ඔබට ඕනෑ මොනවගේ විවේකයක්ද? හොයාගන්නේ මෙහෙමයි

 

ඔබට වෙහෙසක් දැනුණු විට ඔබ කරන්නේ මඳ වේලාවක් විවේක ගැනීමයි. විවේක ගැනීම වෙනුවෙන් ඔබ කරන්නේ කුමක්ද? මඳ වේලාවක් නින්දට යාමයි. හොඳ නින්දක් ලබා ගත් පසුවත් වෙහෙසකර ගතිය තවමත් ඔබෙන් ඈත්ව ගොස් නැති බවක් ඔබට දැනී තිබෙන්නට පුළුවනි. එසේ දැනෙන්නේ ඇයි දැයි ඔබ මොහොතක් සිතුවාද? 


‘නින්ද හා විවේකය’ යනු එකක් නොවේ. නින්ද මගින් අපට යම් විවේකයක් ලැබුණද අපට අවශ්‍ය ආකාරයේ විවේකයක් හැම විටම ඉන් නොලැබේ. නින්දේදී මූලික වශයෙන්ම අපට ලැබෙනුයේ ශාරීරික විවේකයකි. එහෙත් ශාරීරික විවේකයට අමතරව ලැබිය යුතු තවත් විවේක වර්ග කීපයක්ද ඇත. හොඳ නින්දකින් පසුවත් තව දුරටත් වෙහෙසකර බවක් දැනේ නම් එයින් අදහස් වන්නේ ‘අනෙක් විවේක වර්ගවලින් යම් දෙයක් අපට නොලැබී ඇති බවයි. 

 


මොනවද මේ විවේක වර්ග
මෙයද දෙආකාරයකින් ලබා ගත හැකියි. ඒ අක්‍රීය විවේකය හා සක්‍රීය විවේකය වශයෙනි. නින්ද අයත් වන්නේ අක්‍රීය විවේකයටයි. ශරීරයේ ක්‍රියාකාරීබවත් සමගම ලබාගන්නා විවේකය (යෝගා ව්‍යායාම, ශ්වසන අභ්‍යාස, ඉහිල් වීමේ අභ්‍යාස වැනි) අයත් වන්නේ සක්‍රීය විවේකයටයි.


ඔබට ශාරීරික විවේකයක් අවශ්‍ය නම් ඒ බව හඟවන සලකුණු තිබේ. එනම් ශරීරයේ විවිධ තැන්වල (බෙල්ල, පිට කොන්ද වැනි ස්ථාන) වේදනාව, මස් පිඬු තදවීම ආදිය ප්‍රධාන වේ. ඔබ බොහෝ වේලා එකම ඉරියව්වක හිඳගෙන වැඩ කරන විට ඔබට වෙහෙසකරබවක් දැනේ නම් එයින් හැඟවෙන්නේ ඔබට සක්‍රීය ශාරීරික විවේකයක් අවශ්‍ය බවයි.

 


මානසික විවේකය

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ, 
ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල

එදිනෙදා ජීවිතයේදී ඔබට මුහුණ දීමට සිදුවන සාමාන්‍ය ආතති තත්ත්ව මෙන්ම හදිසියේ එන අභියෝගවලට මුහුණ දීමේදී මානසික වශයෙන් වෙහෙසක් අපට ඇතිවෙයි. එය එළියට එන්නේ නුරුස්සනා සුලුබව, අමතකවීම්, අතපසුවීම්, අවධානය රඳවාගත නොහැකිබව, තරහයාම ආදී විවිධ ස්වරූපවලිනි.
මේ සඳහා කළ හැකි හොඳම දෙය නම් නිසි ලෙස කාලය කළමනාකරණය කර ගැනීමට පුරුදුවීමයි. යම් කාර්යයකට වැය වන කාලය ගැන මෙන්ම එහිදී වැය වන මානසික ශක්ති ප්‍රමාණය ගැනද වැටහීමක් ඇති කරගෙන වැඩ කරන අතර කෙටි විවේකයක් ලබා ගැනීමද මෙහිදි වැදගත් වෙයි. මේ කෙටි ව්වේකය තුළ භාවනාවක යෙදීම, ශ්වසන අභ්‍යාස කිරීම මෙන්ම මියුරු සංගීතයට සවන් දීම වැනි දේ කළ හැකිය. 

