නොවැම්බර් සෙනසුරු නිවෘතය ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද?

 නිවෘත වීමක් යනු සෙනසුරු ග්‍රහයා වක්‍රාකාර ගමන් මාර්ගය පසු කොට නැවත සරල රේඛීය පථයකට අවතීර්ණ වීමයි.  මේ වසරේ නොවැම්බර් සිට 2025 මාර්තු දක්වා සෙනසුරු ග්‍රහයා එම ගමන් රටාව පෙන්නුම් කරයි. මේ ශනි නිවෘතයෙන් සමස්ථයක් ලෙස රටටත් ඔබටත් බලපෑම කෙසේද කියා විමසා බලමු.

පොදුවේ ගත් කල මෙය රටටත් රට වැසියන්ටත් සුබ පල ගෙන දෙන්නක් ලෙස සදහන් කළ හැකියි. රටේ ආර්ථිකය මදක් යහපත් අතට හැරීමක් සිදු වේ. කෘෂිකර්මාන්තයේ පිබිදීමක් ඇති වේ. ජනතාවගේ සිතේ ඇති පීඩනය මදකට අඩුවීමක් ඇති වේ. රටවැසියන්ගේ බුද්ධිය විවර වන කාලයක් ඉදිරියේදි උදා වනු ඇත.

මෙහි බලපෑම එක් එක් ලග්න හිමියන්ට කෙසේ බලපාන්නේ දැයි විමසා බලමු.
මේෂ ලග්නය:
මේෂ ලග්න හිමියන්ගේ 10 වැන්නට සහ 11 වැන්නට අදාලව සිටි සෙනසුරු ග්‍රහයා නිවෘත වීම නිසා මිශ්‍ර පල ගෙනදීමක් බලාපොරොත්තු විය හැකිය. රැකිරක්ෂා සම්බන්ධ ගැටලු නිරාකරණය වේ. ව්‍යාපාර දියුණුව සැලසේ. බලවත් පුද්ගලයන්ගේ ඇසුරට මග සැලසේ. 
නමුත් කාර්‍යබහුල කාලයක් උදා වේ. අවිවේකි වෙහෙසබර බවක් බලාපොරොත්තු විය හැකිය. පවුලේ සාමාජිකයෙකුගේ අසනීපයක් නිසා සිත් තැවුලට පත් වීමක් ඇතිවිය හැකිය. 
සමස්ථයක් ලෙස ගත් කල ආර්ථික අතින් මෙන්ම ආධ්‍යාත්මිකවත් යම් දියුණුවක් බලාපොරොත්තු විය හැකිය

වෘෂභ ලග්නය:
වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු නිවෘත වීමෙන් ඉතා සුභ පල ගෙන දෙන බව ප්‍රකාශ කළ හැක. 
රැකියාවේ දියුණුවක් ඇති වේ. අධ්‍යාපනයේ නියැලෙන්නන් හට වඩාත් ප්‍රගතියක් පෙන්නුම් කරයි. අධ්‍යාපනයේ නව මංපෙත් විවර වන කාලයකි. නව විශය ක්ෂේත්‍ර වෙන යොමු වීමට ඉඩ ඇත. 
කෘෂිකර්මාන්තයේ නියැලෙන අයට සුබ පල ගෙන දෙයි. බව භෝග සම්පත් වඩ වඩාත් වර්ධනය වෙයි.
ව්‍යාපාර කටයුතු කරන අයට පෙරට වඩා සාර්ථකත්වයක් ඇති වේ. නමුත් කාර්‍යබහුලත්වය නිසා පවුලේ අය සම්ග ගත කරන කාකය අඩු වෙයි. 

මිථුන ලග්නය. 
මිථුන ලග්න හිමියන්ට මේ සෙනසුරු මාරුවෙන් පසු ආධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් ඇති වේ. 
කලක් සිට සැලසුම් කරගෙන සිටි කාරණාවක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසේ. රැකියාව සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලුකාරී තත්වයන් මගහැරී යයි. මානසිකව පීඩා විඳි ගැටලුවකට විසඳුම් ලැබී සිතට සැහැල්ලුවක් ගෙන දෙන කාලයකි.
ව්‍යාපාර කටයුතු කිරීමේදී යම් යම් පාඩු සිදුවිය හැකිය. ඒ ගැන සැලකිලිමත් වීම වටී. 
ඔබගේ සහ පවුලේ අයගේ සෞඛ්‍ය ගැන වෙනදාට වඩා සැලකිල්ලක් දැක්විය යුතු කාලයකි.
සමස්ථයක් ලෙස ගත් කල, මිථුන ලග්න හිමි ඔබට සෙනසුරු මාරුවෙන් සුබ පල ගෙන දෙන බවක් ප්‍රකාශ කළ හැකිය.

