මැහුම් ව්‍යාපාරයක් අරඹන්න මේ කරුණු දැනගන්න

 

අපි මැහුම් පිටුවෙන් මෙතෙක් කාලයක් ඉදිරිපත් කරනු ලැබුවේ ඇඳුම් මෝස්තරයක් සඳහා නිවැරැදි ආකාරයට පතරොමක් සාදා ඒ අනුව ඇඳුමක් මසා ගැනීමට මඟපෙන්වීමය. එහෙත් මෙවර එහි වෙනසක් කළෙමු. 
ඔබ රැකියාවක් නොකරන කාන්තාවක්ද? එසේ නැතිනම් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න යුවතියක්ද? කවුරු වුණත් මේ කාලයේ නිකම්ම ඉන්නවාට වඩා මැහුමක් ගෙතුමක් ඉගෙන ගත්තොත් ඒ තුළින් ඔබට සාර්ථක ගමනක් යා හැකිබව දන්නවාද?


ඕනෑම දෙයක් නිවැරැදිව ඉගෙන ගැනීම ඉතා වැදගත්. ඒවාගේම පහසු ක්‍රම ඉගෙන ගැනීමත් වාසිදායකයි. ඒ මන්ද පහසු ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට කාලය බොහෝදුරට ඉතිරි කර ගත හැකි අතර වැඩි වැඩ කොටසක් කර ගත හැකියි. 


අපේ රටේ දක්ෂ මැහුම් ශිල්පීහු සිටිති. ඇඳුම් මැසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමත් අපහසු නැහැ. නිවෙසේ සිටම ව්‍යාපාරයක් විදියට ඇඳුම් මැසීම හොඳ ස්වයං රැකියාවක්. ඒවාගේම ඔබ මසන ඇඳුම් දේශීය වෙළෙඳ පොළේ පමණක් නොව විදේශීය වෙළඳපොළටද එක් කරන්න පුළුවන්. ඒ විතරක්ම නොවෙයි ඔබ සුළුවෙන් ආරම්භ කරන ව්‍යාපාරය වැඩිදියුණු කර තවත් බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා ලබාදෙන ඇඳුම් මසන ආයතනයක හිමිකාරිනියක් වෙන්නත් පුළුවන්. 


මේ හැමදේටම උනන්දුව, කැපවීම වගේම උත්සාහය ඔබ තුළ තිබිය යුතුයි. මුලින්ම තමන්ගේ ඇඳුමක් තමන්ම මසා ගැනීමත්, ටික කාලයකින් තවත් කෙනකුට ඔබගේ අතින් ඇඳුමක් මසා දීමත් ඔබට කොතරම් ආඩම්බරයක්ද? 


ඇඳුමක් මැසීමේදී අපි අනුගමනය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් නම් විද්‍යානුකූල ක්‍රමයට ඇඳුම් මැසීමයි. අනෙක් ක්‍රමය ටේලරින් ක්‍රමයට ඇඳුම් මැසීමයි. තමන්ගේ, වෙනත් කෙනෙකුගේ හෝ සම්මත මිමි අනුව ඔබ  ලබා ගන්නා මිමිවලට අනුව වෙනමම පතරොමක් කොළයක සකස් කරගෙන එම පතරොම රෙද්ද මත තබා කපා ඇඳුමක් මසා ගැනීම හඳුන්වන්නේ විද්‍යානුකූල ක්‍රමයට ඇඳුම් මැසීම යනුවෙනුයි. එහෙත් ටේලරින් ක්‍රමය සීමිත මූලික මිමි පමණක් ගෙන ඒ මිමිවලට අනුව රෙද්ද මත පතරොම ඇඳ නිවැරැදි ආකාරයට ශරීරයේ හැඩයට ගැළපෙන ලෙස රෙද්ද කපා මසා ගැනීමයි. මෙය ඉතා පහසු ක්‍රමයක් ලෙස දැක්විය හැකියි. මේ ක්‍රමයෙන් ඉතා කෙටි කාලයකින් අංග සම්පූර්ණ ඇඳුමක් ඔබට අවශ්‍ය ලෙස මසා ගත හැකියි.


අපි ඇඳුමක් මසා ගැනීමේදීි පළමුව කළ යුත්තේ මිමි ගැනීිම හා මිමි සකස් කර ගැනීමයි. මූලික දැනීමක් නොමැතිව වුවද ඕනෑම කෙනෙකුට මෙය ඉගෙනීමෙන් හොඳ දියුණුවක් කරා යා හැකියි. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ මිනුම් පටියක්, අඟල් 12 අඩිකෝදුවක්, පැන්සලක් හා ටේලරින් චෝක් එකක් පමණයි.

 

උපදෙස් - 
වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රවීණ 
මැහුම් උපදේශිකා 
කාන්ති කුලරත්න

මිමි ගැනීමේදී එක් එක් අයගේ සිරුරේ හැඩතල වෙනස් නිසා පිහිටි සිරුර අනුව මිමි ගැනීම වඩාත් යෝගයයි. මිමි ගැනීමේදී වඩාත් වැදගත් වන්නේ සිරුරට තද වන ලෙස සුදුසු බ්‍රෙසියරයක් ඇඳීමයි. මෙහිදී අත හුරුවකින් ඉගෙනීමේ යෙදුනහොත් දිනකට ඇඳුම් පහක් හයක් පමණ මසා ගත හැකියි. පතරොම එකවර රෙද්ද මත ඇඳීමෙන් ඔබට කාලය ඉතිරි කරගත හැකි වනවාසේම රෙද්ද ඉතිරි වන ආකාරයට සකස් කර ගත හැකියි. 


අද කාලයේ රෙදිවල මිල අධිකයි. ඒ නිසා රෙදි ගැනීමේදීි අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී නොගන්න. ඔබ මසන ඇඳුම් මෝස්තරය අනුව අවශ්‍ය වන රෙදි ප්‍රමාණය පමණක් ගන්න. මේ සඳහා ඔබට දැනුමක් නොමැති නම් ඒ ගැන දැනුමක් ඇති කෙනෙකුගේ සහාය ලබාගන්න.


ඇතැම් රෙදි වර්ග සේදීමේදී හැකිළී යා හැකියි. හැන්ඩ්ලූම්, කොට්න්, ලිනන් වැනි රෙදි එසේ හැකිළී යාමට වැඩි නැඹුරුවක් ඇති රෙදි වර්ගය. ඒ නිසා මෙවැනි රෙද්දකින් ඇඳුමක් මසද්දි රේද්ද කැපීමට පෙර සෝදන්න. එසේ නොවුණහොත් ඔබ මසන ඇඳුම වරක් දෙවරක් සේදූ පසු ඇඳීමට නොහැකි වෙයි.


ඒවාගේම රෙද්ද කැපීමට තියුණු හොඳ වර්ගයේ කතුරක් භාවිතා කරන්න. හොඳ මහන මැෂිමක් තෝරාගන්න. සෘජු මැහුම් හෝ සිග්සැග් ආකාරයට මහන මැෂිමක් ප්‍රමාණවත් වෙයි. ඒවාගේම එහි කොටස්වල නඩත්තුව ගැන හොඳ අවබෝධයක් තබාගන්න.

 

සුබෝධිනී පෙරේරා


 

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ  ශ්‍රියානි අමරසේන Read Previous

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය Read Next

සුන්දර බක්මහේ ඇඩ්ලේඩ් අවුරුදු උදානය

Realted Post

Leave a comment