වැව්, විල්, කලපු එකට හමුවන වෙල්ලස්සේ අතීතයට යමු

 

දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය දිනාගත් ඉපැරණි ගමකට යන්නයි මේ සූදානම. නැගෙනහිර පළාතේ පිහිටි පානම ඒ ඉපැරණි ගම්මානය යි.  


පානම අතීතය ඌව වෙල්ලස්ස  කැරැල්ල දක්වා විහිදෙයි. පානම ගම්මානයේ එක් පසෙකින් මුහුදු තීරයට සීමා වන අතර කුමන ජාතික වන උද්‍යානයට හා කුඩුම්බිගලට අනෙක් පසෙන් මායිම් වේ. නැගෙනහිර පළාතේ සුන්දරතම වෙරළ තීර අතර පානම වෙරළ තීරය ප්‍රමුඛ ස්ථානයක් ගනී. මෙය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සංචාරක කලාපයකි. මුහුදු තීරය එක දිගට වැලි කඳුවලින් හා ගල්පරවලින් වටවී ඇත. සුනාමි ව්‍යසනයෙන් පානම ගම බේරී ඇත්තේ මෙම වැලි හා ගල්කඳු නිසාවෙනි. 


පානම ප්‍රදේශයේ ඉතිහාසයේ සඳහන් වන්නේ නැගෙනහිර පළාතේ වදිගම හා මියන්ගොඩ ප්‍රදේශවල ජනතාව වෙල්ලස්ස කැරැල්ල සමග පානමට සේන්දු වූ බවය.  පානම වැසියන් වැඩිදෙනෙකුගේ ජීවනෝපාය ගොවිතැන, ගොඩ බෝග වගාව හා මසුන් ඇල්ලීම ය. මෙහි බහුතරයක් පිරිස සිංහල ජාතිකයෝ ය. ඇතැම් දමිල ජනතාවගේ නම් ද සිංහල නම් හා මිශ්‍රවී ඇති බව විශේෂයෙන් දක්නට ලැබෙන්නකි. 


ත්‍රස්තවාදී උවදුරු සමයේදී ද පානම ජනතාව තම ගම් බිම් අතහැර නොයා සිට ඇති බවත් කැලයට ගිය ගම්වාසීන් බොහොමයක් එකල මරා දමා ඇති බවත් ගම්වැසියෝ අප හා කීහ. පානම ඉතා දුෂ්කර ප්‍රදේශයක්ම නොවේ. ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට සියලු පහසුකම් මෙහි පිහිටා තිබෙන අයුරු දැකගත හැකිය. 


එහි රෝහල, පොලිසිය, පාසල, පූජනීය ස්ථාන ඇතුළු පොදු පහසුකම් සහිතය. පානම දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය වීමට තවත් විශේෂ හේතුවක් වන්නේ පානම වැවයි. මුහුදු තීරයට යන අතරතුර මෙය හමුවෙයි. කිඹුලන් ගහන වැවක් ලෙස එය ප්‍රසිද්ධය. කුඩුම්බිගල, පාසිකුඩා, අරුගම්බේ,  කුමන, ඔකද ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයෝ පානම මුහුදු තීරය හා වැව දැක බලා ගැනීමට අමතක නොකරති. 


කුඩුම්බිගල සැතපෙන  බුදු පිළිමය ද නැගෙනහිර විශේෂිත ස්ථානයකි. එය  අතීත ගල්වඩුවාගේ කලා කුසලතාව මනාව පෙන්නුම් කරන පිළිමයකි. කුඩුම්බිගල එදා ත්‍රස්තවාදී සමයේදී විවිධ හිරිහැර කරදරවලට විටින් විට මුහුණ දුන් පුද බිමකි. එහෙත් එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේ පුදබිම අත්හැර නොගිය අතර ත්‍රිවිධ හමුදාව එය රැක ගැනුමට කළ කැප කිරීම් ද ප්‍රශංසනීය ය.


මෙම පුදබිම නැරඹීමට යන අතරතුර හමුවන ඔකද දේවාලය ඇතුළුව දැකබලා ගැනීමට ඇති දේ බොහෝය. වල් අලි, කුරුලු විශේෂ බොහොමයකි. පානම රමණීය මුහුදු තීරයෙ පහස විඳ ගැනීමටද මේ සංචාරයේදී අමතක නොකරන්න. 


සටහන/ඡායාරූප : ශාන් බන්දු වීරසිංහ 


 

 

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion Read Previous

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion

එයා නම් කහ කිරිල්ලියක් වගේ Read Next

එයා නම් කහ කිරිල්ලියක් වගේ

Realted Post

Leave a comment