කටක ලග්නය
කටක ලග්න හිමි ඔබගේ සෙනසුරු 08 වැන්නේ හැසිරීම නිසා තරමක් දුරට කරදර තත්වයක් ඇති විය හැකිය. රැකියා ස්ථානයේ ප්‍රශ්න පැන නැගීමට ඉඩ ඇත. අන් අය සමග අනවශ්‍ය වාද වලට යාමෙන් වළකින්න.
ව්‍යාපාර කටයුතු වල යම් පසුබෑමක් ඇතිවිය හැකිය. පෙරට වඩා තම්න්ගේ ව්‍යාපාර කටයුතු සඳකා කාලය වෙන් කොට කැපවීමෙන් ඒ කටයුතු සිදු කරන්න.
අනපේක්ෂිත සෞඛ්‍ය සම්බන්ද ගැටලු ඇතිවීමට ඉඩ ඇත.වෙනදාට වඩා තමන්ගේ සෞඛ්‍ය ගැන අවදානය යොමු කරන්න. 
ආගමට දහමට ලැඳිව කටයුතු කිරීමෙන් මෙම අයහපත් ප්‍රතිපල මගහරවා ගත හැක.

සිංහ ලග්නය
කටක ලග්න හිමි ඔබගේ 07 වැන්නේදී මෙම සෙනසුරු මාරුව සිදු වෙයි. එම නිසා ප්‍රවේශමින් කටයුතු කළ යුතු කාලයකි.
රැකිරක්ෂා  ස්ථානයේ ප්‍රශ්න ඇති වේ. ඔබගෙන් සිදුවන යම් අතපසුවීමක් නිසා රැකියා ස්ථානයේ අන් අයගේ දෝෂාරෝපණයට ලක් වීමට ඉඩ ඇත. ඒ ගැන සැලකිලිමත් වන්න. අධික ලෙස මුදල් වියදම් වන කාලයක් උදා වේ. එම් හේතුවෙන් මුදල් පිළිබඳව සකසුරුවම පිළිබඳව පෙරට වඩා අවධානය යොමු කළ යුතුය. පුද්ගලයන් විශ්වාස කර මුදල් ගනුදෙනු සිදුකිරීමේදී පාඩු සිදුවිය හැකිය. ඒ ගැන විශේෂයෙන් ප්‍රවේශම් වන්න. සිංහ ලග්න හිමි ඔබ පෙරට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි. 

කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයට අදාලව 06 වැන්නේ මෙම සෙනසුරු නිවෘත වීම සිදු වෙයි. මෙයින් කන්‍යා ලග්න හිමියන්ට යහපත් ප්‍රතිපල ගෙන දෙයි.රැකියාවේ උසස්වීම් ලැබෙනු ඇත. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිනා කෙනෙක් නම් ඔබට ගැලපෙන රැකියාවක් ලැබෙනු ඇත. විදේශගත වීමට සිටින අයගේ එම කටයුතු වලට ඇති බාධාවන් ඉවත් වී ඉක්මනින් බලාපොරොත්තු සපල වේ.
ව්‍යාපාර කරන අයට පැහැදිලි දියුණුවක් ඇති වේ. කන්‍යා ලග්න හිමියන්ට පවුලේ අය සමග සතුටින් සිටිමට හැකි වන කාලයක් උදා වේ. 

තුලා ලග්නය
තුලා ලග්නයේ 05 වැන්නට අදාලව මෙම සෙනසුරු නිවෘත වීම සිදු වේ. ඒ නිසා තුලා ලග්න හිමියන්ට සුබ පල ගෙන දෙයි. රැකියා ස්ථානයේ උසස් වීම් ලැබේ. සිතේ සතුටින්, උද්‍යෝගයෙන් රැකියා කටයුතු කිරීමට හැකි වන කාලයකි. අන් අයගේ පිළිගැනීමට, ප්‍රශංසාවට ලක්වෙයි. තමාගේ සැඟවුණු දක්ශතා වලින් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව උදා වේ. 
ව්‍යාපාර හෝ ස්වයං රැකියාවක් අලුතින් ආරම්භ කිරීමට සිටින අයට ඒ සඳහා ඉතා යහපත් කාලයකි. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ එම කටයුතු සාර්තක වේ.

වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයට අදාලව 04 වැන්නේදී මෙම ග්‍රග නිවෘත වීම සිදු වේ. වෙනදාට වඩා කාර්‍යබහුලත්වයක් ඇති වන කාලයකි. කෙතරම් මුදල් ඉපැයුවද වියදම් අධික වේ. මුදල් ඉතිරියක් සිදු නොවේ. ඒ නිසා මුදල් වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න. රැකියා ස්ථනයේ යම් ගැටලුකාරී තත්ව පැන නැගිය හැකිය. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. ගමන් බිමන් වැඩිපුර යෙදෙන කාලයකි. මූල්‍යමය අතින් අස්ථාවර වීමක් සිදු වීමට ඉඩ ඇත. ඒ නිසා සිත් තැවුල් ඇතිවිය හැක. ඒ ගැන අවධානය යොමු කරන්න. 

