසීන් දශක තුනකට අධික කාලයක් පුරාවට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩාවිඳිමින් සිටි යුගය අවසන් කරමින් මව්බිමට තිරසාර සාමය උදාකරදීම වෙනුවෙන් ‘ජාතියේ ආරක්‍ෂකයා’ වශයෙන් පෙරමුණ ගෙන කටයුතු කරනු ලැබූ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඔක්තෝබර් මස 10 දිනට වසර 75 ක් සැපිරේ. එය සමරනු වස් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී සැමරුම් උත්සවයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙවර යුද්ධ හමුදා දින පෙළපාලියේ අණදෙන නිලධාරී වශයෙන් මේජර් ජෙනරල් ලංකා අමරපාල කටයුතු කළ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරින් 75 දෙනෙකු සහ සෙසුනිලයන් 626 දෙනෙකු සහභාගි වූහ. 

මෙම උත්සවයට සුවිශේෂීත්වයක් එක්කරමින්, 75 වන යුද්ධ හමුදා සමරැ පදක්කම ප්‍රධානය මෙහිදී  සිදුවිය. එය සංකේතවත් කරමින් යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය වන පරිදි නිලධාරීන් 35 දෙනෙකුට සහ සෙසු නිලයින් 25 දෙනෙක් සදහා පදක්කම් ලබාදෙන ලදී. මීට අමතරව යුද්ධ හමුදාවේ අභිමානය වෙනුවෙන් කැපවූ සේවයක නිරත වූ යුද්ධ හමුදා සාමාජිකයින් 9 දෙනෙකු වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක ලාංඡන පළඳවන ලදී.

සංවත්සර උත්සවය අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, දිවංගත සහ රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්, සේවයේ නියුතු නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සිය උපහාරය පුදකළ අතර, අනාගතයේදීත් මව්බිමේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කැපවූ සේවය අඛණ්ඩව ලබාදෙන ලෙස ප්‍රකාශ කරනු ලැබීය. එමෙන්ම, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම තහවුරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමට යුද්ධ හමුදාවක් වශයෙන් ඉටුකල යුතු කාර්ය භාර්යය සැමවිටම කැපවීමෙන් යුක්තව සිදුකල යුතු බව ද එතුමන් අවධාරණය කළේය. 

මෙම උත්සව අවස්තාව සඳහා
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්‍, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් එක්වූහ.

ලෝකයක් ආදරේ කරන රතු රෝස මල යන්න ගිහින් වසර 28ක් Read Previous

ලෝකයක් ආදරේ කරන රතු රෝස මල යන්න ගිහින් වසර 28ක්

මහින්දගේ නිල නිවසට පැමිණි අමුත්තා... Read Next

මහින්දගේ නිල නිවසට පැමිණි අමුත්තා...

Realted Post

Leave a comment