’’රටත්, ජනතාවත්, දරු පරපුරත් අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම වෙනුවෙන් අණ්ඩුවෙන් දැඩි තීරණ

මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන " යුක්තිය " මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්ධනය කිරීම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමේ අභිලාශයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනයට යටත්ව ස්වයංක්‍රියව මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය(Automated Facial Recognition System) අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට මෙම අධි තාක්ෂණය සහ කෘතිම බුද්ධිය භාවිතා කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නියමු ව්‍යාපෘතියක් ලෙස සීමිත සම්පත් භාවිතා කරමින් මෙම ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලබයි. ඒ සදහා අපරාධ වාර්තා කොට්ඨාසය තුළ පවත්වාගෙන යනු ලබන දත්ත පද්ධතියේ තොරතුරු පදනම් කර ගනිමින් සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දත්ත ඇතුළත් කර තිබේ.

මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ, විවිධ අපරාධ සිදු කරන ලද සංවිධානාත්මක අපරාධකරුවන් විදෙස්ගතව සිට අපරාධ මෙහෙය වීම, අපරාධකරුවන් බොහොමයක් අවිධිමත් ලෙස සකස් කරන ලද එනම් ව්‍යාජ ලේඛන භාවිතා කර සකස් කරන ලද විදෙස් ගමන් බලපත්‍ර භාවිතා කරමින් පිටව යාම සහ නැවත ලංකාවට පැමිණ සැඟව සිට අපරාධ මෙහෙය වීම වළක්වාලීම සදහා එම අපරාධකරුවන් පිටව යාමේදී සහ නැවත ඒ අයුරින්ම ලංකාවට පැමිණීමේදී ඔවුන් ස්වයංක්‍රීයව මුහුණු මගින් හදුනාගැනීම මගින් නීතියේ රැහැනට හසු කර ගැනීමයි.

මෙමගින් වෙස්වලාගෙන හෝ අවිධිමත් ලෙස පැමිණෙන ඕනෑම සැකකරුවෙකු හදුනා ගැනීමේ හැකියාව මෙම නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදු කල හැකිය. මෙම ක්‍රියාවලිය තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම තව දුරටත් සාර්ථකව සිදු කළ හැකි වේ.

ඒ අනුව අපරාධ වලට සම්බන්ධ නොවූ පුද්ගලයින් විදෙස්ගත වීමේදී සහ විදෙස්ගතව සිට පැමිණීමේදී අනියත බියක් ඇතිකර ගැනීමට ද අවශ්‍ය නොවනු ඇත.
 එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අපේ රටින් අපරාධ තුරන් කිරීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වෙනුවෙන් පොලිසියේ සියලු නිලධාරීන් දිවා රෑ නොබලා කැපවී කටයුතු කරමින් සිටිනවා.ඒ හේතුවෙන් මේ වන විට ඉතාමත් හොඳ ප්‍රතිපල ලැබෙමින් පවතිනවා.එම නිලධාරීන් දිරිමත් කිරීම සඳහා තාක්ෂණය වැඩි දියුණු කරමින් අවශ්‍ය පහසුකම් සැලසීම අපේ වගකීමක් වනවා.
යම් අපරාධයක් සිදුවී පැය 24ක්‌ 48ක්‌ අතර එම අපරාධකරුවන් හඳුනාගැනීමට පොලිසිය සමත් උවත් ඇතැම් විට එම කාලය තුල ඔවුන් ගුවනතොටුපොල හරහා හෝ මුහුදු මාර්ග ඔස්සේ රටින් පලා යාම සිදුවනවා. ගුවන් තොටුපල හරහා එලෙස පලා යාම වැලක්වීම සඳහා මීට මාස කිහිපයකට පෙර මෙම ඒකකය ආරම්භ කිරීම සඳහාඅපරාධ වාර්තා කොට්ඨාශය මඟින් මෙහි මූලික පියවර ගනු ලැබුවා.අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවත් තොරතුරු තාක්ෂණ අංශයත් එක්ව අද දින විවෘත කිරීමට හැකි තත්වයට එය පත් කර තිබෙනවා.
කිසිඳු අපරාධකරුවෙකුට රට තුල සැඟවී සිටීමට ඉඩ ලබා නොදීමේ පදනම මත සිටිමින් අප මේ සියලු කටයුතු ක්‍රියාත්මක කරමින් සිටිනවා. කවර බාධක හමුවේ උවත් එය නතර කිරීමේ හැකියාවක් නැහැ. රටේ සියලු ආයතන, ජනතාව මේ සඳහා එක් වනවා නම් පාතාලය,  මත්ද්‍රව්‍ය, අපරාධ මර්ධනය එතරම් අපහසු වන්නේ නැහැ. රටත්, ජනතාවත්, දරු පරපුරත් අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම මගේ එකම අරමුණයි. ඒ වෙනුවෙන් ඕනෑම දැඩි තීරණයක්‌ ගැනීමට මා පසුබට වන්නේ නැහැ.ඇතැම් පුද්ගලයන් නිසා, නීතී රීති නිසා කවර බාධාවන් ඊට ඇති වුවත් ඒවාට යටත් වන්නට අප සුදානම් නැහැ.ඒ වෙනුවෙන් මහජනතාව ද දායක කරගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ තුලින් ඉදිරි මාස හය තුල කැපී පෙනෙන වෙනසක් ඇති කිරීම අපේ අවසන් අරමුණයි. "

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ගුවනතොටුපල හා ගුවන් සේවා සමාගම, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ආයතනවල ප්‍රධානීන්, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ලග්න පලාඵල Read Previous

ලග්න පලාඵල

ලොව ළාබාලතම බිලියනපතිනිය Read Next

ලොව ළාබාලතම බිලියනපතිනිය

Realted Post

Leave a comment