ජනතාවගේ අරමුදල වෙනුවෙන් කැපවූ ප්‍රා.ලේ. කාර්යාල ඇගයීමට

 

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2025 වසරේ ඉහළම කාර්යසාධනයක් දැක්වු සබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ “මෙහෙවර පැසසුම්” වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් ජනාධිපති අරමුදලේ අයදුම්පත්  ලැබීමේ සහ ඒවාට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව අනුව එක් එක් දිස්ත්‍රික්කයකින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 03ක් බැගින්, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 06ක් මෙලෙස ඇගයීමට ලක් කෙරිණි.

එහිදී විශිෂ්ටතම කාර්යසාධනය වෙනුවෙන් හිමි සම්මාන දිනාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහත පරිදි වේ:

  රත්නපුර දිස්ත්‍රික්කය

   * ප්‍රථම ස්ථානය: ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
   * දෙවන ස්ථානය: රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
   * තෙවන ස්ථානය: පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

 කෑගල්ල දිස්ත්‍රික්කය

   * ප්‍රථම ස්ථානය: කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
   * දෙවන ස්ථානය: මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
   * තෙවන ස්ථානය: වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පද්මකුමාර, සුනිල් රාජපක්ෂ සහ නීතීඥ නිලූෂා ලක්මාලි ගමගේ යන මහත්ම මහත්මින් ඇතුළු මහජන නියෝජිතයෝද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්.ජී. ලලිත් ආනන්ද, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලක්මාලි උදයකුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහූ පිරිසක්ද එක්ව සිටියහ.

අලි ඇතුන් 17ක් අවදානමේ Read Previous

අලි ඇතුන් 17ක් අවදානමේ

පක්ෂ බේද ඉවතලා මන්ත්‍රීවරියන් පිළිකා මර්ධනයට එකතු වෙලා Read Next

පක්ෂ බේද ඉවතලා මන්ත්‍රීවරියන් පිළිකා මර්ධනයට එකතු වෙලා

Realted Post

Leave a comment