රට යන හරි පාර

මේ වන විට තිබෙන දැඩි පීඩනකාරී ආර්ථික රටාවත් සමග කාන්තාවන් මෙන්ම පිරිමිද රට රැකියා සඳහා පිටත්ව යෑමේ නැඹුරුවක් දක්නට ලැබේ. දහසකුත් බලාපොරොත්තු සිතෙහි දරාගෙන එම පැතුම් සඵල කර ගැනීම සඳහා විදෙස්ගත වන ඔබ විදෙස් ගත වෙන්නේ නීත්‍යනුකුල ක‍්‍රමයට ද? ඔබ විදෙස්ගතවීමෙන් පසු ඔබට කුමක් සිදුවෙයිද? යන කරුණු පිළිබඳව ඔබ වඩාත් අවබෝධයෙන් සිටිය යුතු වේ. 

රට යන ක‍්‍රම  2 ක් 

සාමාන්‍යයෙන් ගෘහ සේවිකාවන් ගෘහ සේවය සඳහා විදෙස්ගත වන ක‍්‍රම දෙකක් තිබේ.

පළමු ක‍්‍රමය : නීත්‍යානුකුල ක‍්‍රමය මත විදේශසේවා නියුක්ති කාර්යාංශය හරහා අදාළ ගිවිසුම් අත්සන් කරමින් නියෝජිතයින්  මාර්ගයෙන් විදෙස්ගතවීම.  

දෙවන ක‍්‍රමය : නිසියාකාර ලියකියවිලි  නොමැතිව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම්දීමකින් තොරව, නීති විරෝධී නියෝජිතයන් මාර්ගයෙන් විදෙස් ගතවීම.
දෙවන ක‍්‍රමයෙන් විදෙස් ගත වූවන්ට විදේශීය රටකදී බොහෝ ගැටලූ, ප‍්‍රශ්න ස`දහා මුහුණ දීමට සිදු වේ. සෞදි අරාබිය,  ඕමාන් වැනි රටවල දී මේ ගැටලූව තදින්ම බලපායි. නීත්‍යනුකූලව  විදෙස්ගත වී ඇත්නම් ඔබට එරට දී සිදුවන ගැටලූ පිළිබඳව එම රටේ කම්කරු දෙපාර්තමේන්තුව හරහා  විමර්ශනයක් ද සිදු කළ හැකියි. එහෙත් රැකියාව කුමක්දැයි පවා නිසියාකාරව නොදැන නීති විරෝධීව රට යන පිරිස් ද සිටිති. ඔවුහු ඒ රටවල රැකියාවල දුක විඳදරා ගැනීමට නොහැකිව එම රටවල තිබෙන සුරක්ෂා නිවාසවලට පැන යති. එහිදී ඔවුන්ට නැවත ලංකාවට ඒමට නොහැක. විදෙස් ගමන් බලපත‍්‍රය නොමැතිකමෙන් එහිදී ගැටලූ රාශියකට මුහුණ දීමට සිදු වේ. ඔවුන්ට සිදුවන අසාධාරණය සම්බන්ධව කටාර් රාජ්‍යයේ නම්, කටාර් රාජ්‍යයේ මානව හිමිකම් කොමිසම සහ විදේශසේවා නියුක්ති කාර්යාංශය විසින් අත්සන් කරන ලද ඵධඹ එක මත ඔවුන්ගේ කම්කරු නීතිය යටතේ වැඩ කටයුතු කරයි. 

ෂරියා නීතිය හරිම තදයි 

එහෙත් මෙහි තිබෙන තවත් ගැටලූවක් නම් ලංකවේ සහ මැදපෙරදිග රටවල ක‍්‍රියාත්මක නීතිය එක සමාන නොවීමය. සමහර රටවල්වල තිබෙන ෂරියා නීතිය ඉතා වෙනස්ය. එහිදී බොහෝ දුරට උසාවිවලට ගියත් භාෂාව පිළිබඳ පැන නගින ගැටලූව මත නීතිය දිගටම ක‍්‍රියාත්මක කිරීමේ ගැටලූ මතු වේ. 

වන්දි ලැබෙන අය කවුද? 

