ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ

- අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන  සාකච්ඡාවට එක්වෙමින් ජනපති පවසයි

• දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය සැලසෙන පාසල් අධ්‍යාපන ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට විශේෂ අවධානය
ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන  ඉදිරි සැලසුම් සකස් විය යුතු බව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 
ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන  වගකීමකි. ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාවද  ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන  සාකච්ඡාවට එක්වෙමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී අධ්‍යාපන , විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල  ක්‍රියාත්මක ව්‍යාපෘති පහක් සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡාවට බඳුන් කෙරිණි.
පාසල් අධ්‍යාපනය නවීකරණය, ගුරු අධ්‍යාපනය, ද්විතියික අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය කිරීම යන කරුණු මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.
මීට අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය  මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.
ශ්‍රී ලංකාවේ  සියලු පාසල් වඩා ඵලදායි පාසල් බවට පරිවර්තනය කළ යුතු අතර දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය හිමි වන පරිදි පාසල් අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානයට යොමු විය.
උසස් පෙළ සඳහා විද්‍යා, ගණිත හා තාක්ෂණ  විෂය නිර්දේශ  හදාරන පාසල් ප්‍රමාණය පුළුල් කිරීමටද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

කාන්තා දිනයදා  තෙල්දෙණිය ,දිගන සෙනරත්වෙල   පුස්තකාල මණ්ඩලය  කාන්තාවන්ට අත දෙයි Read Next

කාන්තා දිනයදා තෙල්දෙණිය ,දිගන සෙනරත්වෙල පුස්තකාල මණ්ඩලය කාන්තාවන්ට අත දෙයි

Realted Post

Leave a comment