Nude Pics ඔබේද? පැය 24න් ඉවත් කරගන්න විදිය

ඔබගේ අසභ්‍ය වීඩියෝ පටයක්, ඡායාරූප, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට අනවසරයෙන් මාධ්‍යවලට මුදාහැර ඇත්නම් එම වීඩියෝ පට සහිත පිටු, ලින්ක් සහ සාක්ෂි සහිතව ශ්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදයේ 101 හදිසි ඇමතුම් අංකයට කතා කිරීමෙන් ඒ අදාළ පරීක්ෂණ කටයුතු සිදුකර පැය විසිහතරක් යෑමට මත්තෙන් ඔබට එම සියලූ දර්ශන ඉවත් කරගත හැකිය.

බොහෝ විට සමාජය තුළ කාන්තා හිංසනය පිළිබඳව කතාබහක් ඇතිවන්නේ දරුණු ගණයේ අපරාධයක් ඉස්මතු වූ විට පමණි. එහෙත් කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද හිංසනයට පත්වන කාන්තාවන් ගණන සංඛ්‍යාත්මකව නිර්ණය කළ නොහැකි තරම්ය.
ඒ හිංසන අතරට මේ දිනවල පරිගණකවලින් සිදුවන අපරාධ ද බොහෝ වාර්තා වෙමින් තිබේ. එම වාර්තාවන සිද්ධිවලින් වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන් මූලික කොට ගනිමින් ඇති වූ අපරාධ ය.

නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ  

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් ව්‍යාජ ගිණුම් භාවිතා කර සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම්, සමාජ මාධ්‍ය වෙත අනවසරයෙන් ඇතුළු වී කෙරෙන අපරාධ බහුලව සිදුවෙමින් තිබේ. එහිදී කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පළ කිරීම, කාන්තාවන්ගේ සාමාන්‍ය ඡායාරූප සංස්කරණය කර වෙනත් නිරුවත් ඡායාරූප සමග බද්ධ කර සමාජ මාධ්‍ය තුළ පළ කිරීම් සම්බන්ධ සිද්ධි බොහෝ සේ වාර්තා වේ. එලෙස ව්‍යාජ සහ සංස්කරණය කරන ලද ඡායාරූප බොහෝවිට කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවල එම කාන්තාවන්ගේ දුරකථන අංක සමග පළ කරනු ලැබේ. එවැනි සිදුවීම් සිදුවන්නේ බොහෝවිට වෛරී අරමුණු පදනම් කර ගනිමිනි. 

හුදකලාව වරදට යන පාරක් ද? 

ඒ වගේම පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා එය යම් ගැටලූකාරී තත්ත්වයකදී නවත්වා දැමීමෙන් කෝපයට පත් ඇතැම් පිරිමින් සබඳතාව පැවැත් වූ අවධියේ ලබාගත් අතිශය පෞද්ගලික ඡායාරූප, වීඩියෝ වෛරී චේතනාව පදනම් කර ගනිමින් සමාජ මාධ්‍යවලට මුදා හරිනු ලබයි. අවුරුදු 30, 40 අතර නිවසේ රැඳී සිටින කාන්තාවන් ද බොහෝවිට හුදකලාව නිවෙසේ තනිව සිටීම හේතුවෙන් පාළුව, කාන්සිය මකාගැනීමට ජංගම දුරකථනයට ඇබ්බැහිවීම තුළින්ද නොදැනුවත්වම වරදේ බැඳීම් මත කරදරවලට මුහුණ දෙන අවස්ථාද බහුලය. සමහරු හුදකලාවේ නිවසේ සිටින කාන්තාවන් රවටා දුරකථන ඇමතුම්, වීඩියෝ දුරකථන ඇමතුම් ලබාදී නොදැනීම එම කාන්තාවන් වරදට පොලඹවා ගනිති. දුරකථන ඇමතුම් පටිගත කර පසුව අන්තර්ජාලයට මුදාහරින බව පවසා බ්ලැක්මේල් කර මුදල් උපයන අවස්ථාද බොහෝ තිබේ.

