කාන්තා අයිතීන් වෙනුවෙන් ක්‍ෂමා

 

 

දකුණු ආසියාව: කලාපයේ අයිතීන් පරිහානියට ලක් වීම සම්බන්දයෙන් වන ප්‍රතිචාර මගින් ගෝලීය අර්බුද වලට මුහුණ දිය නොහැකි ජාත්‍යන්තර පද්ධතිය නිරාවරණය වෙයි.

ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ 2022 සඳහා වන වාර්තාව මගින් මානව හිමිකම් සම්බන්දයෙන් ලෝකයේ පවතින දෙබඩි ප්‍රතිපත්ති හා නිතර උපයෝගී වන මානව හිමිකම් හා විශ්වීය වටිනාකම් වටා එක් වීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ අසමත් වීම ඉස්මතු කරයි.


යුක්‍රේන අර්බුදය සම්බන්දයෙන් බටහිර රටවල දැඩි ප්‍රතිචාරය හා ගත් කල  ඇෆ්ගනිස්ථානයේ  අයිතීන්  හීනවී යාම මෙන්ම ශ්‍රී ලංකාව, පාකිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින, ඉන්දියාව හා නේපාලය යන රටවල විරෝධතා පැවැත්වීමට ඇති අයිතිය මර්ධනය කිරීම සම්බන්දයෙන් කිසිදු අර්ථවත් ක්‍රියාමාර්ගයක් නොගැනීම තුලින් මේ වෙනස පැහැදිලිව දිස් වේ.
රජයන් විසින් කාන්තාවන්ට ඔවුන්ගේ නිවාස තුල ඇති අයිතීන් ආරක්ෂා කිරීමට හා ඒවාට ගරු කිරීමට  අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ගේ විරෝධතා දැක්වීමට ඇති අයිතිය හා නිදහස තර්ජනයට ලක් වී ඇත.


මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට වසර 75ක් සපිරෙන විට, ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය අවධාරනය කරන්නේ මානව හිමිකම් මත පදනම් වූ නීති ගරුක​ ජාත්‍යන්තර පද්ධතියක් ස්ථාපිත කළ යුතු අතර එය​ සෑම කෙනෙකුටම, සෑම තැනකමදීම  අදාළ විය යුතු බවයි.
 

ගෝලීය සහ කලාපීය ආයතන විසින් තමන්ගේ සාමාජිකයින්ගේ ස්වාර්ථය මත පදනම්ව ගෝලීය ගැටුම්, දේශගුණික විපර්යාස සහ ගෝලීය බලශක්ති සහ ආහාර අර්බුදවලට ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීම පැහැර හැරීම හේතුවෙන් දැනටමත් දුර්වල බහුපාර්ශ්වික පද්ධතියක් වියවුලට ලක් කර ඇති බව ලොව පුරා මානව හිමිකම් පිළිබඳ වාර්ෂික තක්සේරුව ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය පැවසීය.  

ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධාන වාර්තාව 2022/23: ලෝකයේ මානව හිමිකම් වල තත්වය යන වාර්තාව විසින් ඇෆ්ගනිස්ථානයේ හීන වෙමින් යන මානව හිමිකම් සම්බන්දයෙන් ඉතා නින්දිත ලෙස කිසිදු අර්ථවත් ක්‍රියාමාර්ගයක් නොගැනීම, ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදය සම්බන්දයෙන් ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාරය නොදැක්වීම හා දකුණු ආසියාතික රටවල් කිහිපයක සුළු ජාතීන්ට එරෙහි හිංසාවන් සහ තාඩන පීඩන මෙන්ම සිදුවන මර්දනයන් පිළිබඳව හඬ නැගීම ප්‍රතික්ෂේප කිරීම වැනි ලොව පුරා අනුගමනය කරමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා සම්බන්ද දෙබිඩි පිළිවෙත්, දණ්ඩමුක්තිය සහ අස්ථාවරත්වයට හේතු වූ බව පෙන්වා දෙයි.  

“මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මීට වසර 75 කට පෙර නිර්මාණය කරන ලද්දේ, සියලු මිනිසුන්ගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම් සහ මූලික නිදහස පිළිගනිමින්. ගෝලීය ආර්ථික ගතිකත්වයන් සහ බල ව්‍යුහයන් මාරුවීම මානව හිමිකම් පිළිබඳ අවධානය අවම වීමට හේතුවන අවුල් සහගත තත්ත්වයන් ඇති කර ඇත. අද දකුණු ආසියාව අස්ථාවර සහ අනපේක්ෂිත අනාගතයක් අභියස සිටින අතර, සියලු සාකච්ඡා සහ සංවාද අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව කේන්ද්‍ර කර සිදු කිරීම අන් කවරදාටත් වඩා වැදගත් වේ,” යැයි ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ දෙප්රෝස් මුචේනා කියා සිටියේය.

 

 

නිර්ධය ලෙස මර්ධනය වන විසම්මුතිය

අයුක්තිය, අහිමි කිරීම් සහ වෙනස් කොට සැලකීම් වලට එරෙහිව කලාපය පුරා ජනතාව වීදි බැසි නමුත් ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, මාලදිවයින, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ඔවුන්ට දැඩි මර්දනයන් සහ අයුතු මෙන්ම විටක මාරාන්තික බලය භාවිතා කිරීම් වලට මුහුණ දීමට සිදු විය.

ශ්‍රී ලංකාව තුල මහජන විරෝධතා මර්ධනය කිරීමට හදිසි නීතිය යොදා ගන්නා ලදී. වඩාත් දරුණු  අතට හැරෙමින් පැවති ආර්ථික අර්බුදයට එරෙහිව බොහෝ දුරට සාමකාමී ලෙස විරෝධතාවයේ නිරත වූ ජනතාවට එරෙහිව පොලිසිය ජීව උණ්ඩ, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ට තුවාල මෙන්ම මරණීය හිංසන​​ සිදු කිරීම ද දක්නට ලැබුණි. එහි දී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන, අත්තනෝමතික ලෙස රඳවා තබා ගනිමින් ත්‍රස්තවාදය සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල කරන ලදී.  

ඇෆ්ගනිස්ථානයේ සාමකාමී විරෝධතාකරුවන්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට මුහුණ දුන්හ. බංග්ලාදේශයේ පොලිසිය විසින් සිසුන් හා කම්කරුවන්ගේ විරෝධතා විසුරුවා හැරීමට සජීවී සහ රබර් උණ්ඩ, ශබ්ද අත්බෝම්බ මෙන්ම කඳුළු ගෑස්ද භාවිතා කළහ. පකිස්ථානයේ, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ගොදුරු වූවන්ගේ ක්‍රියාකාරීන්ගේ සහ පවුල්වල සාමාජිකයින්ගේ සාමකාමී විරෝධතා බලහත්කාරයෙන් විසුරවා හැරීම සිදු කරන ලදී. නේපාලයේ අයුක්තිසහගත ණය දෙන්නන්ට ගොදුරු වූ විරෝධාතාකරුවන්ට පොලිස් බැටන් ප්‍රහාර එල්ල කර, අත්තනෝමතික ලෙස රඳවා තබා ගන්නා ලදී. එපමණක් නොව ඉන්දියාවේ, ජාර්කාන්ද් ප්‍රාන්තයේ විරෝධතා අතරතුර 15 හැවිරිදි පිරිමි ළමයෙකු සහ තවත් විරෝධතාකරුවෙකු පොලිසිය විසින් වෙඩි තබා මරා දමන ලදී.

මාධ්‍ය නිදහසට එරෙහි ප්‍රහාර රටවල් කිහිපයක සිදුවිය. ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීන් තලේබාන් සංවිධානය විවේචනය කරන වාර්තා හේතුවෙන්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් මෙන්ම වධ හිංසාවලට සහ වෙනත් දරුණු සැලකීම්වලට මුහුණ දුන්හ.

