“නාටු නාටු” ඔස්කාර් සම්මාන උළලේ හොඳම මුල් ගීතය සඳහා නිර්දේශිත නාම අතරට...

 

මාර්තු 12 වන දා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හී පැවැත්වීමට නියමිතව තිබෙන 2023 ඔස්කාර් සම්මාන උළලේ හොඳම මුල් ගීතය සඳහා (Best Original Song) නිර්දේශිත නාම අතරට තෙලිඟු බසින් තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වන RRR හි “නාටු නාටු” ගීතය නිර්දේශිත වී ඇත.


මේ පුවත “නාටු නාටු” ගීතයට පෙම්බැදි ලොව පුරා ඇති රසිකයින්ට මහත් ප්‍රීතියක් රැගෙන එන ආරංචියක් වී ඇති අතර මෙවර ඔස්කාර් සම්මාන උළලේදී මෙම ගීතය සම්මානයට පාත්‍රවනු ඇතැයි  රසිකයින් බලාපොරොත්තු දල්වාගෙන සිටී. මේ වන විටත් “නාටු නාටු”ගීතය බොහෝ අවස්ථාවන් හීදී ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගමන්කර තිබෙන අතර, ඒ සඳහා ගෝල්ඩන් ග්ලොබ් සහ ක්‍රිටික්ස් චොයිස් යන සම්මාන දිනාගෙන ඇති බවද වාර්තා වේ.


ගීතය ඔස්කාර් සම්මාන උළලේ නිර්දේශිත නාමයන් අතරට එක්වී ඇති බව නිවේදනය කර ඇත්තේ රිස් අහමඞ් සහ ඇලිසන් විලියම්ස් විසින් පසුගිය විසි හතර වනදා නාම යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදීය.


සම්මාන උළලේදී මෙම ගීතය සම්මානයට පාත්‍ර වුවහොත් ඉන්දියාවට චිත්‍රපට ගීතයක් සඳහා ඔස්කාර් සම්මානයක් හිමි වන්නේ 2009 වර්ෂයට පසුවයි. ඒ අනුව අවසන් වරට ඉන්දියාවට චිත්‍රපට ගීතයක් සඳහා ඔස්කාර් සම්මානයක් හිමිකර දුන්නේ ඒ. ආර් රහුමාන් විසින් 2009 යේ “ස්ලම්ඩෝග් මිලියනෙයර්” චිත්‍රපටයේ “ජය හෝ” ගීතය සඳහායි. කෙසේ නමුත් මේ වන විට ඔස්කාර් සම්මානයේ කෙටි ලැයිස්තුවට “නාටු නාටු” නිර්දේශ වූ දා සිට ගීතයට ආදරය කරන ලොවපුරා රසිකයින් එහි ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

නයනා උදයංගනී


 

ලෝක ළමා දිනය සමරමින්’’ සිහින සරුංගල් ’’ සිනමා අඹරට එක්වෙයි . Read Previous

ලෝක ළමා දිනය සමරමින්’’ සිහින සරුංගල් ’’ සිනමා අඹරට එක්වෙයි .

හරිත ලෝකයක කඳවුරු බඳින්න -  ONE TREE HILL Read Next

හරිත ලෝකයක කඳවුරු බඳින්න - ONE TREE HILL

Realted Post

Leave a comment