අරුණලු සිඹින නැගෙනහිර වෙරළ සංගමන්කන්ද

 

රටේ දෙකෙළවර වන පේදුරුතුඩුව හා දෙවුන්දර තුඩුව අතර දුර ප්‍රමාණය ලෙස සැලකෙන්නේ කිලෝමීටර් 435 කි. 


අපේ රටේ පළලම සථානයේ එක් කොනක් වන්නේ අග නගරය වන කොළඹ ය. අනෙක් කොන පිහිටා තිබෙන්නේ නැගෙනහිර පළාතේ ය. ඒ සංගමන්කන්ද තුඩුවයි.  


නැගෙනහිර පළාත යනු බෞද්ධයන්ට සුවිශේෂී බොහෝ පුදබිම් සහිත  ප්‍රදේශයකි. එමෙන්ම විදේශිකයන් වැඩි වශයෙන් පැමිණෙන ප්‍රදේශයක්ද වේ. මෙයට ප්‍රමුඛතම හේතුව වී ඇත්තේ සුන්දර මුහුදු තීරය යි.  පාසිකුඩා හා අරුගම්බේ ඒ අතරින් ප්‍රමුඛව සඳහන් කළ හැකි ය. 


පාසිකුඩා හා අරුගම්බේ මුහුදු තීරයන් පිළිබඳ කතා කළොත් ලොව ප්‍රචලිතම ක්‍රීඩාවක් වන රළ මත ලිස්සා යාම (ීමරසෛබට) සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ මෙම මුහුදු තීරයන් ය. ලොව නන්දෙසින් සංචාරකයෝ මෙම ක්‍රීඩාව සඳහා නැගෙනහිර පළාතට පැමිණෙති. ජාත්‍යන්තර ීමරසෛබට තරග පවා වසරක් පාසා මෙහිදී පැවැත් වේ. 

 

 


පාසිකුඩා  මුහුදු තීරය බොහෝ ආකර්ෂණීය ය. දෙස් විදෙස් සංචාරකයන් බොහෝ ඇලුම් කරන මුහුදු තීරය දිය නෑමට සුදුසු ආරක්ෂිත මුහුදු තීරයක් ලෙසද සැලකෙයි. එහි ඇති කොරල් තීරය එම ආරක්ෂිතබව  රැගෙන එයි. 
මුහුදු මහා විහාරය, රජගල මහා විහාරය, ලාහුගල ඇතුළු සංචාරක ප්‍රදේශ බොහොමයක්ද මේ ආශ්‍රිතව පිහිටා තිබේ. 


වාකරේ ද සංචාරයට කදිම ප්‍රදේශයකි.  එම පළාතේ ආකර්ෂණීය මුහුදු තීරයන් ලෙස කල්ලතිව් හා වාකරේ මුහුදු තීරයන් හඳුන්වා දීමට පුළුවන. 


අරුගම්බේ සිට කිලෝමීටර් 18ක් පමණ වාකරේ දෙසට ගමන් කිරීමේදී කණ්ඩියම් වෙරළ හා කෝමාරි කලපුව දැක ගැනීමට හැකිය. කෝමාරි කලපුව පිහිටා ඇත්තේ මහල්ඩ්චේන ග්‍රාමයේ ය. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 3 - 4 ක දුරින් මෙම ග්‍රාමය පිහිටා ඇත. රටේ පළලම ස්ථානයේ කොනක්  වන සංගමන්කන්ද පිහිටා තිබෙන්නේ මෙම ස්ථානයේ ය.


සංගමන්කන්ද පිහිටි ග්‍රාමය සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශයකි. ඔවුන්ගේ ප්‍රධාන ජීවන උපාය මාර්ගය ගොවිතැන හා ධීවර කාර්මාන්තයයි. එහි රටකජු, එළවළු, පොල් වගාව දැක ගත හැකිය. ධීවර ගම්මාන ද බහුලව දැක ගැනීමට හැකිය. සංගමන්කන්ද තවත් ප්‍රසිද්ධවීමට හේතුවක් වන්නේ එහි පිහිටි ප්‍රදීපාගාරයයි. 1947 දී ඉදි කළ මෙහි උස මීටර් 25ක් පමණ ය. සුනාමි ව්‍යසනය නිසා ප්‍රදීපාගාරය කැඩීගොස් අද ඉතිරිව දැක ගත හැක්කේ මීටර් 15 ක් තරම් වූ කොටසකි.


සංගමන්කන්ද  මුහුදු තීරයත් කෝමාරි කලපුවත් අපූර්වත්වයක් ලබා දී ඇත. ප්‍රදේශය පුරා  තිබෙන කෘෂි වගාවද අපූරු දසුනකි. නැගෙනහිර පළාත් සංචාරය කරන ඔබට සංගමන්කන්ද නැරඹීමද සංචාරයට තවත් අපූර්වත්වයක් ලබාදෙනු නොඅනුමාන ය.

 


සටහන/ඡායාරූප ශාන් බන්දු වීරසිංහ  


 

සිත පහන් කරවන සල්ගල ආරණ්‍ය සේනාසනය Read Previous

සිත පහන් කරවන සල්ගල ආරණ්‍ය සේනාසනය

සිත පහන් කරවන සල්ගල ආරණ්‍ය සේනාසනය Read Next

සිත පහන් කරවන සල්ගල ආරණ්‍ය සේනාසනය

Realted Post

Leave a comment