බංගලාදේශයේ මාධ්‍යවේදීන් ඔවුන්ගේ වාර්තාකරණය හේතුවෙන් පහරදීම්, අධිකරණ ක්‍රියාමාර්ග තුලින් හිරිහැර සිදු කිරීම් සහ වෙනත් පළිගැනීම්වලට ලක්වන අතර නව දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතක් මගින් ප්‍රකාශනයේ නිදහස තව දුරටත් කප්පාදු කිරීමේ තර්ජනයක් මතු වී ඇත. මේ අතර, මාධ්‍යවේදීන් සහ වෙනත් අය ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ මාධ්‍යවේදීන් ද පීඩනයට ලක් විය.

ඉන්දීය රජය විසින්ද රට තුල පවතින මානව හිමිකම් තත්වයන් විදේශයන්හී දී කතා බහට ලක් වීම වැළැක්වීමට මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව විදේශ ගමන් තහනම් මෙන්ම නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම් සිදු කරන ලදී. තවද මාධ්‍ය සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවලට හිරිහැර කිරීම සඳහා මුදල් විශුද්ධිකරණ නීති සහ වෙනත් ව්‍යාජ හේතු ද යොදා ගත්හ. නේපාලයේ, ඔවුන්ගේ රංගනයන් සම්බන්ධයෙන් සිර දඬුවම්වලට මුහුණ දුන් අය අතර විකට නළු නිළියන් ද විය. මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ මූලාශ්‍ර හෙළි කිරීමට බල කළ හැකි නීතියක් මාලදිවයිනේ පාර්ලිමේන්තුව සම්මත කළ අතර ඉන් පසුව මාලදිවයින් රජය එම නීතිය නැවත සංශෝධනය කිරීම සලකා බලමින් සිටියද එහිදී ඔවුන්ට දැඩි විවේචනවලට මුහුණ දීමට සිදු විය.

“දකුණු ආසියාතික රටවල් ඔවුන්ගේ ප්‍රෝඩා සහගත මෙන්ම දෙබිඩි පිළිවෙත ප්‍රදර්ශනය කරමින් මානව හිමිකම් නීතීන් අවස්ථානුකුලව තෝරාගැනීමක් සිදු කර ක්‍රියාවට නංවන බව පෙනේ. ඔවුන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විවේචනය කරන්නේ එය ඔවුන්ගේ ගෝලීය සහ කලාපීය දේශපාලනය සමඟ පෙළගැසෙන විට පමණක් වන අතර එවැනිම උල්ලංඝනය කිරීම් ඔවුන්ගේ දොරකඩ සිදුවන විට ඔවුන්ගේ අවශ්‍යතා තර්ජනයට ලක් විය හැකි නිසා ඒවා දෙස බලා නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. මෙය කිසිසේත් සදාචාරාත්මක​ නොවන අතර විශ්ව මානව හිමිකම් පිළිබඳ සමස්ත ව්‍යුහයම පිරිහීමට හේතු වේ,” යනුවෙන් ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ යාමිනි මිශ්‍රා පැවසීය. 

විරෝධතා දැක්වීමට ඇති අයිතියට එරෙහිව වර්ධනය වන තර්ජනවලට ප්‍රතිචාර වශයෙන්, සාමකාමීව රැස්වීමේ නිදහස සඳහා වන මූලික අයිතිවාසිකම හීන කිරීමට රාජ්‍යයන් දරන තීව්‍ර ප්‍රයත්නයන්ට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය 2022 දී ගෝලීය ව්‍යාපාරයක් දියත් කරන ලදී.

රාජ්‍යන් විසින් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ගරු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කාන්තාවන් වැඩි අසාධාරණයට ලක්වේ

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලිංගික ශ්‍රමිකයන්ගේ ගෞරවයට ඇති අයිතිය තහවුරු කරමින් ප්‍රගතිශීලී විනිශ්චයන් දෙකක් සම්මත කර ඇති අතර, විවාහක තත්වය නොසලකා සියලුම කාන්තාවන්ට ගබ්සා සිදු කර ගැනීමට අවශ්‍ය ප්‍රවේශය පුළුල් කිරීමට පවතින නීතියක් අර්ථකථනය කළේය.

නමුත් කලාපයේ බොහෝ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ක්‍රමානුකූල වෙනස් කොට සැලකීම් වලට ලක්වීම ඔවුන් තවමත් අත්විඳින යථාර්ථයයි.

