සිහින ගමනාන්තය

​රටක් ලෙස පොදු සිහිනයක් නිර්මාණය වෙමින් පවතින බවත් පොදු ප්‍රවාහනය ජනතාවගේ පහසු තේරීම බවට පත් කිරීම රජයේ අරමුණ බවත් "සිහින ගමනාන්තය" (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

​Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන "සිහින ගමනාන්තය" (Dream Destination) ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය,  සැප්තැම්බර් 10 වැනිදා මහජනතාව සඳහා විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. 

​ශ්‍රී ලංකා දාවුදි බෝරා සංගමය විසින් රුපියල් මිලියන 60ක මුදලක් වැය කරමින් නවීකරණය කරන ලද දුම්රිය ස්ථානය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිමවන ලද දුම්රිය ස්ථානයේ නව පිවිසුම් ගුවන් පාලම අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට ලක් විය.

​මෙහිදී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යතුමිය, කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යබහුල මෙන්ම ජනතාවට ඉතා හුරුපුරුදු ස්ථානයක් වන බම්බලපිටිය දුම්රිය ස්ථානය මෙලෙස නවීකරණය කර ජනතාව වෙත ලබා දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් බෝරා ප්‍රජාව වෙත විශේෂ ස්තුතිය පුද කරනවා. 

 මෙවැනි පොදු ස්ථාන නවීකරණය කර ජනතාවට වඩාත් යහපත් පහසුකම් ලබා දීම තුළින් අද වනවිට පොදු ප්‍රවාහනය පිළිබඳ ජනතාව තුළ පෙරට වඩා උනන්දුවක් සහ යහපත් හැඟීමක් ඇති වෙමින් පවතිනවා. 

 ජනතාවගේ අවධානය හා ආකර්ෂණය දිනා ගනිමින් පොදු ප්‍රවාහන සේවාවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත  ස්තුතිය පළ කළ යුතුයි. 

​රටක දියුණුව තීරණය වන්නේ එහි පවතින පෞද්ගලික වාහන සංඛ්‍යාව මත නොවෙයි. ජනතාව පොදු ප්‍රවාහනය භාවිත කරන ආකාරය මතයි.  මෙතෙක් ජනතාව කළකිරීමට පත් කර තිබූ පොදු ප්‍රවාහන සේවය දියුණු කර, පෞද්ගලික වාහනයකට වඩා පොදු ප්‍රවාහනය පහසු හා ආරක්ෂිත බව ජනතාවට දැනෙන තත්ත්වයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි.  ඒ සඳහා පොදු ප්‍රවාහන සේවාව වෙනුවෙන් රජය වැඩි මුදලක් වෙන් කිරීමෙන් පොදු ප්‍රවාහනයට රජය ලබා දී ඇති ප්‍රමුඛතාව පැහැදිලි වනවා.  එම වැඩපිළිවෙළේ තවත් විශේෂ පියවරක් ලෙසයි, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය හා එක්ව සංවර්ධනයට දායක වන "සිහින ගමනාන්තය" (Dream Destination) වැඩසටහන ද ක්‍රියාත්මක වන්නේ. 

​රටක් කියන්නේ ආණ්ඩුවට විතරක් අයිති දෙයක් නෙවෙයි. රටක් කියන්නේ ඒ රටේ ජීවත් වන හැමෝගෙම පොදු නිවහනයි. ඒ නිවහනට තමන්ගේ දැනුමෙන්, ශ්‍රමයෙන් හෝ සම්පත්වලින් දායක වීම අපි හැමෝගෙම වගකීමක්. මෙතෙක් කාලයක් අපේ රටේ අපි සියලු දෙනාට පොදු සිහිනයක් තිබුණේ නැහැ. දැන් ඒ සිහිනය නිර්මාණය වෙමින් යන බව අපට දැනෙනවා.

​අපට තිබෙන්නේ සාමූහික සිහිනයක්. ඒ සිහිනය කරා යන ගමන තමයි, අපේ නිවහන වන මේ රට ගොඩනැඟීම සඳහා අප සියලු දෙනා එක්ව ආරම්භ කර ඇති මේ සාමූහික ගමන.