නීත්‍යනුකූලව විදෙස්ගත වූ ශ‍්‍රමිකයෙක් මෙලෙස  හිංසනයට ලක් වූ විට ඔහුට හෝ ඇයට වන්දියක් දී නැවත හරවා එවනු ලබයි. ඒ වගේම රක්ෂණයක් තිබේ. ඒ රක්ෂණයෙන් බොහෝ දුරට එම වන්දි මුදල ලබාදෙයි. මෙහිදී ජාවාරම් සිදුවීම ද බහුලය. නොදන්නා රටක නොදන්නා භාෂාවක් සමග අතරමං වන ශ‍්‍රමිකයන්ගේ ශරීරාංග ලබාගෙන නැවත ලංකාවට එවීම් ගැන පවා වාර්තා වේ. එවිට එම රටවල් තුළ සිටින තානාපති කාර්යාල හෝ කවුන්සලර් මාර්ගයෙන් නීතිය ක‍්‍රියාත්මක කළ හැකිය. මේ නීතිය ක‍්‍රියාත්මක කරන විටත් විවිධ ගැටලූ පැන නගී. ඇතැම් අවස්ථාවල මාස ගණනාවක් සේවය කළත් වැටුප් ගෙවා නොමැති අවස්ථා, ශාරීරික වද හිංසා පැමිණවීම් සහ එල්ලා මැරීම සිදු වේ. එහිදී එල්ලී මැරුණාද, මරා එල්ලූවාද යන ගැටලූ මතුවෙයි. නීතිය ක‍්‍රියාත්මක කිරීමේ දී එවැනි ගැටලූ සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. එවැනි විටෙක පවා නීතිය ක‍්‍රියාත්මක වන්නේ එම රටවල්වල ක‍්‍රියාත්මක ෂරියා නීතිය අනුවය. එම නීතිය තුළ ක‍්‍රියා කිරීම ඉතා අපහසු ය.  භාෂා පරිවර්තකයින් සහ නීති සහාය අවශ්‍ය  වේ. මේ කාරණා ඒ රටවල්වල දී සිදුකර ගැනීම ඉතා සංකීර්ණය. ඒ නිසාම මුලින්ම කළ යුත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ අමාත්‍යාංශය සහ ඒ රටවල්වල කම්කරු අමාත්‍යාංශය සමග නිසි අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගනිමින් මේ පිළිබඳව දත්ත ලේඛන සාදා ඒ අනුව ක‍්‍රියා කිරීමයි. මේ ක‍්‍රමවේදයට අනුව නිවැරදිව ක‍්‍රියා කිරීම සිදුවන්නේ බොහොම සුළු පිරිසක් අතර පමණය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උදව් ලැබෙනවා 

මෙලෙස කරදර හිරිහැර වදහිංසාවලට ලක් වන්නන් සිටිනවා වගේම එලෙස නොවන අවස්ථාත් දක්නට ලැබේ. නීත්‍යනුකූල මට්ටමින් විදෙස්ගත වන්නන්ට බොහෝවිට රැකියාව සිදුකරගෙන පහසුවෙන් සිටීමේ හැකියාව තිබේ. සමස්තය ගත් විට පන්දහසකින් එක් අයෙකුට, දෙදෙනෙකුට මෙවැනි කරදර හිරිහැර සිදු වුවත්, සමස්තයක් ලෙස විදෙස්ගත වන්නන්ට හොඳින් සලකනු ලබයි. නීත්‍යනුකූල මාර්ගයෙන් විදේශගත වුවහොත් නම් නිසැකවම රජයට ඔවුන්ගේ වගකීම පැවරෙයි. රක්ෂණය තිබීමත්, වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරීමේ හැකියාව ද තිබේ. 

