දරුවො නිසා අපි විඳින්නේ නිරාමිස සතුටක්

 

ශාමා කල්පනී 44 හැවිරිදි වියේ පසුවන අනුරාධපුරය මහබුලන්කුලම ගම්මානයේ පදිංචිකාරිනියකි. ඇයගේ සැමියා රංජිත් වන්නිනායක, හේන් ගොවියෙකි.


රංජිත්ට දාව ශාමාට පිරිමි දරුවන් තිදෙනෙක් සිටින අතර, මේ වන විට ඒ තිදෙනාම කසාවත දරමින් මහන දම් පුරන්නේ මතු බුදුවීමට පාරමිතා පුරමිනි. 


ලෝකයේ තිබෙන ලොකුම වේදනාව ලෙස සැලකෙන්නේ ප්‍රසූත වේදනාවය.


ඒ වේදනාව තුන් වතාවක් විඳ දරා ගනිමින් ශාමා මෙලොවට දරු තිදෙනෙක් බිහිකර රුහිරු ලේ කිරිකර පොවා අනේකවිද දුක් ගැහැට කම්කටොලු මැද හදා වඩා ගත් ඔවුන් බුදු සසුනට පූජා කළ උත්තම මාතාවක් වන්නීය.
ශාමාගේ හා රංජිත් ගේ සත් හැවිරිදි බාල පුතණුවන් වන අට හැවිරිදි ධනුක් බුද්ධික රාජාංගනය ආඬිගල රජමහා විහාරස්ථානයේ ශාක්‍යමුණි සදහම් අරණේදී පසුගිය දා සසුන්ගත වූයේ සුබ නැකැත් බලාය. ඒ මීගහවැවේ මහින්දරතන යන නමිනි. 


ශාමාගේ දෙවැනි පුතු වූ 16 හැවිරිදි මීගහවැවේ විමලරත්න සාමණේර හිමියෝ මේ වන විට රජරට ගුවන් විදුලියෙන් ධර්ම දේශනා 102ක් පවත්වා සසුනඹරේ නොමැකෙන සලකුණක් ද තබා ඇත.


ශාමාගේ වැඩිමල් දරුවා වන මීගහවැවේ ධර්මරත්න සාමණේර හිමියෝ මහණදම් පුරන්නේ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ගුරුහරුකම් ලබමිනි.


අනෙක් සාමණේර සහෝදර හිමිවරුන් දෙදෙනා මහණ දම් පුරනුයේ ආඬිගල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කැටකාලේ උපරතන හිමියන්ගේ අනුශාසනා යටතේය.


දරුවන් තිදෙනා සසුනට පූජා කළ ශාමා කල්පනී සමග කළ කතාබහ මෙසේ පෙළගස්වන්නෙමු.

 


දරුවන් ළඟ නොසිටීම ගැන දුකක් දැනෙන්නේ නැද්ද?
කොහෙත්ම නැහැ. මට විතරක් නොවේ, මගේ මහත්තයාත් දරු තිදෙනා මහණවීම ගැන ලොකු සතුටක් ලබනවා. දරුවන් මහණ වුණා කියා දුක්වෙන්න හේතුවක් නැහැ. දුක්වෙන්න ඕනෑ අයාලේ ගියා නම්.

 




දරු තුන්දෙනා මහණ වුණේ ඔවුන්ගේ කැමැත්තෙන්ද?

පූජ්‍ය කැටකාලේ 
උපරතන හිමියෝ


ඔව්. ඔවුන්ගේ කැමැත්තට අපි ඉඩ දීලා ආශිර්වාද කළා. ලොකු පුතා මහබුලන්කුලම මහා විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ මහණ වෙන්න ඕනෑ කියා නිතරම කිව්වා. ඒ නිසා ඔහුගේ කැමැත්තට අපි ඉඩ දුන්නා.


දෙවැනි පුතා මීගහවැවේ විමලරතන සාමණේර හිමියන් රජරට සේවයේ ධර්ම දේශනා පවත්වනවා නේද?
ඔව්, මගේ දෙවැනි පුතා විමලරතන සාමණේර හිමියන් රජරට ගුවන්විදුලි සේවයේ හැම පොහොය දිනකම ධර්ම දේශනා පවත්වනවා. ධර්ම දේශනා පැවැත්වීමට උන් වහන්සේ හරිම දක්ෂයි. මම විතරක් නෙමෙයි මගේ මහත්තයත් උන්වහන්සේගේ ධර්ම දේශනා නොවරදවාම අසනවා. ඒ වෙලාවට ඇතිවෙන්නේ කියන්න බැරි තරම් සතුටක්. 


බාල පුතත් සසුනට පූජා කළා නේද?  
ධනුක පුතා මොන්ටිසෝරි යන්න පටන් ගත්තේ අවුරුදු 4 දී. ධනුක පුතා පොඩි හාමුදුරුවරු බලන්න ආඬිගල පන්සලට ගියාම බොහෝම අමාරුවෙන් ආපසු ගෙදරට කැන්දාගෙන එන්නේ. ගෙදර යන්න බැහැ කියා හඬනවා. ටික කාලයක් යනකොට ධනුක පුතා පන්සලේ නැවතුණා. ගෙදර එක්කරගෙන එන්නම බැරි වුණා. එතැන් පටන් බාල පුතා හැදුණේ වැඩුණේ කැටකාලේ උපරතන හිමියන්ගේ රැකවරණය ලබමින්. උන්වහන්සේගේ අනුශාසනා පරිදි බාලම පුතත් පසුගියදා සසුන්ගත වුණා.” 


ආඬිගල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කැටකාලේ උපරතන හිමියන් විහාරස්ථානයේ දියුණුවට සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරනවා.  ශ්‍රී විද්‍යාජෝති පිරිවෙන ද 90 දශකයේ ආරම්භ කර තිබෙන්නෙත් උපරතන හිමියන්ගේ මූලිකත්වයෙන්.  

රාජාංගනය ඩබ්ලිව්. පී. සුදත් රත්නසිරි මහතාට විශේෂ ස්තූතිය.

 

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


 

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

I Will Always Love You ඩොලී පාර්ටන් Read Next

I Will Always Love You ඩොලී පාර්ටන්

Realted Post

Leave a comment