ඇෆ්ගනිස්ථානයේ නව ආඥාවන් මගින්, රාජ්‍ය නොවන සංවිධාන සමඟ වැඩ කිරීම, පිරිමි භාරකරුවෙකු නොමැතිව ගමන් කිරීම, ද්විතීයික සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීම හා​ පොදු උද්‍යාන වලට යාම තහනම් කිරීම වැනි ඔවුන්ගේ අයිතිවාසිකම් සහ නිදහස තවදුරටත් සීමා කිරීම් හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් පොදු ජීවිතයෙන් සහ අවකාශයන් වලින් අතුගා දැමීමක් සිදු කර ඇත.

නේපාලයේ කාන්තාවන්ට සමාන පුරවැසි අයිතිවාසිකම් ලබා දීම අඛණ්ඩව ප්‍රතික්ෂේප කිරීම සිදු කරන ලද අතර, ස්ත්‍රී දූෂණ සීමාවන් පිළිබඳ ප්‍රඥප්තිය දීර්ඝ කරනු ලැබුවද, පැමිණිලි ගොනු කිරීම සඳහා වූ ඉතාමත් කෙටි කාලය අපරාධයට ලක්වූ අය සඳහා ඵලදායී පිළියමක් ලබා ගැනීම සඳහා සැලකිය යුතු බාධාවක් විය.

මේ කාලය තුල කාන්තාවන්ට එරෙහි හිංසනය ද කලාපය තුළ බහුලව දක්නට ලැබුණි. එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් විසින් මාලදිවයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ එහි වැඩිවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට වහා විසඳුම් ලබා දෙන ලෙසයි.

බංග්ලාදේශයේ, තම ස්වාමිපුරුෂයා හෝ වෙනත් පවුලේ සාමාජිකයන් විසින් ස්ත්‍රීන් දූෂණ හෝ මරා දැමීමේ සිද්ධීන් සිය ගණනක් වාර්තා කර ඇති අතර එවැනි අපරාධ සඳහා දණ්ඩමුක්තියද පුළුල් ලෙස පැවතුනි.

සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් විසින් කාන්තාවන් ඝාතනය කිරීමේ සිද්ධි කිහිපයක් පාකිස්ථානයෙන් වාර්තා වූ නමුත්, 2021 සිට අපේක්ෂිත ගෘහස්ථ හිංසනය පිළිබඳ නීති සම්මත කිරීමට ජාතික සභාව අපොහොසත් විය.

ඉන්දියාවේ දාලිත් සහ ආදිවාසී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් මෙන්ම අනෙකුත් කුලය මත පදනම් වූ වෛරී අපරාධ, කිසිදු දඬුවමකට ලක්වීමෙන් තොරව සිදු කිරීම දක්නට ලදී. කර්නාටක ප්‍රාන්තයේ ප්‍රසිද්ධ පාසල්වල ගැහැනු ළමයින්ට හිජාබය ඇඳීම ද තහනම් කිරීම සිදුවිය.

“රට, සමාජය සහ පවුල වෙනුවෙන් තම ශරීරය, ජීවිතය, තේරීම් සහ ලිංගිකත්වය කෙරෙහි පීතෘමූලික පාලනයට අභියෝග කරමින් බොහෝවිට කාන්තාවන් කලාපයේ විරෝධතාවල ඉදිරියෙන්ම සිට ඇත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය තහවුරු කිරීමට රාජ්‍යයන් සහ ආයතන අපොහොසත් වීම, මර්දනය, ප්‍රචණ්ඩත්වය සහ හැකියාවන් මොට කිරීම වැනි බිහිසුණු උරුමයන් ඉතිරි කිරීමට හේතු වේ” යැයි යාමිනි මිශ්‍රා පැවසීය.

