අප්පච්චිට දැනෙනවාට වඩා මම ඔහුට ආදරෙයි - ප්‍රවීණ දේශක දිනේෂ් මුතුගල

අප්පච්චි කියන්නෙම සංසාරයක්. 
ඒ සංසාරයේ ණය පියවන්න මේ එක ආත්මයක් මදි.
’’අප්පච්චිගෙ රෝම පිරුණු පපුවට ගුළිවෙලා නිදාගන්නකොට බුලත් කහටත් සමග සුවඳ පිරුණු මුවින් අප්පච්චි කියා දුන් කවි තවමත් මතකයි..’’
ඒ උණුසුමට ගුළි වෙලා ආදරේ විඳපු අතීතයට අදටත් මම ලෝබයි.’’
තම සෙනෙ⁣හවන්ත අප්පච්චි සමග ගත කළ සුන්දර මතක සැමරුම් හැඟීම්බරව ආවර්ජනය කළ ඔහු රටක් දන්නා ටියුෂන් ගුරුවරයා දිනේෂ් මුතුගල. මේ ලියැවෙන්නේ ඔහු තම පියා ගැන කී කතාවයි.

මගේ අප්පච්චි දයාරත්න මුතුගල. අප්පච්චි වසර 20 ක් පමණ ගුරුවරයෙක් විදියට සේවය කළා. ඔහු විශ්‍රාම යන විට ගණිත ගුරු උපදේශකවරයෙක් ලෙසයි සේවය කළේ. අප්පච්චි ටියුෂන් ගුරුවරයෙක් ලෙසත් කටයුතු කළා.  හැබැයි ඒ විශාල කණ්ඩායම් පන්ති ලෙස නොවෙයි.  ඒ දවස්වල අප්පච්චි ටියුෂන්  පන්තිවලට යන්නෙ මෝටර් බයිසිකලයෙන්. අප්පච්චට දැන් වයස අවුරුදු හැත්තෑවක් වෙනවා. අදටත් ඒ ජවයෙන්ම ඒ මෝටර් බයිසිකලයෙන් ගිහින් දරුවන්ට ටියුෂන් දෙනවා. ඒ දවස්වල අපේ ප්‍රදේශවල දරුවන් අප්පච්චිගෙන් ගණිතය ඉගෙන ගන්න දරුවො හොඳටම සමත් වෙනවා යැයි විශ්වාසයක් ගොඩනැගී තිබුණා. මාත් සමග තාත්තාගෙන් ඉගෙනගත් මගෙ යාළුවො සියලු දෙනාම ගණිත විෂයට ඉහළ සාමාර්ථ අරගෙන විභාගය සමත්වීම ඊට හොඳ උදාහරණයක්. ඒ නිසා මවුපියන්ටත් විශ්වාසයක් ගොඩනැගී තිබුණා ඔහුගේ ඉගැන්වීම ගැන.

 මගේ අප්පච්චි පාසල සහ උපකාරක පන්ති යනුවෙන් බෙදා වෙන්කොට ඉගැන්වීම් කටයුතු කළේ නැහැ. පාසලයි උපකාරක පන්තියයි දෙකටම එක හා සමානව ඉගැන්වීම් කටයුතු කළා. අප්පච්චි උපකාරක පන්ති කරන කාලයේදීම මමත් උපකාරක පන්ති ආරම්භ කළා.  නමුත් අප්පච්චි කිසිම මොහොතක කිසිම විදියකින් දරුවන්ට පෙළඹවීම් කළේ නැහැ මගේ පන්තියට සහභාගී වෙන්න කියලා. ඒ කාලයේ සමහර අය දන්නෙ නෑ මම අප්පච්චිගෙ පුතා කියලා. අප්පච්චි සද්භාවයෙන් ගෞරවයෙන් යුතුව ගුරු වෘත්තිය කරගෙන ගිය කෙනෙක්. ඒ ආභාෂය  මටත් ලැබුණා. ඉගෙන ගන්නා දරුවෙකුට ව්‍යාපාරික අදහස් පෙරදැරි නොකර සද්භාවයෙන් ඉගෙන්වීම් කටයුතු කරන්නේ කොහොමද කියන දේ මට ලැබුණේ අප්පච්චිගෙන්.

