43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය - චානු දිසානායක

ඉතිං චානු කොහොමද ජීවිතේ?

මේ දවස්වල ගොඩාක් සතුටින් ඉන්නවා. ඒ වගේම ගොඩාක් කාර්යයබහුලයි.

යෞවන සම්මාන උළලේ දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය ලෙස ඔබ ඇගයීමට ලක්වුණා. ඒ ගැන මොකද හිතන්නේ?

මගේ ජීවීතේට ලැබුණ වෙනස්ම විදියේ අභියෝගයක් ඒක. මම බලාපොරොත්තු වුණේ නැහැ මට මේ සම්මානය ලැබෙයි කියලා. මෙවර යෞවන සම්මාන උළෙල පැවත්වුණේ වසර දෙකකට පසුවයි. ඉතින් ලොකු තරගයක් තිබුණා. දක්ෂයෝ ගොඩක් සම්බන්ධ වෙලා හිටියා. ඒ අතරින් වෙනත් ක්ෂේත්‍රයකින් ආපු කෙනෙක් විදියට මේ ලැබුණ ජයග්‍රහනය මට ගොඩාක් වටිනවා.

ඔබ ඇගයීමට ලක්වුණුරැඩිකල් ප්‍රේමයක්නාට්‍ය‍ ගැන කතා කළොත්?

රැඩිකල් ප්‍රේමයක් නාට්‍ය දුලාන් වීරසිංහගේ නිර්මාණයක්. එහි ප්‍රධාන තේමාව බවට පත්වන්නේ කාන්තාව සහ ප්‍රේමය. කාන්තාව කොයි විදියටද ප්‍රේමය දරාගන්නේ, කාන්තාවට තියෙන සමාජ තත්ත්වය, පිරිමියා තුළ කාන්තාව භාණ්ඩයක් විදියට හුවමාරු වෙන්නේ කොහොම ද මේ වගේ දේවල් ඉතා සියුම්ව නාට්‍ය ඇතුළේ කතා කරනවා. මට එහි රග දක්වන්න තිබුණේ රැජිනගේ චරිතය. ඇත්තටම 25කට ආසන්න ප්‍රමාණයක් මේ නාට්‍ය‍යේ රංගනයෙන් දායක වෙනවා. මාස ගණනාවක් අපි එකදිගට පුහුණුවීම් කළා. එහි ප්‍රතිඵලයක් තමයි මේ ජයග්‍රහණය.

මීට පෙර ඔබට නිවේදනය වෙනුවෙන් සම්මාන ලැබිලා තියෙනවා. ඒත් මේ රංගනය වෙනුවෙන් ලැබුණ පළවෙනි සම්මානය නේද?

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේ රංගනය වෙනුවෙන් මට සම්මාන ලැබිලා තියෙනවා. නමුත් මේක ගොඩක් විශේෂයි. මොකද ජාතික යෞවන සම්මාන කියන්නේ ලංකාවේ තියෙන ජාතික මට්ටමේ දැවැන්තම තරගාවලියක්. රාජ්‍ය නාට්‍ය උළෙල හා සමානවම ලොකු වැදගත්කමක් තියෙන සම්මාන උළෙලක්. එහි හොදම නිළිය ලෙස ලැබුණ මේ සම්මානය රංගනය පැත්තෙන් මගේ ඉදිරි ගමනට ලොකු අභිප්‍රේරණයක් වෙයි. මොකද මම වේදිකා නාට්‍ය රංගනයට ඇවිත් ලොකු කාලයක් නැහැ. කෙටි කාලයක් ඇතුළත මේ සම්මානය දිනා ගැනීමට ලැබීම මට ගොඩක් වටිනවා.

බොහෝදෙනා ඔබව හඳුනන්නේ නිවේදිකාවක් විදියට. කොහොම ද රංගනයට ප්‍රවිශ්ඨ වෙන්නේ?

මම පාසල් අවධියේ සිටම රංගනයට ගොඩක් ලැදියි. පාසලේ දී සහ විශ්වවිද්‍යාල කාලයේ දී මම වේදිකා රංගනයට දායක වෙලා තියෙනවා. මහාචාර්ය මංගල සේනානායක මහතා සහ මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ මම රංගනය හදාරලා තියෙනවා. ඒ වගේම මම මාදනී මල්වත්ත මහත්මියගේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් විදියට පුහුණුවීම් කළා. ඒ පසුබිම එක්ක මට රංගනය අලුත් දෙයක් වුණේ නැහැ. ඊට පස්සේ චන්න දේශප්‍රිය මහතාගේ යූ ටර්න් චිත්‍රපටයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ පළවෙනි චිත්‍රපටිය. ඒ වගේම මම ටෙලිනාට්‍ය තුනකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. 

රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න ද චානුගේ කැමැත්ත?

ඔව්. රංගනය කියන්නේ පහසු දෙයක් නෙමෙයි. මේක මට අලුත් අත්දැකීමක්. මම තවමත් රංගනය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. 

චානු ඉදිරියේ දී නිවේදන කටයුතුවලින් සමුගනීවිද?

නැහැ. මම මුළින්ම ගොඩනැගෙන්නේ නිවේදිකාවක් විදියට. ඒ නිසා මම නිවේදන කටයුතු වලින් ඈත් වෙන්නෙ නෑ. මම ප්‍රවෘත්ති නිවේදිකවක් විදියට දිගටම වැඩ කරනවා. 


ඔබේ ජීවිතේ මේ දක්වා ආපු ගමන ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මෙච්චර අඩු වයසකින් විවිධ අංශවලින් මම සම්මාන ලැබුවා. මගේ අධ්‍යාපන කටයුතු වලින් වගේම මගේ වෘත්තියෙනුත් මම බලාපොරොත්තු වුන විදියට මගේ ඉලක්කවලට මම ඇවිත් තියෙනවා. මම මේ ගමන එන්න ගොඩාක් මහන්සි උනා. මට හිතෙනවා ඒ මහන්සියේ ප්‍රතිඵල මම දැන් භුක්තිවිදිනව කියලා. හැබැයි මගේ කාර්යයබහුලත්වය නිසා මට අම්මා තාත්ත එක්ක ඉන්න තියෙන කාලය අඩුයි. ඒක තමයි පොඩි දුකකට තියෙන්නේ.

චානුගේ අනාගත බලාපොරොත්තු මොනවා ද?

නිවේදන කටයුතුත්, රංගන කටයුතුත් සමබරව කරගෙන ඉදිරියට යෑම තමයි මගේ බලාපොරොත්තුව. ඉදිරියේ දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධිය හැදෑරීමට සූදානමින් ඉන්නවා.

සටහන

තක්ෂිලා පතිරණ

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි Read Previous

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි

දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast Read Next

දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast

Realted Post

Leave a comment