 

 

මනුෂ්‍යත්වයට එල්ල වන තර්ජනවලට එරෙහි ගෝලීය ක්‍රියාමාර්ග අවාසනාවන්ත ලෙස ප්‍රමාණවත් නොවේ

වසංගත ආශ්‍රිත අවපාතය, ආර්ථික අවකලමනාකරණය සහ දේශගුණික විපර්යාස නිසා කලාපය තුළ සහ ඉන් ඔබ්බෙන් ඇතිවූ ව්‍යසන තත්වයන් හේතුවෙන් ඇතිවූ ආර්ථික අර්බුදය, ආහාර, සෞඛ්‍ය සේවා සහ ප්‍රමාණවත් ජීවන මට්ටමකට ප්‍රවේශ විය නොහැකි වූ ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථික හා සමාජ අයිතීන්ට දැඩි ලෙස බලපෑවේය.

ඇෆ්ගනිස්ථානයේ දරුණු ආර්ථික අර්බුදය ජනගහනයෙන් 97% ක් දරිද්‍රතාවයට ඇද දැමූ අතර, ශ්‍රී ලංකාවේ 2022 සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 73% ඉක්මවූයේ ​​දුප්පත්ම සහ වඩාත්ම ආන්තික වූවන් විශාල ලෙස පීඩාවට ලක් කරමිනි.

පාලනය නොකළ දේශගුණික අර්බුදයේ විනාශකාරී පිරිවැය 2022 දී බෙහෙවින්​ පැහැදිලි විය. විශේෂයෙන් පාකිස්තානයේ හදිසියෙන් ඇතිවූ අධික ග්‍රීෂ්ම තත්වයන්, නියඟ සහ විනාශකාරී ගංවතුර 750,000 කට ආසන්න මිනිසුන්ගේ ජීවිත හා ජීවනෝපායන් කෙරෙහි ව්‍යසනකාරී බලපෑමක් ඇති කළේය.

මෙවැනි පසුබිමක, මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට සහ අද මානව වර්ගයාගේ පැවැත්මට දරුණුම තර්ජනය වන පොසිල ඉන්ධන මත යැපීම යන ගැටළුව පිළිබඳව කතිකාවතක් ඇති කිරීමට ගෝලීය ප්‍රජාව අපොහොසත් වීම අභාග්‍ය සම්පන්න විය. මෙම සාමූහික අසාර්ථකත්වය වත්මන් බහුපාර්ශ්වික පද්ධතිවල දුර්වලතාවයේ තවත් කැපී පෙනෙන උදාහරණයක් වේ.

“'මිනිසා විසින් සාදන ලද අර්බුද ඇතුළු ඡේදනය වන සහ අන්තර් සම්බන්ධිත අර්බුද මගින් අද දකුණු ආසියාව වෙලා ගෙන ඇත - කලාපයේ අවම වශයෙන් රටවල් තුනක් ආර්ථික අර්බුදයක මධ්‍යයේ සිටින අතර අධික ණය බරින් මිරිකී ඇත - තවද දකුණු ආසියාව ස්වභාවික ව්‍යසන බහුලව හට ගන්නා භූමියක් වීම හේතුවෙන් ඉතා දරුණු අධික ග්‍රීෂ්ම තත්වයන් හා විනාශකාරී ගංවතුර තත්වයන්ට මුහුණ දෙමින් ඇත. අපගේ ජාතික හා ජාත්‍යන්තර ආයතන වලට මේ අර්බුද වලට මුහුණ දීමට හැකියාවක් නැත්නම් නම් මෙම අර්බුදවලින් බේරීමට අපට අවස්ථාවක් නැත.” යැයි යාමිනි මිශ්‍රා තවදුරටත් පැවසීය.

 

 

ක්‍රියාකාරී නොවන ජාත්‍යන්තර ආයතන පණගැන්වීමේ අවශ්‍යතාවයක් ඇත

ඇෆ්ගනිස්ථානයේ ස්වාධීන මානව හිමිකම් නිරීක්‍ෂණය සහ වාර්තාකරණය සඳහා තිබූ අවකාශ සියල්ල දැන් ඇහිරී ඇත. තලේබාන් සංවිධානය, හිටපු පරිපාලනයේ සාමාජිකයින්ට, ආරක්ෂක හමුදා සාමාජිකයින්ට හා ඔවුන්ට විරුද්ධ වූවන්ට එරෙහිව පළිගැනීමේ ඝාතන ව්‍යාපාරය දිගටම කරගෙන යාමත් සමඟ යුද අපරාධ සිදු විය.

