සමත්වීමේ පළමු පියවර අසමත්වීමයි

 

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වූයේ මෑත දිනයකයි. කොවිඩ් 19 වසංගතය මෙන්ම ඉන්පසුව අප රට තුළ ඇති වූ සමාජ - ආර්ථික දුෂ්කරතා හමුවේ අපේ දරුවන් මේ විභාගයට සූදානම් වූයේත්, විභාගයට  පෙනී සිටියෙත් අභියෝග රාශියකට මුහුණ දෙමිනි. විභාග ප්‍රතිඵලය කුමක් වුවත්, ඒ අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමම දරුවන් ලැබූ ජයග්‍රහණයකි.


විභාගය යනු නිශ්චිත කාල පරාසයක් තුළ, අදාළ විෂය පථයන්ට අනුකූලව ලබා ගත් දැනුම, හැකියාවන් මැන බලන පරීක්ෂණයකි. එහෙත් අද මේ විභාග දරුවන් හා මවුපියන්ගේ තරගයක් බවට පත් වී ඇත. ඒ නිසා මෙම තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවා විභාගයට මුහුණ දීමේදී වැඩි ආතතියකට පත්වීම නොවැළැක්විය හැකිය. එසේම විභාග ප්‍රතිඵල ලැබීමෙන් පසුවද දරුවන් වැඩියෙන් මානසික ආතතියට, නොසන්සුන්තාවට පත් වේ.

 


සමත්වීමේ බලාපොරොත්තුව කාගෙද? 

අදහස් දැක්වීම:  -සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය 
අධ්‍යක්ෂ කාර්යාලයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
යමුනා එල්ලාවල

විභාගයක් අවසානයේ ඔබ විභාගයෙන් ජය ගත්තද නැද්ද යන්න රඳා පවතින්නේ ඔබගේ ප්‍රතිඵලයටත් වඩා ඔබේ ‘අපේක්ෂිත බලාපොරොත්තු’ ඉටු වූවාද නැද්ද යන්න මතය. සමහර විට ඒ බලාපොරොත්තු ඔබේම ඒවා නොවීමටද පුළුවන. ඔබේ මවුපියන්ගේ ගුරුවරුන්ගේ නෑදෑ හිත මිතුරන් ඔබ වෙත තැබූ බලාපොරොත්තු විය හැකිය.


විභාගයක් අවසන් වූ පමණින් අධ්‍යාපනය කෙළවර වන්නේ නැත. ඔබට ලැබුණු ප්‍රතිඵලය අ.පො.ස. උසස් පෙළ නැමැති ඊළඟ කඩඉම කරා යාමට සහ ඔබ කැමති විෂය ධාරාව හැදෑරීමට සෑහේ නම් ඔබ කළ යුත්තේ ඒ ප්‍රතිඵලයත් සමග ඉදිරියට යාමයි. ඔබගේ ඒ ඉදිරි ගමනට ප්‍රතිඵලයේ අඩංගු  ‘්’ සලකුණු ගණන හෝ ‘ඊ’ සලකුණු ගණන බාධාවක් කර නොගන්න. නොලැබුණු දෙයක් කෙරෙහි ළතවෙවී සිටිනවාට වඩා ලද දෙයින් ජීවිතය ඉදිරියට ගෙන යාමට ඔබ අදිටන් කරගන්න. ඒ නිසා යහපත් මානසික මට්ටමකින් ඔබගේ ඉදිරි ගමනට සූදානම් වෙන්න.

 


පසුතැවිලි වෙන්න කාලයක් නෑ 
ඒවාගේම යම් හෙයකින් ඔබගේ අරමුණු කරා යාමට ලැබුණු ප්‍රතිඵලය ප්‍රමාණවත් නොවන්නේ නම් අතීතය ගැන පසුතැවිලි වීමට ගත කරන කාලය නව ජවයකින් ඒ අරමුණ ජය ගැනීමට වැඩ ඇරඹීම සඳහා යොදවන්න. ඒ සඳහා ඔබ පසුගිය වර අනුගමනය කළ උපාය මාර්ගවල අඩුපාඩු සකසා ගනිමින් ලබන වර සාර්ථකත්වය කරා ළඟා වීමට කටයුතු කිරීමට සිතට ගන්න. ඔබට ඔබගේ ගුරු දෙගුරුන්ගේ සහ යහළුවන්ගේ සහාය ද ලබා ගැනීමට පුළුවන.