සමහර රටවල් තමන්ගේ පුරවැසියා හිරේ දාන්නේ නෑ 

සමහර ඇතැම් රටවල් තම පුරවැසියෙක් විදෙස් ශ‍්‍රමිකයෙකුට පහරදීමක් හෝ හිංසනයක් කළ විට ඔවුන්ව සිරභාරයට ගන්නේ නැත. එහෙත් ඒ රටේ පුද්ගලයෙක් ඒ රටේම තවත් පුද්ගලයෙකුට හිංසා කළහොත් ෂරියා නීතිය අනුව නීතිය ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී අපට නීතිය ක‍්‍රියාත්මක කිරීමට නම් තානාපති කාර්යාල හරහා නීති සහාය ලබාගත යුතුයි. එසේ නොමැති නම් එම රටේ පොලීසියට දන්වා, අපරාධ නීති සම්බන්ධව ක‍්‍රියා කිරීමට සැමවිටම භාෂා පරිවර්තකයකු සිටිය යුතුය. එහෙත්් මේ විමර්ශන කටයුතු නිවැරදිව සිදු කරනවාද යන බවට අපට නිවැරදි නිගමනයකට ඒම අපහසුය. 

ලංකාවෙදි නඩු දාන්න බෑ 

සමහර අවස්ථාවල විදෙස්ගත වී කරදරවලට මුහුණ දුන් ගෘහ සේවිකාවෝ නැවත ලංකාවට පැමිණෙති. ලංකාව තුළ දී ඇයට විදේශයකදී සිදුවූ හිංසනයට සම්බන්ධව නඩුවක් දැමීමට නොහැක. ලංකා උසාවිය  එම නඩු බාරගන්නේ නැත. එයට හේතුව විත්තිකාර පාර්ශ්වය විදෙස් රටකවීමයි. එහෙත් පරිගණක අපරාධ වැනි නඩු ඇසිය හැකිය. ඒ හැර මෙරට  විදේශ අමාත්‍යාංශය හරහා ලංකාව තුළ නඩුවක් පවරා ඒකපාර්ශ්වික තීන්දුවක් ලබාගැනීම 1958 නිව්යෝර්ක් සම්මුතිය යටතේ සිදු කළ හැකිය. එවිට ඒ රටවලදී නීතිය ක‍්‍රියාත්මක කළ හැකි නමුත් එවැනි දේ සිදුවීම් බොහෝ සේ අඩුය.

ඔබ විදෙස් රටකදී හිංසාවට ලක්වුවාද? 

ඔබ රජයේ ලියාපදිංචි වී විදේශගතව ගෘහ සේවිකාවක්ව කටයුතු කරමින් සිටින විට හිංසනයට ලක්ව නැවත මෙරටට ගෙන්වා ගත් අයෙකු නම් ඔබට රක්ෂණ සහතිකයක් තිබේ. ඒ අනුව එම මුදල ඔබට ලබාගත හැකිය. ඒ වගේම ලංකාවේ කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි වී විදේශ අමාත්‍යාංශය හරහා ඒ රටවල තානාපති කාර්යාල මගින් ඒ අයට ලබාදිය යුතු මුදලක් තිබෙනවා නම් එය වැඩ කරපු කාලයට අනුව ලබාගත හැකිය. එහෙත් ගිවිසුමට කලින් මෙරටට පැමිණියහොත් ලබා ගැනීම අපහසුය. එය කම්කරු නීතියයි. එහෙත් ශාරීරික වද හිංසා සිදු වී තිබෙනවා නම්, පහරදීම් සිදුවී තිබෙනවා නම්, ඒ සම්බන්ධව ඒ රටවල්වල  පොලීසියට කරුණු ඉදිරිපත් කර නීතිය ක‍්‍රියාත්මක කළ හැකිය. එසේ වුවත් ෂරියා නීතිය යටතේ එම රටේ පුද්ගලයින්ට නීතිය ක‍්‍රියාත්මකවීම බොහොම විරලය. අප රටේ නීති සහ විදෙස් රටවල නීති එකිනෙකට වෙනස් ය. ඒ නිසාම නිවැරදි නීති රාමුව ඇතුළත සිට විදෙස්ගතවීම අත්‍යවශ්‍ය ය. මේ වනවිටත් මෙරට බොහෝ පිරිස් වෙනත් රටවල් තුළ වැරදි සඳහා හසු වී සිරගතව සිටිති. ඔවුන් ගෙවන්නේ ඉතා දුක්ඛිත ජිවිතය. නීති විරෝධීව විදෙස්ගත වුවවොත් රජයේ මැදිහත්වීමකින් කිවක් කළ නොහැක. 

සටහන - පියුමිකා වීරසූරිය

 

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ Read Previous

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල Read Next

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල

Realted Post

Leave a comment