අම්මා එක්ක තියෙන්නේ හරිම ලස්සන මතක - Paboda Sandeepani

ඇය  අම්මගේ අඩි පාරේ යමින් කලා ලොවේ  සාර්ථක ගමනක නියැළෙන්නී ය.  ඇය අපට සිටින දක්ෂ ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනියකි. කුඩා කාලයේ සිටම  රංගයෙන් ප්‍රේක්ෂකයන් අතරට  පැමිණි ඇය කලා පවුල් පසුබිමකින් පැවත එන්නියකි. මේ සුන්දර පිළිසඳර ඇය සමගයි. ඇය පබෝදා සංදීපනී.

  • මේ  දවස්වල මොකද කරන්නෙ?

මේ දවස්වල නම් ඉන්නෙ විදේශගතවෙලා.

  • රට හිටියට ඔයාගේ  රංගනය නම් මෙහෙ ප්‍රසිද්ධයි නේද?

ඔව්, මම රංගනයෙන් එක් වූ සරත් වීරසේකර මහතාගේ ශ්‍රී සද්ධා චිත්‍රපටය තිරගත වෙනවා මේ දවස්වල. මීට පෙරත් ඔහු මාව ඔහුගේ නිර්මාණයකට තෝරාගෙන සිටියා නමුත් මට සහභාගි වෙන්න බැරිවුණා.  මේ චිත්‍රපටියටත් මට ආරාධනාවක් ලැබුණා. මම ගොඩක් කැමතියි සරත් වීරසේකර මහත්මයා සමග වැඩ කරන්න. මෙවැනි අධ්‍යක්ෂකවරයෙක් සමග වැඩ කරන්න ලැබුණු එක ගැන නම් මට  හුඟක් සතුටුයි.

  • වසර ගණනාවකට පසු මවත් සමග රඟපෑමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන නම් ගොඩක් සතුටුයි. මතක විදියට වසර තිහකට පෙර තමයි අම්මත් සමග එකට රංගනයක යෙදුණෙ. ගොඩක්   අය කැමතියි අම්මයි දුවයි රඟපානවා බලන්න. ඒවගේම මේ චරිතයටත් අම්මගෙන් සහයෝගය ලැබුණා. අම්මත් එක්ක ඒ ගත කරපු මොහොත හරිම සුන්දරයි .ඒ වගේම හරි සුන්දර ලස්සන මතක සටහනක්.

  • කුඩා කාලයේ අම්මත්  සමග ගත කරපු කාලය කොහොමද?

මම පවුලේ එකම දරුවා. අම්මත් එක්ක ගතකරපු කාලය සුන්දරයි. ඒ දවස්වල අම්මා ගොඩක් කාර්යබහුලයි. මම ඒ දවස්වල අත්තම්මත් එක්ක  ෂූටිං යන්නෙ. අම්මා කොච්චර  කාර්යබහුල වුණත්  මගේ වැඩ කටයුතු   හැම දෙයක්ම  ඉටුකරලා දුන්නා. අදටත්  අම්මා  මගේ දරුවා  බලාගන්නවා. ඒකෙන් අදටත්  මට ලැබෙන සහයෝගය  මෙතෙකැයි කියන්න බැහැ. 

  • ඔබත් දැන් මවක් ඒ ගැන මොකද හිතෙන්නේ?

මගේ අම්මා  මම පොඩි කාලේ ඉඳලා  හැදුවේ තනියම.  මමත් අද  මගේ දරුවා  සමග  ගත කරන කාලය ගැන ඔහු වෙනුවෙන් කරන දේවල්  මතක් වෙනකොට අම්මා ගැන හරි ආදරයක් උපදිනවා. මගේ  අම්මත්  මං  වෙනුවෙන් ඒ විදිහට කැපකිරීම්  කරන්න ඇති. අම්මලා දරුවන් වෙනුවෙන් කරන දේවල් මෙතෙක් යැයි මැන බලා කියන්න බැහැනෙ.

  • ඉස්සරහට මොකද කරන්නේ? 

මූලිකම බලාපොරොත්තුව පුතාගේ අනාගතය. ඒ වගේම මගේ පැත්තෙන් නම් හොඳ නිර්මාණවලට  හොඳ චරිතවලට දායකත්වය ලබාදීම. මගේ වයසත් සමග හොඳ නිර්මාණවලට දායකවීමට අවස්ථාව  ලැබෙනවා නම් මම කැමතියි.

Pic By :   indika mallawarachchi

 

women’s Legends Awards 2025 සම්මාන රාත්‍රිය Read Previous

women’s Legends Awards 2025 සම්මාන රාත්‍රිය

Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka Read Next

Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

Realted Post

Leave a comment