අප්පච්චිට මුල්ම පත්වීම ලැබුණෙ ආනමඩුව පාසලකට.  දුෂ්කර සේවයේ  යෙදුණු ගුරුවරයෙක් වුණත් ඔහු නැවත එම පාසලෙන් මාරුවීම් ලබා පැමිණෙන විට එම ගම්මානයේ ග්‍රාම නිලධාරී මහත්වරු, ප්‍රාදේශීය නායකවරු, පාසලේ දරුවන්ගේ මවුපියන්, ගම්වැසියන්, දරු දැරියන් සියලුදෙනාම අප්පච්චිට ගෞරවනීය සමුගැනීමක් ලබාදී තිබුණා. අප්පච්චිට හරි ලස්සන පුරුද්දක් තිබෙනවා යන තැන ඥාතීන් එකතු කරගන්න. අප්පච්චිට ඊළඟ පත්වීම තිබුණේ අපේ ගෙවල් කිට්ටුවම තිබෙන රනාවත්ත කනිෂ්ඨ විද්‍යාලයට. එම පාසලේ  සේවා කාලය තුළ විශාල විපර්යාසයක් කර තිබුණා. අප්පච්චි නිසාම සමහර දරුවන් පාසලට පැමිණෙන්න කැමැත්තක් දක්වා තිබෙනවා. ඒ වගේම අප්පච්චිට හැමෝම හරිම ආදරෙයි. ඔහුත් සමඟ කාලය ගත කරන්න බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා. අප්පච්චි ගොඩක් විනෝදකාමී පුද්ගලයෙක්. ඒ වගේම  සොබාදහමට ආදරය කරන පුද්ගලයෙක්. ලැබෙන සෑම වෙලාවකම අපිවත් සොබාදහමට නිරාවරණය කළා. ඒවගේම අප්පච්චි හරිම නිහතමානී පුද්ගලයෙක්. ඔහු කාටත් එක හා සමානව සලකපු පුද්ගලයෙක්. අප්පච්චි කිසිම මනුෂ්‍යයෙක්ව පහළට දමලා කතා කරලා නැහැ. මනුස්සයන්ගේ හිත රිදෙන දේවල් කියලා නැහැ. හරිම ආදරණීය පුද්ගලයෙක්. අදටත් සෑම කෙනෙකුගේම ආදරේ ගෞරවය නොමඳව ලබන කෙනෙක් මේ වන විටත් ගමේ පන්සලේ දායක සභාවේ , නොයෙකුත් සමිතිවල වැඩකටයුතුවලට සම්බන්ධ වෙමින් කාලය ගත කරනවා.’’