ඇෆ්ගනිස්ථානයේ මරණීය දණ්ඩනය නැවත ආරම්භ කිරීම ප්‍රධාන පසුබෑමක් වන අතර තලෙයිබාන්වරුන්ගේ අධිකරණ පද්ධතියහි කිසිදු විශ්වසනීයත්වයක් නොමැත. 

ඉන්දියාවේ, බලධාරීන් විසින් ප්‍රාන්ත කිහිපයක ප්‍රධාන වශයෙන් මුස්ලිම්වරුන්ට අයත් දේපළ නීති විරෝධී ලෙස කඩා බිඳ දැමූ අතර, මෙය අන්තර් වාර්ගික ගැටුම්වලට සම්බන්ධ වීම හේතුවෙන් මුළු ප්‍රජාවටම  ලබාදුන් සාමූහික දඬුවමක් බවට සැක මතු කරන ලදී. නේපාලයේ, 1996-2006 සිදුවූ ගැටුමේදී සිදු කරන ලද ජාත්‍යන්තර නීති සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යටතේ සත්‍යය, යුක්තිය සහ අපරාධ සඳහා හානිපූර්ණය කිරීමට දරන උත්සාහයන් කිසිසේත් ප්‍රමාණවත් නොවීය.

සරණාගතයින් සහ ආරක්ෂාව සොයා යන්නන් තව දුරටත් ආන්තික කිරීම් වලට ගොදුරු වූ අතර නැවත එම භයානක තත්වයන්ට හා රටවලට ආපසු යැවීමේ අවදානමට ලක්ව ඇත. මේ කාලය තුල ලෝකයේ විශාලතම සරණාගත කඳවුරක් තුළ සිටින රොහින්ග්‍යා සරණාගතයින්ගේ මානව හිමිකම් සහතික කිරීම බංග්ලාදේශයට දිගින් දිගටම ප්‍රධාන අභියෝගයක් විය. රොහින්ග්‍යා ළමුන් සඳහා අධ්‍යාපනය ලබා දීම සම්බන්දයෙන් යම් දියුණුවක් ඇති වුවද, ඇස්තමේන්තුගත 100,000ක් පාසල් නොගියහ. ජාත්‍යන්තර ප්‍රජාවේ සහ මානව හිමිකම් කණ්ඩායම්වල විරෝධතා නොතකා, බංග්ලාදේශ රජය රෝහින්ග්‍යා සරණාගතයින් ඉතා දුරස්ථ සහ ගංවතුරින් පීඩාවට පත්වන භාසන් චාර් දූපත වෙත ගෙන යාමේ සැලසුම්වල දිගටම යෙදුනු අතර නිල සංඛ්‍යාලේඛනවලට අනුව එසේ ගෙන ගිය මුළු සංඛ්‍යාව 30,079කි.

තම රටේ හිංසා පීඩාවලින් පලා යන ඇෆ්ගනිස්ථානුවන් ඉරානය වැනි අසල්වැසි රටවලින් සහ ඊට අසල තුර්කිය වැනි වෙනත් රටවලින් ප්‍රතික්ෂේප කිරීම් වලට මුහුණ දුන්හ.

මෙම බරපතල ගැටළු බොහොමයක් ඵලදායී ලෙස විසඳීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇති නොහැකියාව නිසා දණ්ඩමුක්තිය ද අද ඒ ගැටළු වල තවත් කොටසක් වී ඇත. ඒ අනුව අපගේ අයිතීන් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර ආයතන සහ පද්ධති හෑල්ලූවට ලක් කරනවාට වඩා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

තවද අප ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රධාන තීරණ ගැනීමේ ආයතනය වන ආරක්ෂක කවුන්සිලය, විශේෂයෙන් ගෝලීය දකුණේ සම්ප්‍රදායිකව නොසලකා හැර ඇති රටවල් වලට සහ තත්වයන්ට හඬක් දීමට හැකි වන පරිදි​ ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා සිටිමු.