ධනු ලග්නය
ධනු ලග්නයට අදාලව 03 වැන්නේදී මෙම සෙනසුරු නිවෘතය සිදු වන නිසා එම ලග්න හිමියන්ට මිශ්‍ර පල  බලාපොරොත්තු විය හැකිය. ධනු ලග්න හිමියන්ට තමන්ගේ වැඩ කටයුතු කිරීමේදී පවුලේ අයගේ සහ නෑදෑයන්ගේ උදව් උපකාර ලැබේ. වෙනදාට වඩා වැඩියෙන් ගමන් බිමන් යෙදෙන වෙහෙසකර කාලයකි. විදේශගත වීමට සිටින අයගේ බලාපොරොත්තු සපල වේ. ව්‍යාපාර දියුණුව සැලසේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක් ඇති වේ. කෘෂි කර්මාන්තයේ නියැලෙන අයට සුබ පල ගෙන දෙයි. 

මකර ලග්නය
මකර ලග්න හිමියන්ට මෙම ග්‍රහ මාරුව නිසා ඉතාම සුබ පල ගෙන දෙයි. පවුලේ සමගිය වැඩිදියුණු වෙයි. ආර්ථික අතින් දියුණුවක් ඇති වේ. රැකියාවේ උසස් වීම් ආදිය සිදු වේ. රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුදුසු රැකියා ලැබෙයි. නිතරම අන් අයගේ ප්‍රශංසාවට ලක් වන කාලයකි. කීර්ති නාමය වර්ධනය වේ. 
කෘෂිකාර්මික කටයුතු වල නියැලෙන අයට සුබ පල ගෙන දේ. අධ්‍යාපන කටයුතු වල නියැලෙන මකර ලග්න හිමියන්ගේ එම කටයුතු වඩාත් හොඳින් කරගැනීමට හැකි වන කාලයකි.අධ්‍යාපනයේ නව මංපෙත් විවර වේ.

කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති ග්‍රහයා වන සෙනසුරු 12 වැන්න සමග සම්බන්ධ වීම නිසා වෙනදාට වඩා සැලකිලිමත්ව කටයුතු කිරීමට සිදු වේ. මූල්‍යමය අතින් පාඩු සිදු වීමට ඉඩ ඇත. විශ්‍වාසය මත පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමේදී වඩාත් කල්පනාකාරී වන්න. රැකියා ස්ථනයේදී තමා අතින් සිදු වන අතපසු වීමක් නිසා දෝශාරෝපන එල්ල විය හැකිය. ඒ නිසා නිතරම කල්පනාකාරී වන්න.සෞඛ්‍ය තත්වයේ යම් පිරිහීමක් ඇති වීමට ඉඩ ප්‍රස්ථාව ඇත. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේසම් වීම මැනව. බලාපොරොත්තු සුන් වීම් නිසා සිත් තැවුල් ඇති විය හැකිය. ආගමට දහමට ලැදිව කටයුතු කරන්න. එවිට අහිතකර බලපෑම් මගහරවා ගත හැක.

මීන ලග්නය
මීන ලග්නයට අදාලව 12  වැන්නේ සෙනසුරු ගමන් කිරීම නිසා සිතේ කලබල්ලකාරී තත්වයක් ඇති වේ. ඔබගේ නොසන්සුන් හැසිරීම් නිසා රැකියා ස්ථානයේ ප්‍රශ්න ඇතිවිය හැක. ව්‍යාපාර කටයුතු කරන අයට තරමක් අසීරු කාලයකි. නව ව්‍යාපාර වල මුදල් අයෝජනය කිරීමේදී ප්‍රවේශම් වන්න. සෞඛ්‍ය තත්වගේ යම් පසුබෑමක් ඇති වීමට ඉඩ තිබේ. ඒ ගැනත් අවධානය යොමු කරන්න. යම් නිධන්ගත රෝගයක් ඉස්මතු වීමක් ඇතිවිය හැකිය. 

ඔබගේ ලග්නයට අදාලව මෙම සෙනසුරු නිවෘත වීමෙන් අහිතකර බලපෑම් ඇති වීමට තිබේ නම් හැකි සෑම විටම ආගමික කටයුතු වල නියැලෙන්න. එවිට අයහපත් බලපෑම් අවම කර ගත හැක. බෝධි පූජා ආදිය සිදු කරන්න. සෙනසුරු ග්‍රහයාට අධිපති දෙවියන් වන විශ්ණු දෙවියන් උදෙසා පින් දීම සිදු කරන්න. සෙනසුරාදා දිනයක විශ්ණු දෙවියන් උදෙසා පහන් පූජාවක් සිදු කිරීමෙන්ද ඔබගේ අපල වලින් ඇති බලපෑම මගහරවා ගත හැක.  නිතරම සිතේ ක්‍රෝධය වෛරය වැනි සිතිවිලි බැහැර කරන්න. මෛත්‍රි සහගත සිතිවිලි වලින් පොහොසත් වන්න. හැකි සෑම විටම තමාටත් අන් අයටත් යහපතක් වන ක්‍රියා වල නියැලෙන්න. 
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !


ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී 
නිපුණ වැලිගම

Sirikatha Fashion Read Previous

Sirikatha Fashion

De Lanerolle Brothers  - Colombo Port City Read Next

De Lanerolle Brothers - Colombo Port City

Realted Post

Leave a comment