විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජීවත්වීමට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්

ශ්‍රී ලංකාවේ  අග්‍රාමාත්‍ය හා අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය හරිනි අමරසූරිය මැතිණියගේ ‘ජාතික විශ්‍රාමික දින’ පණිවිඩය

රටක ජීවනාලිය වන ශ්‍රම බලකායේ කොටස්කරුවෙකු වෙමින් මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැපවී රජයේ සේවය ලබා දුන් දායකත්වය සිහිපත් කරන ගෞරවණීය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දිනය අදට යෙදී තිබේ. ‘ජාතික විශ්‍රාමික දිනය’ දශක ගණනාවක ඔවුන්ගේ මෙහෙවරට පිදෙන සංකේතාත්මක උපහාරයක් පමණි. ඔවුන්ගේ සැඳෑ ජීවිතය ආර්ථික හා සමාජයීය වශයෙන් සවි බල ගැන්වීම දියුණු ජාතියක් ලෙස ලබා දිය හැකි ඉහළම උපහාරය වන්නේය.

ආර්ථික හා සමාජයීය වශයෙන් ශක්තිමත් පුරවැසියකු පමණක් නොව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබ වෙත සෞඛ්‍ය සම්පන්න,අධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ, දියුණු සංස්කෘතික පුරවැසියකු ලෙස ජීවත්වීම සඳහා පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ගොඩනැගීම අපගේ අරමුණයි.

ආරක්ෂිත සමාජයක් සහ සුපෝෂිත ජාතියක් දැක්ම කරගත් නව රජයේ ප්‍රතිපත්තීන් තුළ ජාතික විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තීන් තිරසරව හා අඛණ්ඩව පවත්වා ගනිමින් විධිමත් හා අවිධිමත් අංශයන්හි දායකත්වය සහිතව සැමට විශ්‍රාම වැටුපක් ලබා දීමේ පුළුල් ප්‍රතිපත්තියක් පවත්නා ආයතනික රාමුව තුළ සකස් කර ක්‍රියාත්මක කිරීම අනාගතයේ දී සිදුවනු ඇත.
මේ වන විට සිය මෙහෙවර නිම කළ සක්‍රීය විශ්‍රාමිකයන්ගේ සාමුහිකය 720,000 ඉක්මවා ගොසිනි. 2024 වසරේ දී රජය විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 434කට අධික මුදලක් ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇත. 

මෙරට සෑම පුරවැසියක්ගේම සැඳෑ ජීවිතය අධ්‍යාත්මික, සමාජයීය, ආර්ථික යන සෑම අංශයකින්ම දියුණුවට පත් කිරීම අපගේ අරමුණයි. එම අරමුණ පෙරදැරිව සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක් හිමිවන පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමේ දී ඔබ ද එහි කොටස්කරුවන් වනු නොඅනුමානය.

රාජ්‍ය සේවයේ වසර ගණනාවක අත්දැකීම්, පරිචය සහ ජීවිත කාලය පුරාම වැඩි දියුණු කරගත් යහපත් ආකල්ප, රටේ මතු පරපුර වෙනුවෙන් දායාද කරමින් තව දුරටත් සක්‍රීය පුරවැසියකු ලෙස සමාජ ප්‍රගමණයට ඔබ දායකවනු දැකීම අපගේ අභිලාෂයයි.

ඔබ සැමට නිදහස් නිවහල් සුවබර විශ්‍රාම දිවියක් පතමි.
 
අග්‍රාමාත්‍ය 
හරිනි අමරසූරිය 
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය

වීදී සුරතලෙක් සමගින් කොකෝ ලඟදීම තිරයට එක්වෙයි Read Previous

වීදී සුරතලෙක් සමගින් කොකෝ ලඟදීම තිරයට එක්වෙයි

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම් Read Next

වියට්ජෙට් නොමිලේ ගමන් මලු පහසුකම්

Realted Post

Leave a comment