මෙහිදී මවුපියන්ද තම දරුවා ලබා ගත් ප්‍රතිඵලය දෙස උපේක්ෂාවෙන් බැලිය යුතුයි. ලැබුණු ප්‍රතිඵලය දැන් වෙනස් කළ නොහැකියි. බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබීම නිසා ආතතියෙන් පසුවෙන දරුවාගේ සිතට තවත් ආතතිකාරී තත්ත්වයන් ඇතුළු නොකිරීමට ඔවුන් වගබලා ගත යුතුයි. මවුපියන්ගේ බලාපොරොත්තු ඒ අයුරින් ඉටු කර දීමට නොහැකිවීම නිසා දරුවන්ද ඔබට හොරා බොහෝ සෙයින් දුක්වනු ඇති. ඔබට වටින්නේ ඔබේ දරුවා මිස ඔහු හෝ ඇය ලබා ගත් A, B, C, යන අකුරු ගණන නොවේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් සියලුම විෂයයන්ට විශිෂ්ට සාමාර්ථ නොලැබුවත් ඉදිරියේදී මුහුණ දෙන කඩඉම් විභාගය ජය ගැනීමට දරුවාට ශක්තියක් වන්න. 

 


හැම දරුවෙකුටම එකම ප්‍රතිඵල ලැබෙන්නේ නෑ 
දරුවන් එකිනෙකාට වෙනස්ය. ඒ නිසා ඔවුන් තවත් දරුවන් සමග සැසඳීමට නොයන්න. දරුවන්ගේ හැකියාවන් එකිනෙකාට වෙනස්ය. ඔවුන්ට ඔවුන් වඩා දක්ෂ හා කැමැත්තක් දක්වන විෂය ධාරාවන් හැදෑරීමට ඉඩ ලබා දීමෙන් ඔබගේත්, ඔවුන්ගේත් බලාපොරොත්තු ඉටු කර ගැනීමට මග සැලසෙයි.


කඩඉම් විභාග උසස් ලෙස සමත් නොවී ලෝකය ජයගත් විද්වතුන් ගැන ලෝකයේ මෙන්ම අප රටෙන්ද ඕනෑ  තරම් උදාහරණ සොයා ගත හැකියි. දරුවාගේ විභාග ප්‍රතිඵලය දෙස මවුපියන් බුද්ධිමත් ලෙස බලා ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට ඔවුන්ට නිරතුරු ශක්තියක් විය යුතු ය.


විභාගවලට මුහුණ දීමේදී මෙන්ම ප්‍රතිඵල ලැබීමෙන් පසුවද මානසික ආතතියක් ඇතිවීම ස්වාභාවිකය. හරිහැටි කළමනාකරණය නොකළ ආතතියක් දිගු කාලයක් පැවතීමෙන් මානසික රෝගාබාධ පවා ඇති විය හැකිය. ඒ නිසා දරුවන් තුළ ආතති දරා ගැනීමේ හැකියාව මෙන්ම ජීවන කුසලතා ද වැඩි දියුණු කිරීමට ද  උනන්දු විය යුතුයි.


ආදරණීය හා සුරක්ෂිත වටපිටාවක් නිවස තුළ ඇති කිරීම මෙන්ම විභාගයට සූදානම් වන දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා ගැන මෙන්ම අවශ්‍ය පමණ නින්ද, ක්‍රියාශීලීබව ගැනද අවධානය යොමු කළ යුතුයි.
විභාගය යනු දරුවාගේ මුළු ජීවිතයම නොවේ. විභාගය කටු අත්තක් නොව මල් ඉත්තක් බවට ගත් කරගන්න. ඒ හැකියාව ඇත්තේ දරුවන්ට ය. ඒවාගේම වැඩිහිටියන්ටය.

සුබෝධිනී පෙරේරා


 

බුද්ධ දේශනාවේ පවා සදහන් වූ කළු කුහරයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සොයාගෙන Read Previous

බුද්ධ දේශනාවේ පවා සදහන් වූ කළු කුහරයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සොයාගෙන

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක්ට 60යි Read Next

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක්ට 60යි

Realted Post

Leave a comment