 

 

නිර්ලජ්ජී දෙබඩි පිළිවෙත් මගින් උල්ලංඝනයන් තව දුරටත් සිදුවීමට මඟ පාදයි

රුසියානු හා යුක්‍රේන යුද්ධය හේතුවෙන් දේශගුණික අර්බුදය, අනෙකුත් දිගුකාලීන ගැටුම් මෙන්ම විශේෂයෙන් දකුණු ආසියාවේ මෙන්ම ලොව පුරා මානව දුක්ඛ වේදනාවන් වලට ඇති අවධානය මෙන්ම සම්පත් ද වෙනතකට යොමු කරන ලදී. ඒ අනුව බටහිර රටවල දෙබඩි පිළිවෙත හේතුවෙන් සමහර රටවලට තම මානව හිමිකම් වාර්තා පිළිබඳ විවේචන මගහැර ඒවා නොසලකා හැරීමට සහ මගහැරීමට රුකුල් දෙනු ලබයි.

“ඵලදායී හා අඛණ්ඩව ක්‍රියාත්මක වන නීති මත පදනම් වූ ජාත්‍යන්තර පද්ධතියක් මේ යුගයේ අවශ්‍යතාවය බව අප පිළිගත යුතුය. යුක්රේනයේ රුසියානු ආක්‍රමණික යුද්ධය මගින් පෙන්නුම් කළේ ලෝකයේ ධනවත්ම රටවල් සමහරකට ආරක්ෂාව පතා එන විශාල පිරිසක් පිළිගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපනය සහ නවාතැන් ලබා දීමට විශාල හැකියාවක් ඇති බවයි. නමුත් කෙසේ වෙතත්, යුද්ධයෙන් සහ මර්දනයෙන් පලා යන ඇෆ්ගන්වරුන්ට සහ රෝහින්ග්‍යාවරුන්ට බටහිර රටවල් ඒ ආකාරයෙන්ම සැලකුවේ නැත. මෙම නිර්ලජ්ජිත දෙබිඩි පිළිවෙත අභියෝගයට ලක් කළ යුතු අතර නව නීති මත පදනම් වූ සැලැස්මක් ඇති කිරීම සඳහා රටවල් ඉක්මනින් කටයුතු කල යුතුය” දෙප්රෝස් මුචේනා කියා සිටියේය.

“ධනවත් ජාතීන්ගේ දෙබිඩි පිළිවෙත්, ඔවුන්ගේ පිළිකුල් දනවන COVID-19 එන්නත් ජාතිකවාදය තුළ මෙන්ම දේශගුණික විපර්යාස ඇති වීමට ඔවුන් ලබා දෙන සුවිශාල දායකත්වය තුළින්ද පැහැදිලි වේ. දකුණු ආසියාව දේශගුණික හදිසි අවස්ථා වලට වැඩි වැඩියෙන් ලක්වීම හේතුවෙන් එම රටවලට ඒ හේතුවෙන් සිදුවන පාඩු හා හානි සඳහා හානිපූර්ණය සිදු කිරීමේ අවශ්‍යතාව තවත් ඉස්මතු වන අතර ගෝලීය වශයෙන් පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීම සඳහා වැඩි ආයෝජනයක් කළ යුතු බව පෙන්වා දෙයි.  ප්‍රමාද වූවා වැඩි වන්නට පෙර, ලෝකයේ මානව හිමිකම් කඩවීම්වලට එරෙහිව මෙතෙක් ස්ථාවරයක් ගැනීමට අපොහොසත් වූ දකුණු ආසියාව ඇතුළු අනෙකුත් රටවල් මේ අවස්ථාවේ දී ඊට එරෙහිව හඬ නැගීම අත්‍යවශ්‍ය වේ.”

මේ සම්බන්දයෙන් ක්ෂමා සංවිධානයේ ශ්‍රී ලංකාවේ පර්යේෂිකා නීතිඥ ත්‍යාගී රුවන් පතිරණ දැක්වූ අදහස් විඩියෝවෙන් දැක්වේ.

වැටෙන හිසකෙස්  නවත්තන විදිහ Read Previous

වැටෙන හිසකෙස් නවත්තන විදිහ

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා  නස්රීන් Read Next

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා නස්රීන්

Realted Post

Leave a comment