 


නිර්මාණශීලී විවේකය
ඔබට නිර්මාණශීලි විවේකයක් අවශ්‍ය බවට හැඟවෙන්නේ යම් වැඩක් කිරීමට යාමේදී. ඒ පිළිබඳ හොඳ අදහස් ඔබේ සිතට නොඑන්නේ අලුත් අදහස් හෝ වෙනස් ආකාරයකට යමක් කළ හැකි දැයි ඔබට සිතාගනු බැරි වන අවස්ථාවලදීය. ඔබට ඔබ අවට ඇති සුන්දරත්වය විඳ ගැනීමට අවස්ථාව සලසා දීමෙන් නිර්මාණශීලී විවේකයක් ලබා ගත හැකිය. මිනිසා නිර්මාණය වී ඇත්තේ ස්වභාවයෙන්ම සුන්දර දෙයට ප්‍රතිචාර දැක්වීමටය. මෙය සමහර විිට ස්වභාව ධර්මයේ සුන්දරත්වයද විය හැකිය. ඔබ යම් කාර්යයක සිටියදී හොඳ අදහස් සිතට ගලා ඒමේ අපහසුතාවක් දැනේ නම් මඳකට පරිසරයේ සුන්දරත්වය විඳින්න. එයින් ඔබගේ නිර්මාණශීලිත්වය වැඩි දියුණු වනු ඇති.

 


සමාජයීය විවේකය 
සමාජයීය විවේකය යනු අප වෙහෙසට පත්ව සිටින විට අපව නැවත ප්‍රාණවත් කරන, අපගේ වැය වූ ශක්තිය නැවත ලබා ගත හැකි ලෙස අපට උදව් කරන ධනාත්මක අදහස් ඇති පුද්ගලයින් සමග කාලය ගත කිරීමයි.
සමාජයීය විවේකයක් ඔබට අවශ්‍ය යැයි දැනෙන විට කරන  කාර්යයන් මඳකට නවතා කෙනෙකු සමග කතා කිරීමට ඔබට සිතෙනු ඇති. මෙහිදී අනෙක් පුද්ගලයාගේ වැඩට බාධා නොවන අයුරින්  කටයුතු කිරීමට වගබලා ගැනීම ද වැදගත් වෙයි.


එසේම ඔබගේ ශක්තිය ඔවුන් වෙත උදුරා ගන්නා අය (ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ඔබව ආශ්‍රය කරන අය) සමාජයීය විවේකය සඳහා තෝරා නොගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුයි.

 


ආධ්‍යාත්මික විවේකය
ආධ්‍යාත්මික විවේකය අපගේ විශ්වාසය මත විවිධ ආකාරයෙන් ලබා ගත හැකියි. ආගමික විශ්වාස අනුව කරන ආගමික වතාවත් මගින් මෙන්ම තමන් කරන කාර්යයන් තමන්ටත් අන් අයටත්  යහපතක්  සිදු වේ යන හැඟීම දැනෙනවා නම් ආධ්‍යාත්මිකව සන්සුන් බවක් සිතට දැනේ.
මේ ආකාරයෙන් තමන්ට සැබවින්ම අවශ්‍ය කුමන ආකාරයේ විවේකයක් දැයි වටහා ගැනීමට හැකි වූ විට වෙහෙසකර බව තුරන් කර ගැනීමට අපට ඉඩ සැලසේ.

සුබෝධිනී පෙරේරා


 

Capital TRUST Properties සහ Excello Developers අත්වැල් බැඳගනී Read Previous

Capital TRUST Properties සහ Excello Developers අත්වැල් බැඳගනී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය Read Next

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය

Realted Post

Leave a comment