​අද මෙහිදී අප දකින්නේ ඒ ගමන වෙනුවෙන් අපේ ජනතාවගේ, අපේ විවිධ ප්‍රජාවන්ගේ මෙන්ම පෞද්ගලික අංශයේ සක්‍රීය සහභාගීත්වයයි. රටක් ඉදිරියට ගෙන යාමට නම් එවැනි සාමූහික සහභාගීත්වයක් අත්‍යවශ්‍යයි. ඒ නිසාම, මේ සහභාගීත්වය අපි ඉතා ගැඹුරින් අගය කරනවා.

​බෝරා ප්‍රජාව අද අපට මතක් කර දෙන්නේත් මේ සාමූහිකත්වයේ වැදගත්කමයි. අපි මේ වන විට ආරම්භ කර ඇත්තේ සාමූහික ගමනක්. අපේ රට කෙබඳු විය යුතුද, අපේ රටේ අනාගතය කෙබඳු විය යුතුද, අපේ රටේ ජීවිතය කෙබඳු අත්දැකීමක් විය යුතුද යන්න පිළිබඳව අපට ඇත්තේ එකිනෙකා හා බෙදාගත් සාමූහික සිහිනයක්. ඒ වගේම Clean Sri Lanka ජාතික වැඩසටහන හරහා ඒ අරමුණු තව තවත් ශක්තිමත් කෙරෙනවා. යැයි අග්‍රාමාත්‍යතුමිය  පැවසුවාය.

​මෙහිදී සභාව ඇමතූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර,

​ලබන වසරේදීත් සංවර්ධන කටයුතු වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩි මුදලක් වෙන් වෙනවා. නමුත් මින් පෙර අපේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය හෝ දුම්රිය සේවය කියන්නේ රජයේ වැඩි අවධානය යොමු වූ ක්ෂේත්‍ර නෙවෙයි. නමුත් ඉදිරියට එසේ වන්නේ නැහැ. අපේ ප්‍රවාහන සේවය පියවරෙන් පියවර ඉදිරියට යමින් තිබෙනවා. ඒ තුළ දුම්රිය පද්ධතිය කියන්නේ ප්‍රධාන අංගයක්. ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපේ රටට සිහිනයක් බවට පත්ව තිබූ විදුලි දුම්රිය පද්ධතිය අපි ලබන වසරේදී ආරම්භ කරනවා. ඒ අනුව මරදාන සිට මාකුඹුරටත්, මරදාන සිට පානදුරටත්, මරදාන සිට රාගමටත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිගු කිරීමේ කටයුතු අපි ආරම්භ කරනවා." යැයි පැවසූ අතර පෞද්ගලික ආයතන කිසිදු ප්‍රචාරණ අරමුණකින් තොරව "සිහින ගමනාන්තය" ව්‍යාපෘතිය හා සම්බන්ධ වෙමින් දක්වන දායකත්වය ද අගය කළේය.

​මෙහිදී දාවුදි බෝරා සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ කුසයිමා ජෙෆර්ජී (Khuzaimah Jefferjee), වසර 150කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සමාජ, සංස්කෘතික හා ආර්ථික පරිසරයේ කොටසක් ලෙස කටයුතු කර ඇති දාවුදි බෝරා ප්‍රජාව, මෙරට පුරවැසියෙකු වීම යනු මෙරට ජීවත් වීම පමණක් නොව, රටට දායක වීම, එය රැකබලා ගැනීම සහ අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් රටක් ඉතිරි කිරීම බව විශ්වාස කරන බව පැවසීය. එම වගකීමේ කොටසක් ලෙස බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ, නවීකරණ සහ අලංකරණ කටයුතු සිදු කිරීමට පියවර ගත් බවත්, එමඟින් මගී ජනතාවගේ දෛනික ගමන වඩාත් පිරිසිදු, ආරක්ෂිත, පහසු සහ ගෞරවාන්විත අත්දැකීමක් බවට පත් කිරීම සිය ප්‍රජාවේ අපේක්ෂාව බවත් ඔහු සඳහන් කළේය.

​මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුණීර් මුලාෆර්, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී පද්මප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු Janab Amil Saheb Ibrahim ඇතුළු දාවුදි බෝරා සංගමයේ නියෝජිතයන්, Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Previous

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

තක්කාලි වලින් රූ සත්කාර Read Next

තක්කාලි වලින් රූ සත්කාර

Realted Post

Leave a comment