සල්ලි දුන්නට තෑග්ග නෑ 

කාන්තාවන් ඉලක්ක කරගනිමින් තවත් වංචා ගණනාවක්ම සිදු වේ. එම වංචා අතරට මේ දිනවල ප‍්‍රසිද්ධ අපරාධ සිද්ධියක් ලෙස වාර්තා වන්නේ කෝටිපති විදේශිකයන් ලෙස ව්‍යාජ ගිණුම් ඔස්සේ පෙනී සිටිමින් කාන්තාවන් රවටා ඔවුන්ට ත්‍යාගය ලංකාවට එවීම සඳහා තැපැල් ගාස්තුව ගෙවන මෙන් ලක්ෂ ගණනින් වංචා කිරීමයි. මෙම ජාවාරමට රැවටුණු කාන්තාවන් මේ වනවිට බොහෝ සිටින නමුත් සමාජයේ රැවටීමකට ලක් වූ බව සඳහන් කිරීමට ඇති ලැජ්ජාව නිසාම මේ පිළිබඳ සමාජයේ කතාබහට ලක් කිරීමට ඔවුන් පෙලඹෙන්නේ නැත. 


පුංචි සතුට බරපතළ වරදක් වෙන හැටි 

මේ කාලවකවානුව තුළ තිබෙන අධි පීඩාකාරී වටපිටාව තුළ කාන්තාවන් ඔවුන්ගේ තිබෙන අධ්‍යාපනික, පවුල් බර, රැකියා ගැටලූ වැනි පීඩා හිස මත තබාගෙන කටයුතු කරන බැවින් සතුටක් ලැබෙන පොඩි අවස්ථාවට බොහෝ බැඳෙයි. එහි දී  සිදුවීමට තිබෙන වරදේ බරපතළකම එම අවස්ථාවේ නොතේරෙන්නේ ඔවුන්ට තිබෙන පීඩාව නිසාවෙනි. එවැනි අවස්ථාවල කාන්තාවන් පාවිච්චි කරමින් හිංසනයට ලක් කිරීම් ද බොහෝ විට සිදු වේ. 
කාන්තාවන් දුරදිග නොබලා සිදුකරන ක‍්‍රියා හේතුවෙන් ද ඔවුන්ට මෙවැනි කරදරවලට මුහුණ දීමට සිදු වී තිබේ. තමන්ගේ සමාජ මාධ්‍ය සඳහා යොදා ඇති මුරපද (password) කා සමගවත්, සමීපතමයන් සමග හෝ බෙදා නොගන්න, පෙනෙන තැනක වුවද ලියා නොතබන්න. ලෙහෙසියෙන් තවත් පුද්ගලයෙකුට අනුමාන කළ හැකි උපන් දින, වර්ෂ වැනි සංඛ්‍යා ඒ සඳහා භාවිත නොකරන්න. දීර්ඝකාලීනව එකම මුරපදය භාවිතා නොකර මාස කිහිපයෙන් කිහිපයට මුරපදය වෙනස් කරගැනීම ද ඔබට සිදුවන මෙවැනි වංචා සහගත ක‍්‍රියාවලින් බේරීමට එක් මාර්ගයකි. බොහෝවිට කාන්තාවන් ජංගම දුරකථන අලූත්වැඩියාව සඳහා විවිධ වෙළෙඳසල්වලට ලබා දී මුරපදය ද ලබා දෙයි.  එය නොකළ යුත්තකි. යම් අතපසුවීමක් සිදු වුවහොත් ඔබගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට ඔබට එයම වුව ප‍්‍රමාණවත් වනු ඇත.
මෙලෙස ඔබගේ අසභ්‍ය වීඩියෝ පටයක්, ඡායාරූප, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට අනවසරයෙන් මාධ්‍යවලට මුදාහැර ඇත්නම් එම වීඩියෝ පට සහිත පිටු, ලින්ක් සහ සාක්ෂි සහිතව ශ්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය වෙත 101 හදිසි ඇමතුම් අංකයට ලබාදීමෙන් ඒ අදාළ පරීක්ෂණ කටයුතු සිදු කර පැය විසිහතරක් යෑමට මත්තෙන් ඔබට එම දර්ශන ඉවත් කරගත හැකි වේ. 
ඔබගේ ජංගම දුරකථනය සහ අන්තර්ජාලය භාවිතය පරීක්ෂාකාරීව පවත්වා ගැනීමට ඔබ තව තවත් අවධානය දෙන්න.

පියුමිකා වීරසූරිය

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල Read Previous

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Next

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

Realted Post

Leave a comment