තුන හතර ශ්‍රේණි දක්වාම අප්පච්චි සමග කාලය ගත කරන්න මට ලැබුණේ සතියට දවස් දෙකයි. ඒ අප්පච්චි ආනමඩුව පාසලේ සේවය කරන කාලයේ. මම ඒ දවස්වල සිකුරාදා දවස උදා වෙනකන් ඇඟිලි ගනිමින් සිටින්නේ.  මට දින ගැන අවබෝධයක් නැති නිසා අම්මගෙන් ඒ ගැන දැනගන්නවා. අප්පච්චි ගෙදර එන සෑම දවසකම පොත් රැගෙන එන කළුපාට බෑගය ඇතුළෙ මං වෙනුවෙන් රස කැවිල්ලක් අනිවාර්යයෙන්ම තිබෙනවා. අප්පච්චි නිතරම ළඟ රැඳුණෙ නැතත් අම්මගේ සෙනෙහස හා සමානව අප්පච්චිගෙ සෙනෙහසත් නොඅඩුව ලැබුණා සහ දැනුණා. අප්පච්චි නිවසේ රැඳෙන සෑම රෑයකම මාව ළඟට අරගෙන කවි සින්දු කියලා දෙනවා. පංති මට්ටමින් ටික ටික ඉහළට යනවිට අප්පච්චි කවි සින්දු නතර කරලා විද්‍යාඥයන් පිළිබඳ කියලා දෙන්න පටන් ගත්තා. මා තුළ සිටි විද්‍යාවට ආදරය කරන පුද්ගලයාව නිර්මාණය කිරීමට අඩිතාලම  අප්පච්චි දම්මෙ එහෙමයි.  අප්පච්චි මං වෙනුවෙන් ගත් හැම තීරණයක්ම මගේ අනාගතය සාර්ථක වීම සඳහා පමණක්ම ගත් තීරණයි. අගහිඟකම් මැද වුණත් මට අවශ්‍ය සෑමදෙයක්ම අප්පච්චි නොපිරිහෙලා ඉටු කළා.  අපි ඒ දවස්වල වත් පෝසත්කම්වලින් සපිරුණු පවුලක් නොවෙයි. ගමේ වුණත් කවදාවත් අප්පච්චි යුතුකම් මගහැරියේ නැහැ. මම අද මේ සමාජයේ ඉහළ තලයක වැජඹෙන්නෙ අප්පච්චිගෙන් ලැබුණු හයිය නිසයි. රාජලියෙකුගේ හෙවණැල්ලක් සේ අප්පච්චිගෙ  හෙවනැල්ල නිතරම මා වෙත වැටී තිබුණා. අප්පච්චි කවදාවත් මාව අවිශ්වාස කළේ නෑ. ඒ නිසාම මම  වැරදි වැඩවලට පෙලඹුණේ නැහැ. මගේ සෑම වැඩකටයුත්තකදීම අප්පච්චිගේ සහය ලැබුණා. මගේ පළමුවැනි අත්පත්‍රිකාවේ අමිල  මුතුගල නමයි සඳහන්ව තිබුණේ. අප්පච්චිගේ අනුදැනුම ඇතුව දිනේෂ් මුතුගල නමින් අත්පත්‍රිකාව මුද්‍රණය කළා. අදටත් බොහෝ දෙනෙක් මාව දැන හඳුනන්නේ දිනේෂ් මුතුගල නමින්.
 ඒ වගේම පවුල් සංස්ථාව තුළ අප්පච්චිගෙන් අම්මට ලැබෙන්නෙත් ලොකු සහයෝගයක්. හරිම ආදරණීය ජීවිතයක් අම්මයි අප්පච්චී අතර අදටත් තිබෙනවා. අප්පච්චි අපි සියලු දෙනාට ආදරණීය සෙනෙහෙවන්ත චරිතයක්.
අප්පච්චි අදටත් මාව දරාගෙන සිටින යෝධ පර්වතයක් වගෙයි.  අද රටම දන්නා දිනේෂ් මතුගල චරිතයේ නිර්මාතෘ මගේ ආදරණීය අප්පච්චි. ඔහුට මගේ ආදරය දැනෙනවාට වඩා හුඟක් මම ඔහුට ආදරෙයි. ඒ ආදරය මගෙ අප්පච්චිට දැනුණු දවස මගේ ජිවිතේ තවත් සතුටුම දවසක් වේවි.

කොළඹ බර උසුලන යකඩ හස්ත - මුල් පුටු 16 ම ඉන්නේ කාන්තාවෝ Read Previous

කොළඹ බර උසුලන යකඩ හස්ත - මුල් පුටු 16 ම ඉන්නේ කාන්තාවෝ

නවකයින් අතර දක්ෂයින් අඩුයි  Nirosha Thalagala Read Next

නවකයින් අතර දක්ෂයින් අඩුයි Nirosha Thalagala

Realted Post

Leave a comment